හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ….. අතීතයේදී අම්මලා අත්තම්මලා තමන්ගේ ගැහැනු දරුවන්ට මේ විදිහට උපදෙස් දුන්නා. එදා ඒ විදිහට ඉවුම් පිහුම් ඉගෙන ගත් දියණිවරුන් පසු කාලයකදී තමන්ගේ පවුල තුළ දක්ෂ බිරිඳක් මවක් විදිහට තමන්ගේ වැඩ කටයුතු කර ගත්තා.
අද දවසේ පුංචි දියණියක්ව සිටින ඔබ මතු දවසක දක්ෂ ගෘහණියක්. ඒ නිසාම ඉවුම් පිහුම් ගැනත් ඔබේ දැනුවත් වීම වැදගත්. මේ ඉවුම් පිහුම් වලින් ජාත්‍යන්තරය ජය ගත් ඔබෙම සහෝදරියක් වන අපේ රටේ තරුණියක් වන සවින්ද්‍රි පෙරේරා ගැන ලියැවුන කතාවක්…

සවින්ද්‍රි සිය මව්පියන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඇය කුඩා කාලයේ පටන්ම උයන්න පිහින්න කැමැතියි. අම්මා සමග එක් වී විවිධ ආාහර හැදුවා. ඒ නිසාම සචින්ද්‍රි රසට වගේම ඉතාම ආකර්ශණීය විදිහට ආහාර සකස් කිරීම හුරු වුණා.
ඇයට උයන්න පිහන්න තියා දුන් අම්මා 2017 වසරේදී ඇය හැර ගියා. අම්මාගේ ආදරය සමග බොහොම රසවත්ව ඉවුම් පිහුම් කලාව ඉගෙන ගත් ඇයට අම්මා ගේ වියෝව ජීවිතයේ විශාල හිස්තැනක් වුණා. ඒ නිසා ඇය මානසිකව පසුබෑමට පත් වුණා. ජීවිතයේ මේ තනිය මකා ගන්න ඇය තීරණය කළා. ඒ නිසාම ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඉවුම් පිහුම් වැඩ සටහන්වලට සම්බන්ධ වුණා.
ඕස්ට්‍රේලියාවේ MasterChef Australia නමින් වාර්ෂිකව පැවැත්වෙන ආහාර සකස් කිරීමේ තරගාවලියට ඉදිරිපත් වීමට සවින්ද්‍රි තීරණය කළා. තම මවට තමාගේ හිතේ තිබෙන ආදරය ප්‍රකාශ කරන්න හොඳම අවස්ථාව මෙය යැයි සිතූ ඇය මුල් වටයට කිරිබත් ආහාර වේලක් ඉදිරිපත් කළා. එය සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණා. සවින්ද්‍රි අපි හදන කිරිබතට කිතුල් පැණි, සීනි,සම්බෝල සහ මාළු සහ තවත් ආහාර වර්ග එකතු කළා. ඒ නිසාම මේ කිරිබත දැක්ක ගමන්ම කන්න හිතෙන ආකර්ශනයකින් යුක්ත වුණා. ඒ වගේම මිනිත්තු 75 ක කාලයේදී බත් සහ ව්‍යංජන 75 ක් ඇය පිළියෙල කළා. මේ හැකියාව ගැන තරග විනිශ්චයකරුවන් පවා මවිතයට පත් වුණා. සවින්ද්‍රි අපට හුරු විදිහට කෙසෙල් කොළයේ ඔතන ලද ලම්ප් රයිස් එකක් හැදුවා. මේ ඇගේ අම්මාට යවන්න සකස් කළ ආදර හසුනක් වෙන්න ඇති බවත් එක් විනිශ්චයකාරිනියක් පැවසුවා. ඒ තරමටම සවින්ද්‍රි තමන්ගේ මව සමග වූ ආදර බැඳීම ඔවුන්ටත් තේරුම් ගොස් තිබුණා.

සවින්ද්‍රිගේ ආහාර පිසින කලාව එක තැනකට සීමා වුනේ නැහැ. ඇය අපේ රටේ කුළුබඩු යොදා ගෙන වෙනත් රටවලට ආවේනික ආහාර සකස් කළා. මේ නිසා එක් අවස්ථාවක ඇයව තරගයෙන් ඉවත් කළා. නමුත් හැකියාව සහ වාසනාව නිසා සවින්ද්‍රිට නැවතත් තරගයට එක් වීමට අවස්ථාව ලැබුණා. කෙසේ හෝ වේවා අවසානයේදී MasterChef Australia තරගයෙන් තුන්වැනි ස්ථානය දිනා ගත්තා.

එතැනින් නොනැවතුණු සවින්ද්‍රි අපේ රටේ ආහාර කලාව තව දුරටත් ජාත්‍යන්තරව ජනප්‍රිය කිරීම ඇගේ අරමුණ කර ගත්තා. ඒ වගේම තවම යුරෝපීය ක්‍රමයට ආහාර සකස් කරන්න තවමත් අපිට හුරු නැහැ. එය අපට ආගන්තුකයි. ඒ නිසා ඉදිරියේදී අපට හුරු නොවුනත් යුරෝපීය ක්‍රමයට වගේම ආහාර සකස් කිරීමට ඇය උනන්දු වන බව සවින්ද්‍රි ඉතා ආඩම්බරයෙන් සඳහන් කරනවා.

අපි එක තැන නැවතිය යුතු නැහැ. ඕනෑම දෙයක් අලුත් විදිහට හිතන්න. අලුත් දෙයක් සමාජයට දෙන්න. එවිට කිසි දිනක ඔබට වරදින්නේ නැහැ.
B.B.C පුවත් ඇසුරෙන්
Leave feedback about this