Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය මවක් නිසා ඔබ, ඔබේ ජීවිතයට සීමා පනවනවාද?
මානසික සුව දිවිය සුව දිවිය

මවක් නිසා ඔබ, ඔබේ ජීවිතයට සීමා පනවනවාද?

Mothers Parent Pulse Article Featured Image

මවක් සතු වගකීම සහ යුතුකම් ප්‍රමාණය ඉටුකිරීමට ඇයට දිනකට තිබෙන පැය විසිහතරක කාලයත් මදි වන බව කිවහොත් එයට ඔබ එකඟ වනු ඇත. තමන්වෙත පැවරෙන සම්පූර් ණ කටයුතු ප්‍රමාණය ඉටුකිරිමට ලැබී ඇති ජීවිත කාලයද මදි වන බව ඔබට එක් වරක් හෝ සිතුණා වන්නට පුළුවන. එවැනි අවස්ථාවක විවාහ වීමට පෙර නැතහොත් මවක වීමට පෙර ගතවුණ කාලය කොතරම් නම් නිදහස් කාලපරිච්චේදයක් දැයි නිසැකවම දැනෙනවා. බොහෝ විවාහක කාන්තාවන් පවසන්නේ මෙවැනි තත්ත්වයක් උදාවන බව පෙරදී දැන සිටියා නම් විවාහ නොවී සිටින බවයි. එය සම්පූර්ණ සත්‍යයක් නොවුනත් එය ඔවුන් තුළ ඇති කළකිරීම, පීඩනය හෝ අකමැත්ත ගම්‍ය වන ප්‍රකාශයක් ලෙස සලකන්ට පුළුවන්. සැබවින්ම බිරිඳක් හෝ මවක් වූ පමණින් ඔබගේ නිදහස අහිමි කරගැනීමට අවශ්‍ය නැහැ. තම ජිවිතයේ ඇති වන වෙනස් වීම සමඟ කැපකිරීම් කිරීමට අප කාහටත් සිදුවෙනවා. පළමුව එය අවබෝධ කරගත යුතුයි. එහෙත් ඒ කැපකිරීම් වෙනුවෙන් ඔබ ඒතාක් පවත්වාගෙන ආ ජීවිතයේ සතුට කිසිම ආකාරයට නැති කරගැනීම නොකළ යුත්තක්. මවක් බවට පත්වුණ ඔබේ සතුට නොවෙනස්ව තබා ගන්නේ කොහාමද?

මොහොතකට ඔබේ මංගල සේයාරුව දෙස බලන්න. ඔබ කොතරම් පියකරු පෙනුමකින් යුක්ත වූවාද සිතන්න. ඒ කාලයේ ඔබේ රුව ගැන දැක්වූ අවධානය කොතෙක් ද සිතන්න. මවක් වූ කාන්තාවක් පළමුව අතහරින්නේ මේ අවධානයයි . දරු උපතකින් පසුව ඇතිවන මානසික සහ ශාරීරික වෙනස්කම් මෙහි පළමු හේතුන් අතර සිටිනවා. ඒ සමගම මවට දරුවාගේ වගකිම් සමග ඇතිවන අවිවේකී බව තම රුව නොසලකා සිටීමට අනුබල දෙනවා. එක් මවක් වරෙක පැවසූයේ ඇයට කණ්ණාඩියෙන් මුහුණ බැලිමට අවස්ථාවක් පැමිණියේ දරුවාට මාස හයක් පමණ ගිය පසු බවයි. ඔබ රැකියාවට යන කාන්තාවක් නම් තත්ත්වය මදක් වෙනස් වෙනවා. එහෙත් නිවසේ රැදෙන මවක් වුවත් මෙය නොසලකා හැර ක්‍රියා කිරීම අනුමත කළ නොහැකියි. බොහෝ කාන්තාවන් මවක් වූ පසු පියකරු බවින් වැඩිවෙනවා. පැහැපත් වෙනවා. දහසකුත් එකක් වගකිම් අතරේ ඔබගේ සුන්දර බව රැක ගැනීම ද එක් වගකීමක් සේ සලකා එ් අනුව ක්‍රියා කරන්න. දිනකට අවම වශයෙන් විනාඩි පහළවක කාලයක් හෝ ඒ සඳහා වෙන්කරන්න. දරුවන් වයසින් වැඩෙත්ම ඔබ රුව කෙරෙහි පෙර දක්වන ලද අවධානය එලෙසම පවත්වා ගන්න. ඔබේ රූපලාවන්‍යාගාරය ඔබට පෙර සේම විවෘත බව ඔබට වැටෙහේවි.

