Parent Pulse Blog විශේෂී ලිපි උඩුදුවන කුණු ප්‍රශ්නයට ඔබත් රුකුල් දෙනවාද?
විශේෂී ලිපි

උඩුදුවන කුණු ප්‍රශ්නයට ඔබත් රුකුල් දෙනවාද?

Garbage Cleaning Parent Pulse Article Featured Image

නිවසේ කුණු අද දවසේ සමාජගත ගැටලුවක්…මේ ගැන හැම දෙනාටම දැනෙන්න පටන් ගත්තේ ඩෙංගු මාරාන්තික වසංගතය නිසා මිනිස් ජිවිත බිලි ගැනිමට පටන් ගැනිමත් සමගයි. ඒ නිසාම ක්‍රමවත්ව කුණු බැහැර නොකර ඩෙංගු මදුරුවන් වෙනුවෙන් තිඹිිරි ගෙවල් හදන උදවිය වෙනුවෙන් නිති මාර්ගයෙන් පවා කටයුතු කරන්න සිද්ධ වෙලා.

වටපිට බලලා අනුන්ගේ මායිමකට තමන්ගේ කුනු ටික සේන්දු කිරිම හෝ රථය නවත්වලා කාත් කවුරුවත් නැති තැනක කුණු මල්ල පිටතට විසි කරන සුපිරි කාණ්ඩයේ නෝනාවරුන් සහ මහත්වරුන්ද ඉතාම සුලබයි. ඩෙංගු මදුරුවා කුණු මල්ලේ අයිතිකාරයා හොයන්නේ නැහැ. ඒ වගේම තමන්ට උපත ලබන තෝතැන්න හදා දුන් අය හොයන්නෙත් නැහැ. මේ නිසා ජිවිතයෙන් වන්දි ගෙවන පිරිස ගැන අපේ හිතේ සංවේදි බවක් තිබුනා නම් කිසිම දිනක පිලිවෙලක් නැතුව නිවසේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ නැහැ.

කුණු කියන්නේ ඇත්තටම කුණු වෙන ප්‍රශ්නයක්. නිවසකින් අපි ඉවත දමන කුණු එක සමාන නැහැ.

  • දිරාපත් වන අපද්‍රව්‍ය: ආහාර සහ මුලුතැන්ගෙයි ඉවතලන ද්‍රව්‍ය, කඩදාසි, ශාඛ
  • ප්‍රතිචක්‍රිකරණය කළ හැකි අපද්‍රව්‍ය: කඩදාසි, වීදුරු, බෝතල්, ලෝහ සහ ප්ලාස්ටික්
  • ඉදිකිරිම් සහ කඩා බිඳ දැමිම්: දුවිලි, ගල්, තාර
  • නිවෙස්වලින් ඉවතලන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සහ රෙදිපිළි
  • පරිසරයට විශාල උපද්‍රව ඇති කරන බෙහෙත්, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික් උපාංග, බැටරි, කෘමිනාශක සහ රසායන ද්‍රව්‍ය බහාලන බඳුන්

ඉහත අපද්‍රව්‍ය වලින් කොටසක් දිරාපත් වෙන අතර තවත් කොටසක් දිරාපත් වෙන්නේ නැහැ. ඩෙංගු මදුරුවන්ට තොටිල්ල හදන්නේ දිරාපත් නොවන ද්‍රව්‍යයි. ඒ වගේම දිරාපත් නොවුනත් නිවසේ ඉවතලන ආහාර සහ වෙනත් එළවළු වැනි මුලුතැන්ගෙයි ඉවත ලන දෑ මහත් දුර්ගන්ධයක් ඇති කරනවා. කාඩ්බෝඩ්, කඩදාසි වැනි දෑ දිරාපත් වෙන තුරු පරිසරයට ලැබෙන්නේ ඉතාම අසුන්දර දර්ශනයක්. මෙම දිරාපත් සහ දිරාපත් නොවන ද්‍රව්‍ය අතර පටලැවෙන්නේ නැතුව කළමනාකරණයක් ගොඩ නගා ගැනීමෙන් ඔබට කිසිම දිනක කුණු වෙනුවෙන් මැසවිලි නගන්න අවශ්‍ය නැහැ.

අතීතයේ හැම නිවසකම පොහොර වලක් තිබුනා. නිවසේ ඉවතලන දේ මෙම වලට බැහැර කලා. මාලු, කරවල, හාල්මැස්සන් සෝදන වතුර කරපිංචා පැළයකට දැමු අතර මාළු සහ වෙනත් කරවල කටු වැනි ඉවතලද දේ කෙසෙල් ගසක් වටා වලලා දැම්මා. කාලයත් සමග වලේ කුණු දිරාපත් වෙමින් පොහොර වුණා. මේ වලේ කළු පැහැති පොහොර පස ගෙවත්තේ මල් සහ එළවළු පැල වෙනුවෙන් යොදා ගත්තා.

