කොවිඩ් වසංගතය ගැන දැන් වැඩිමනත් කතා බහක් නැති වුනත් ඒ කාලයේ පසු විපාක දැන් ලෝකයටම අත්විඳින්නට සිදු වී අවසානයි. රටවල් අගුලු දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීම නිසා කැමරා ඉදිරිපිට ලිංගික ක්‍රියාවන්හි යෙදෙන, ඡායාරූප සහ වීඩියෝ පට මුදා හැරීම දස ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව අන්තර්ජාල වෙබ් පදනම (IWF) එනම් එක්සත් රාජධානිය පදනම් කර ගත් සංවිධානය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබෙනවා.
වසංගතයේ මුල් අදියර
2020 හෙවත් කොවිඩ් වසංගත තත්වයේ මුල් කාලයේදී සමාජ මාධ්‍ය දරුවන්ට වඩාත් සමීප වුණා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වෙනුවෙන් අන්තර්ජාල භාවිතය නිසා තත්වය වඳුරන්ට දැලි පිහියක් ලබා දීමට සමාන වුණා. මේ නිසා දරුවන් සමාජ මාධ්‍ය ජාල භාවිතය සඳහා යොමු වීමත් සමග බොරදියේ මාලු බාන සමාජ දූෂකයන් විසින් දරුවන් විවිධ ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට අවස්ථාව පාදා ගත්තා.
ඒ අනුව 2022 වසරේදී අන්තර්ජාල වෙබ් පදනම විසින් ළමා අපයෝජන වීඩියෝ සහ අපයෝජන 63, 000 කට වඩා වාර්තා කර තිබුණා. වසංගත තත්වයට පෙර මෙය 50,000 ක් පමණ වුණා. මේ සෑම වීඩියෝ හෝ ඡායාරූපයකින්ම පෙන්වන්නේ තමා විසින් තමාව ලිංගික ලෙසින් අපයෝජනයට පත් කර ගන්නා දර්ශනයි.
මේ ගැන අදහස් දක්වමින් IWF සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරිනී සුසී හාෆ්රිව්ස් සඳහන් කරන්නේ රටවල් වසා දමා තිබුන වසංගත කාලයේදිත් අපි දරුවන් ගැන විමසිල්ලෙන් සිටියා. නමුත් සමහර තැන් අපෙන් ගිලිහී ගියා. කොටින්ම දරුවා නිදන කාමරය් සිටියදී සමාජ දුෂකයන් විසින් ඉතා සියුම් අන්දමින් මෙවැනි අපචාර සඳහා ඩැහැගෙන තිබෙනවා. මේ නිසා අපි දැන් ලෝකය පුරා අන්තර්ජාලයේ අඩංගු ළමා ලිංගික අපයෝජකයන් සහ සිදුවීම් ලුහුබඳිමින් සිටිනවා. මේ වෙන විට අප විසින් හඳුනා ගත් වීඩියෝ සහ ඡායාරූපවලින් තුනෙන් දෙකක්ම ඇත්තේ ස්වයං අපයෝජන ක්‍රියාවන්හි යෙදෙන දරුවන් බැව් පැහැදිලිව පෙනී ගියා. ඔවුන් දරුවන් කොතරම් අපයෝජනයට පත් කර තිබෙනවාද යන්න එයින්ම පැහැදිලි වෙනවා.
මෙවැනි වීඩියෝ දර්ශන බොහෝ විට නානාකාමරයන්හි සිට පටිගත කර තිබෙනවා. ඒ වගේම කාර්ය බහුල නිවෙස්වල කටයුතු සිදු කරන ශබ්ද පවා ඒ අතරින් ඇසෙනවා. කෙසේ හෝ වේවා මෙම වීඩියෝ සමග දරුවන් කුමාර කාමය ( දරුවන් සමග කාමයෙහි හැසිරෙන ) ට ගිජු පුද්ගලයන්ගේ ඇසුර ඉතා සමීපව ගොඩ නගා ගෙන තිබෙන බවට රහසක් නැතැයි IWF සංවිධානය පෙන්වා දෙනවා.
අනන්‍යතාවය සොයා ගැනීම
මෙවැනි වැරදි ක්‍රියාවන්හි යෙදෙන දරුවන් ඔවුනගේ රහස්‍ය බව ආරක්ෂා කර ගැනීමට යොමු වී තිබෙන නිසා දරුවන්ගේ පදිංචිය, නිවස හෝ පාසල හඳුනා ගැනීමට පවා නොහැකියි. මෙම දරුවන් වයස අවුරුදු 7 සිට 10 වැනි වයස් කාණ්ඩයට අයත් විය හැකි අතර සංඛ්‍යාත්මකව 8000 ක් පමණ බැව් පුණ්‍යායතනයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනවා. ඒ අතර ස්වලිංගිකි, සතුන් සම්බන්ධ කර ගෙන විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන වීඩියෝ සහ චායාරූප ඒ අතරට ඇතුලත්. නව හැවිරිදි දැරියකට අන්තර්ජාල වේදිකාවක් ඔස්සේ සෙල්ලම් බඩු යොදා ගෙන ලිංගික ක්‍රියාකාරකම් සඳහා දැනුවත් කරන අවස්ථාවක් මේ අතරින් අනාවරනය වී තිබේ. මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ආයතනය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ඒ ගැන එකඟතාවය පළ නොකරන පුණ්‍යායතනය විසින් ප්‍රකාශ කරන්නේ ලෝකය පුරා විිවධ රටවල්වලින් මෙවැනි වීඩියෝ සහ ඡායාරූප මුදා හරින නිසා එක්සත් රාජධානියට අනන්‍ය වූ වීඩියෝ සහ ඡායාරූප වෙන් කර ගැනීමත් අපහසු බවයි.
කෙසේ හෝ වේවා එක්සත් ජනපදයේ අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය සෂතුව 2022 වසර සඳහා වූ ලේඛන තවමත් යාවත්කාලීව වී නොමැත. නමුත් 2020 වසරේදී අන්තර්ජාල පද්ධතිය වෙත වාර්තා වුන අපයෝජන පිළිබඳ තොරතුරු මිලියන 21.7 ක් වන අතර 2021 දී එය මිලියන 29. 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අපිත් අවදි වෙමු…
මේ සිදුවීම අපේ රටේ නොවෙයිනේ…එංගලන්තයේ එහෙම වුනත් අපේ රටේ එහෙම සිදු නොවෙයි කියන තැන නවතින්න බැහැ. දරුවන් වැරදි දෙයට යොමු වීමේ සීඝ්‍රතාවය වැඩියි. ඒ නිසා අද යුරෝපයට වුනත් මෙය හෙට අපට සිදු වීමට බැරි කමක් නැහැ. ඒ නිසා ඔබේ දරුවා ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්.
සටහන
බී.බී.සී පුවත් ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this