මේ සඳහා ඔබට අවශ්‍ය උපදෙස් ලැබෙන්නේ ඔබ ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටත්ව යන දිනමයි. ඒ වෛද්‍ය උපදෙස් වල වටිනාකම වටහා ගන්න. ගර්භණී බව කාන්තාවකගේ ශරීරය හැඩය සම්පූර්ණයෙන්ම වෙනස්ව ගියත් ව්‍යායාම වලින් ඔබට තිබුණාටත් වඩා හැඩ සිරුරක් නැවත ලබා ගැනීමේ හැකියාව තිබනෙවා. බර පාලනය කිරීම හුදෙක් බාහිර පෙනුම සහ සම්බන්ධවන් කරුණක් පමණක් නොවන බවත් එය සෘජුවම සෞඛ්‍ය කරුණක් බවත් සිහි තබා ගන්න. නිවසේදී කළ හැකි ව්‍යායාම පළමුව ආරම්භ කරන්න. ඉන් පසුව වෛද්‍ය උපදෙස් මත සහ ඔබගේ පහසුව මත ශාරීරික ව්‍යායාම තම දෛනික අංගයක් බවට පත් කරගන්න. මාස කිහිපයක් ඇතුළත ඔබේ ශරීරයේ හැඩය නැවත ඇති වනු දැකීම ඔබට මෙන්ම සැමියාට ද ප්‍රිය දසුනක් වනු ඇත. එය ඔබට ලබා දෙන මානසික සහනය කොතෙක්දැයි ඔබම අවබෝධ කරගන්න.

මවක් වීමට පෙර තමන්ගේ විනෝදාංශ මොනවාදැයි අමතක මව්වරු බොහොමයක් සිටිනවා. විනෝදාංශයකට යොමුවිය යුත්තේ ඔබ විවේකීව සහ ප්‍රීතියෙන් සිටින විට පමණක් නොවේ. ඔබ අවිවේකීව, විශාල පීඩනයකින් යුක්තව නැතහොත් අසතුටෙන් සිටින අවස්ථාවක විනෝදාංශකට යොමුවීම ඉතා වැදගත්. ඔය එය ඔබේ විනෝදාංශය ලෙස තෝරාගෙන ඇත්තේ එය ඔබේ සිතට ලබා දෙන මානසික ලිහිල් බව නිසාමයි. ඉඳින් එය ලැබිය යුත්තේ මෙවැනි අවස්ථාවක බව ඔබත් එකඟ වෙන කරුණක්. දරුවන්ගේ වැඩ කරන අතරේ යොමු විය හැකි විනෝදාංශයක් තෝරාගන්න. ඔබට සංගීතයට කන්දීමට ලෙහෙසියෙන්ම පුලුවන්. නැතහොත් විවේකය ඇති පරිදි රූපවාහිනය හෝ සිනමා තැටියක් නැරඹීමට පුළුවන්. හොඳ යෙහෙළියක් සමග සංවාදයත් ඔබේ සිතට සැහැල්ලුවක් සතුටක් ලබා දෙනු ඇත. ඔබ කෑම පිසීමෙන් වින්දනය ලබන්නියක් නම් මේ එයට හොඳ අවස්ථාවක්. නැටුම් හෝ යම්කිසි ක්‍රීඩාවක යෙදෙන්නේ නම් එය එක් අතකින් ශාරීරික ව්‍යායාම ලබා දෙනවා සේම වින්දනයද ලබා දෙනවා.

