අලංකාරය, වර්ණවත් බව සහ සුවිශේෂීත්වය හේතුවෙන් කවුරුත් ප්‍රිය කරන සහ විශාල ආකර්ෂණයක් දිනාගත් රෙදිපිළි කලාවකි, බතික්. මෙය හුදු නිමැවුමක් නොව, ශිල්පියාගේ නිර්මාණශීලීත්වය හා අත්කම් දක්ෂතාව කැටි වූ කලාවකි. අන්න ඒ නිසාම එයට හිමිවන අගයද ඉහළය. බතික් විලාසිතාව ලොව කොහේ වුවද ආඩම්බරයෙන් පරිහරණය කරන ඇඳුමක් වන්නේ ද ඒ නිසා විය යුතුය. බතික් යනු රෙදිපිළි ක්ෂේත්රයේ පවතින සුවිශේෂී කලා ශිල්පයකි.
මෙම ශිල්පයේ මූලික පියවර වන්නේ, රෙදි කැබැල්ලක් මත ඉටි යොදා මෝස්තරයක් නිර්මාණය කිරීමයි. ඉටි ප්‍රතිරෝධී සායම් කිරීමේ මෙම අනර්ඝ තාක්ෂණය හරහා, කපු හෝ සිල්ක් වැනි රෙදි මත ඉතාම විචිත්‍රවත් මෝස්තර සිතුවම් කරනු ලබයි. ඉටි සහ සායම් එකිනෙකට ප්‍රතිරෝධී වන බැවින්, රෙද්ද වර්ණ ගැන්වීමේදී ඉටි නොගෑවූ හිස් ප්‍රදේශ පමණක් සායම්වලින් වර්ණවත් වේ. ඉන් අනතුරුව, එම රෙදි උණු වතුරේ ගිල්වා ඉටි දිය කර ඉවත් කරයි. ඉටි දිය වී ගිය පසු ඉතිරි වන්නේ රෙද්දේ රැඳුණු වර්ණවත් හා සිත් ඇදගන්නා සුළු මෝස්තරය පමණි. මෙරට බතික් කර්මාන්තයේ විශේෂත්වය වන්නේ රෙදි වියළීම සඳහා ස්වභාවික හිරු එළිය යොදා ගැනීමයි. මේ හේතුව නිසා, නිමි භාණ්ඩයේ වර්ණවල දීප්තිමත් බව ඉහළ යයි. මෙම සමස්ත ක්‍රියාවලියම ඉහළ මිනිස් ශ්‍රමය මත රඳා පවතී. නිර්මාණය සඳහා වර්ණ කිහිපයක් භාවිත කිරීමට සිදුවුවහොත්, එම සම්පූර්ණ ක්‍රියාවලියම නැවත නැවතත් සිදු කිරීමට අවශ්‍ය වේ. මේ කාරණය හේතුවෙන් බතික් නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාම ස්වභාවිකය.
බතික් නිර්මාණවලදී වර්ණ රටා මෙන්ම විශේෂ ඉරිතැලීම් මෝස්තර (crackle effect) ද දැකගත හැකිය. මෙය ඉතා ස්වභාවික ලක්ෂණයකි. ඉටි තට්ටුවේ ඇතිවන සිහින් ඉරිතැලීම් හරහා සායම් රෙද්දට කාන්දු වීම නිසා මෙම සුවිශේෂී මෝස්තරය නිර්මාණය වේ. බතික් යනු මුළුමනින්ම අතින් සිදුකරන කර්මාන්තයක් වීම මෙහි අගය තවත් වැඩි කරයි.
බතික් කර්මාන්තය සඳහා මූලික වශයෙන් රෙදි, ඉටි සහ තීන්ත (සායම්) අවශ්‍ය වේ. දශක කිහිපයකට පෙර තුල්හිරිය කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කළ රෙදි ඒ සඳහා බහුලව භාවිත විය. කෙසේ වෙතත්, වර්තමානය වන විට එම රෙදි මෙරට නිපදවීම සිදු නොවේ. එබැවින්, බතික් සඳහා යොදා ගන්නා රෙදි, ඉටි වර්ග සහ සායම් වර්ග විදේශවලින් ආනයනය කිරීමට සිදුව ඇත. මෙම අමුද්‍රව්‍යවල මිල අධිකය. ප්‍රමිතියෙන් අඩු අමුද්‍රව්‍ය භාවිත කළහොත්, නිමාවේ ගුණාත්මකභාවය දුර්වල වන අතර, එමඟින් ආකර්ෂණීය නොවන නිමැවුමක් බිහිවේ.
වර්ණ ගැන්වූ බතික් රෙදි ස්වභාවික සූර්යාලෝකයෙන් වියළීම නිසා, වර්ණවල දීප්තිය සුවිශේෂී වේ. මෝස්තර රටා යෙදීම සහ වර්ණ තෝරාගැනීම සම්පූර්ණයෙන්ම ශිල්පීන්ගේ දක්ෂතාව මත රඳා පවතී. එබැවින් බතික් රෙදිපිළි යනු ශිල්පියාගේ හපන්කම් විදහාපාන නිර්මාණයකි. රෙදි බතික් කිරීම සහ බතික් ඇඳුම් මැසීම යනු එකිනෙකට වෙනස් කාර්යයන් දෙකකි. සමහර අවස්ථාවලදී මැසූ ඇඳුම් වර්ණ ගැන්වීමද සිදුවේ. කෙසේ වුවත්, බතික් ඇඳුමක අලංකාරය ඉතා ඉහළ අගයක් ගනී.
බතික් ඇඳුම් පරිහරණය යනු සමාජීය පුරුදු සමඟ බැඳුණු ක්‍රියාවලියකි. පසු කාලීනව ඩෙනිම් වැනි රෙදි වර්ග වෙළඳපොළට පැමිණීමත් සමඟ බතික් රෙදිපිළි සඳහා වූ ඉල්ලුම තරමක් අඩු විය. කෙසේ වෙතත් ඩෙනිම් කලිසම සමඟ බතික් කමිසයක් යුගල කිරීමෙන් අලංකාර මෝස්තරයක් නිර්මාණය කිරීමට බතික් කර්මාන්තය තවමත් සමත් වී ඇත. උත්සව අවස්ථාවන් සඳහා පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයටම බතික් සරම් තෝරා ගැනීඹට කැමැත්තක් දක්වන අතරම බතික් නිෂ්පාදනවල මිල ඉහළ යෑම නිසා ඒවා මිල දී ගැනීමට බාධා ඇතිවීම දැනට පවතින ප්‍රධාන අභියෝගයකි.
වයස අවුරැදු 18 – 45 දක්වා වයස් සීමාව තුළ කාන්තා පිරිමි දෙපාර්ශවයටම ජාතික ශිල්ප සභාව මගින් බත්තරමුල්ලේ, අපේ ගම පරිශ්‍රයේ NVQ 3 මට්ටමේ සහතිකය ලබා දෙන බතික් කර්මාන්තය පිළිබද පුහුණ පාඨමාලාවක් පැවැත් වේ. එය 25 දෙනෙකුගෙන් සමන්විත කාණ්ඩායමක් ලෙස මාස හතරක කාලයක් (සතියකට දින තුන බැගින්) පැවැත්වේ.
බතික් කර්මාන්තයට අවශ්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන පිළිබඳව සහකාර අධ්යක්ෂ (පුහුණු), ජාතික ශිල්ප සභාව,රෝහිනා මාවත, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනය හරහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔබට හැකියි.
සටහන
උදානි ජයසේන