අද ඉතිං කුණු වලක් වෙනුවෙන් වපසරියක් නැති බව ඇත්ත. ඒ වෙනුවට කොම්පෝස්ට් බැරල් යොදා ගැනිමේ විකල්ප තිබෙනවා. පළාත් පාලන ආයතන මගින් මේ පහසුකම් පරිහරණය වෙනුවෙන් දැනුවත්බව ලබා දෙනවා.

නොදිරන ද්‍රව්‍ය කොම්පෝස්ට් බැරලයට යොදා ගන්න නොහැකි නිසා ඒ වෙනුවෙන් විකල්ප සොයා ගන්න. ප්ලාස්ටික් බේසම් වැනි දේ මල් පැලයක් හෝ කහ, ඉඟුරු වැනි පැලයක් වගා කරගැනිමට යොදා ගන්න. බිත්තර කටු, පොල් මුඩු මල් පාත්තියේ පැලයක් වෙනුවෙන් හොඳ පොහොරක්. තැඹිලි කෝම්බ සිහින්ව පලා වේලා ගත් විට දර වෙනුවෙන් යොදා ගත හැකියි.

දැවටුම වෙනුවෙන් කඩදාසි යොදා ගන්න. පොල්කටු වැනි දේ මල්පාත්තියේ පස සේදෙන විට අතුරන ගල් වැටි වෙනුවෙට යොදා ගන්න. පොල්කටු පසට සවි වන ලෙස තබා ගැනිමට නම් පරිස්සම් විම අවශ්‍යයි. එසේ නොමැති වුනොත් පොල්කටුව පෙරලි ගිය විට වැසි ජලය එක්විමට තිබෙන ඉඩ ඉහලයි.

ප්ලාස්ටික් පොලිතින් පහසුවෙන් ඉවත් කරන්න නොහැකි නමුත් ඔබට මෙම ඇසුරුම් සහ දවටන අවම වන කටයුතු කරන්න පුලුවන්. නිවසට අවශ්‍ය දේ වෙනුවෙන් රෙදි මල්ලක් භාවිත කරන්න.

බුදු දහමෙන් වදාළ සරල ජිවිතය අද දවසටත් ඉතා වැදගත්. සිවුරු පිරිකර පවා අනවශ්‍ය ලෙසින් ගබඩා නොවන පරිදි උපරිම ප්‍රයෝජනය ගත හැකි පිළිවෙළ බුදුරජාණණ්වහන්සේ වදාළ සේක. දකින දකින දේ අවශ්‍යතාවය ගැන නොතකා මිළට ගෙන ගබඩා කරගැනිමේ උන්මාදයට බුදුදහමෙන් ලැබෙන උපදේශය ඉතාම වැදගත්. අපි නොදැනම අල්මාරිය පිරෙන විට නැගෙන අතුරු ප්‍රශ්නය මේ පාවිච්චි නොකරන දේ ඉවතට දමන්නේ කොහොමද යන්නයි.

එදා කාන්තාවන් රෙදි පිළි පවා පිරිමැස්මෙන් භාවිත කලා. කපු රෙදි සාරි ඇඳ ඇතිරිලි ලෙස යොදා ගත්තා. ගොරෝසු පොරවනා ඉරි ගිය විට ඒවායේ ඉරුන කොටස ඉවත් කොට නැවත පාවිච්චිය වෙනුවෙන් යොදා ගත්තා. එයිනුත් පසුව අත්පිස්නා හෝ පාපිසි වෙනුවෙන් භාවිත වුනා.මේ නිසා ඉවත දමන දේ බොහොම සිමිත වුන නිසා ලොරි ගණන් රෙදි පිළි ඉවත දමන්න සිද්ධ වුනේ නැහැ.

ජීරණය නොවන ද්‍රව්‍ය වගේම බැහැර කිරිමට අපහසු ද්‍රව්‍ය වෙනුවෙන් ප්‍රතිචක්‍රිකරණ වැඩ සටහන් දැන් සුලබයි. ඒ වෙනුවෙන් පිහිටුවන ලද මධ්‍යස්තාන තිබෙනවා. මෙම මධ්‍යස්ථාන මගින් ප්ලාස්ටික්, ඇලුමිනියම්, ඝන කඩදාසි , විදුරු සහ යකඩ වැනි දේ මිළට ගන්නවා. නගර මුල් කර ගෙන පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථාන පිලිබඳව දැනුවත් විම් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා ගත හැකියි.

ලස්සනට ඉන්න කවුද අකමැති කියන්නා වගේම පිරිසිදු අලංකාර පරිසරය හැම දෙනාගේම ඇගයීමට පාත්‍ර වෙනවා. ඒ අතරම රෝග වාහකයන් වෙනුවෙන් තිඹිරි ගෙයක් නිර්මානය කරනවාය යන චෝදනාවෙන්ද ඔබ අනිවාර්යෙන්ම නිදහස් වෙනවා.


සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා

Exit mobile version