කෙතරම් වගකීමක් පැවරුණත් ඔබටත් ඇත්තේ අන් අය සේම විඩාවට පත්වන මනුෂ්‍ය ශරීරයක් බව වටහා ගන්න . ඔබේ සමීපතමයන්ට ද වටහා දෙන්න. විශේෂයෙන්ම දරුවන් කුඩා කළ රැයෙහි නිදිවැරීම ඔබට විශාල තෙහෙට්ටුවක් එක් කරනවා. මේ සඳහා දිවා කාලෙයේ දී විවේකයක් , කුඩා නින්දක් අත්‍යාවශයි. ඔබට සහාය වීමට කැමැත්තෙන් සිටින ඔබේ පවුලේ අයට ඒ සදහා අවස්ථාව දෙන්න. සේවිකාවගේ සහාය ලබා ගන්න. සමහර කාන්තාවන් තම අතින්ම බිළිඳාගේ කටයුතු සියල්ල කළ යුතුය යන මානසිකත්වයේ සිට ක්‍රියා කරනවා. අවශ්‍ය වන්නේ ඔබගේ අවධානය සහ අධීක්ෂණයයි. දරුවාගේ සමහර කටයුතු සමහර වැඩිහිටියන් අතින් ඉතා හොඳින් ඉටු වන බව වටහා ගන්න. ඒ සඳහා අවස්ථාව ලබා ගන්න. ඔබ ලබනා විවේකයේ යහපත් ප්‍රතිඵල ලබන්නේ ඔබේ දරුවාමයි. ඔබට දවස පුරා උද්යෝගයෙන් සිටළු කටයුතු ඉටු කරන්නට ඒ ලබන විවේකය උපකාරි වේිවි.

මවුවරුන් වු පමණින් සියළුම විලාසිතා අතහැර ඉතා සරල ඇඳුම් පැළදුම් වලට යොමුවිම සහ තමන්ගේ ශරීරය මෙන් දෙගුණයක් විශාල ඇඳුම් ඇඳීම සමහර කාන්තාවන්ගේ සිරිතක්. දරුවාට මව් කිරි ලබාදෙන කාලයේ දී ඒ සඳහා පහසු ඇඳුම් තෝරා ගැනීම සුදුසු වුවත් ඉන්පසුව ඔබට ගැලපෙන විලාසිතා වලට යොමු වන්න. කිසිවිටක් ගැබිණි සමයේ දී ඇඟලු ඇඳුම් ආපසු ඇඳීම සිරිතක් කරගන්න එපා. ඔබ නැවත සාමාන්‍ය ශරීර තත්තවය පැමිණී අයෙක්. දැන් සුදුසු වන්නේ ඒ කාලයේ ඇඳුම් නොවේ. මෙයින් අළුත් වන්නේ ඔබගේ විලාසිතාව නොව ජීවන රටාවයි. ගැබිණි සමයේ ඔබ තරබාරු වීම නිසා ඉවත් කළ රන් ආභරණ නැවත පැළඳීමට පුළුවන. එහෙත් ඒවා ඔබේ බිළීදාට ආරක්ෂිත ද යන්න සලකා බලන්න.

අළුත් උපන් බිළිදාගේ සහ පවුලේ අන් අයගේ සෞඛ්‍ය ගැන නිරන්තර අවධානයකින් සිටින ඔබ නොසලකා හරින්නේ ඔබගේ සෞඛ්‍යයි. බිළිඳාගේ කුඩා කැස්සක් පිළීබදව ඔබ දක්වන අවධානයම ඔබේ රෝග තත්ත්වයන්ට ද දැක්විය යුතු වන්නේ ඉන් ඔබත් බිළිදාත් යන දෙදෙනාම පීඩාවට පත්වන බැවිනි. කිසි ලෙසකින්වත් වෛද්‍ය උපදෙස් වලින් තොරව ඖෂධ ලබා නොගන්න. එසේම අවට පරිසරයෙන් ඇති විය හැකි රෝග වලක්වා ගැනීමට අන් අයගේ අවධානය යොමු කරවන්න. මව්කිරි ලබා දෙන කාලයේ දී ලබා ගත යුතු ඖෂධ වේ නම් ඒවා නොකඩවා ලබා ගැනිමට අමතක කරන්න එපා.

දරුවා නිසා නිවස තුළටම කොටුවී සිටින ඔබට දහසකුත් එකක් අවශ්‍යතා පවතිනවා. අළුතින් ඇඳුමක් මිල දී ගන්නට, විනෝද ගමනක් යන්නට නැතහොත් තම යෙහෙළියකගේ විවාහ උත්සවයකට යන්නට අවශ්‍යතාව ඇති විය හැකියි. නමුත් එය නිශ්ශබ්දව කැපකර දරුවා වෙනුවෙන් නිවසටම වී සිටිය යුතුයි යන්න නොවිය යුත්තක්. පළමුව එය සැමියාට දන්වා පවුලේ වැඩිහිටියන් සමඟ සාකච්ඡා කර සංවිධානය කරගන්න. එවිට දරුවා ආරක්ෂීතව නිවසේ තබා යන්නට හෝ ඔබත් සමග රැගෙන යන්නට ඔබට හැකියාව ලැබේවි. එසේ නැතහොත් ඒ සියළු අවස්ථාවන් කැපකර යම් දිනක ඒ සම්බනධයෙන් ඔබ සැමියාට හෝ අන් අයට චෝදනා කරන්නේ නම් එය කිසිදු ඵලක් ඇති කාර්යයක් නොවන බව වටහා ගන්න.

මවක් වූ පසු තමන්ට හිමි තැන වටහා ගන්නවා සේම තමන්ට අළුතින් ලබා ගත හැකි දේ ගැනත් අවධානය යොමු කරන්න. ලෝකයේ විවාහක රෑ රැජිණ තරඟ පවත්වන්නේ කවර හේතුවක් නිසාද යන් කල්පනා කර බලන්න. ඒ වෙනස් වූ කාන්තාවට ලෝකයේ වෙනත් පැතිකඩක දොරගුළු හැරදැමීමටයි. මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුන අධ්‍යාපන ආයතන, විලාසිතාගාර , සිනමා හල් , උද්‍යාන සහ රැකියා අවස්ථා ලෝකයේ කොතෙක් නම් පවතිනවාද?

මවක් වූ පමණින් ජීවිතයේ වගකීම් වැඩිවූ පමණින් සියතින්ම තමන්ගේ අවස්ථාවන් අහිමි කරගත් කාන්තාවක් වන්නට එපා. සමහර කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසු රැකියාව නැතහොත් ආදායම් මාර්ගය අතහැර දමනවා. එය තමන්ගේ සියයට සියයක් කැමැත්තෙන් ගත් තීරණයක් වුවත් පසු කාලයක දී ඔවුන් ඒ පිළීබඳව මහත් පසුතැවිල්ලෙන් යුක්තව කතා කරනවා , ක්‍රියා කරනවා. ඒ අතරින් සමහර කාන්තාවන් දරුවන් ලැබීමෙන් පසුව රැකියාවලට යොමු වෙනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු සමබරව කරගෙන යාම සැබවින්ම අභීයෝගයක්. එහෙත් ඔබ උත්සාහ කළ යුත්තේ ඒ අභියෝගය බාර ගැනීමටයි.

ඔබගේ ස්වාධීන සිතුවිලි කිසිවිටකත් අතහරින්න එපා. එය දරුවන්ගේ කටයුතු වලින් නිදහස් වීමක් හෝ වගකීම් අතහැරීමක් නොවේ. එය ඔබගේ අයිතියක්. මවගේ කාර්යයන් නොපිරිහෙළා ඉටු කරන අතරේ තමන්ගේ ජිවිතය ස්වාධීනය රැගෙන යාමට ඔබට හැකියාව තිබිය යුතුයි. කැපකිරීම් සියල්ල මව විසින්ම කළ යුතු වන්නේ නැහැ. එය පවුලේ සාමූහික වගකීමක්. එවන් පවුලක් ගොඩනගාගත් බිරිඳක් , මවක් වීම ඔබ ඔබටම යුතුකම් ඉටුකරගැනීමක්. ගාතානුගතික සිතුවිලිිවලට හෝ සමාජයේ අන් අයගේ සිතුවිලිවලට ඔබව පාලනය කරන්නට දෙන්න එපා. ඔබගේ දරුවන්ට අවශ්‍ය වන්නේ ස්වාධීනතාවය තුළින් ගොඩනැගුන ප්‍රීතිමත් මවක්!


සටහන

රේණුකා තෙන්නකෝන්
කථිකාචාර්ය,
ශ්‍රී ලංකා පදනම් ආයතනය

Exit mobile version