ජූනි 8, 2025
Young Kids Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

එයාලා දැන් ලොකු ළමයි

දරුවො හැමදාම එකම වයසේ ඉන්නෙ නැහැ. ගත වෙන හැම දවසකම හැම මොහොතකම එයාල වයසින් වගේම ගතිනුත් සිතිනුත් වැඩෙනවා. දෙමාපියන්ට තමන්ගෙ දරුවා හැමදාම පොඩි දරුවෙක් කියලා හිතුනට ඇත්තටම ඔවුන් හිමින් හිමින් වැඩිහිටියො වෙනවා. අවුරුදු 12ත් 20ත් අතර දරුවන් නව යොවුන් වියේ දරුවන් ලෙස හඳුන්වන්න පුලුවන්. දරුවො හෙමින් හෙමින් නව යොවුන් වියට පා තබන කොට ඔවුන් සිතන පතන ආකාරය කටයුතු කරන ආකාරය වෙනසකට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ අවදියේ එයාලගේ ජීවිතේට අපිට එක එල්ලෙ බලපෑම් කරන්න බැහැ. ඇත්තටම කිව්වොත් දරුවෝ නව යොවුන් කාලයට එළඹෙන කොට අපේ කෝණයෙන් බලන එක නවත්වලා එයාලගේ කෝණයෙන් බලන්න අපට පුරුදු වෙන්න වෙනවා. නව යොවුන්වියේ දරුවො සමඟ කටයුතු කිරීම දෙමාපියන් බොහොම වගකීමෙන් කළ යුතු දෙයක්.

  • මේ වයසේ දරුවන් දේශනා කිරීම්, අණ කිරීම් වලට කොහෙත්ම කැමති නැහැ. එයාලට අවශ්‍ය සුහද කතා බහකින් කෙරෙන ඉල්ලීම් විතරමයි. ඒ නිසා දෙමාපියන් වන ඔබ ඔබේ කතා කරන විලාසය පිළිබඳ අවදානය යොමු කරන්න.
  • එයාලා ඉන්නේ ගහලා බැනලා හදන වයසක නෙමේ. මේ වයසේ දරුවො තමන්ගේ ආත්මාභිමානය ගැන හරියට හිතනවා. අන්න ඒ නිසා එයාලා ලැජ්ජාවට පත් නොවන විදිහට අවවාද දෙන්නත් හසුරුවන්නත් ඔබට සිදු වෙනවා.
  • මේ වසසේ දරුවන්ට සවන්දීම හරිම වැදගත්. කුඩා කාලේ සිටම දරුවාට සවන් දීම අත්‍යවශ්‍යයි. පුංචි කාලේ අදහස් බෙදා නොගන්න දරුවෝ පසු කාලයේ දෙමාපියන් සමග තමන්ගෙ අදහස් බෙදා ගන්න පෙළඹෙන්නෙ නැහැ. කොහොම වුණත් තීරණ ගන්න කොට දරුවන්ට සවන් දිය යුතු බව මතක තබා ගන්න.
  • දරුවන්ව විවේචනය කරන්න එපා. විවේචන වලින් තොරව හරි වැරදි තේරුම් කරලා දෙන්නත් යම් කටයුත්තක නිරත කරවන්නත් උත්සහා කරන්න. ඒ වගේම ඔවුන්ව අගය කරන්නත් අමතක නොකරන්න.
  • වැඩිහිටි අපිට වගේම දරුවොත් දුකෙන්, තරහෙන්, සතුටින් ඉන්න අවස්ථා තියෙනවා. ඒ ඒ අවස්ථා හඳුන ගෙන කටයුතු කරන්න අපි උත්සහා කළ යුතුයි. ඔවුන් දුකෙන් තරහෙන් සිටින අවස්ථා වලදි සංවේදීව ඒ අවස්ථා කළමනාකරනය කරන්න. ඒ වගේම ඔවුන් සතුටින් ඉන්න අවස්ථා වලදි ඔවුන් එක්ක එකතු වෙන්නත් දෙපාරක් හිතන්න එපා.
  • මේ අපේ දරුවො වුණත් ඔවුන්ගේ ජීවිතය අයිති ඔවුන්ට බව තරයේ සිහියේ තබා ගන්න. අප ඔවුන්ට මග පෙන්වන්නන් මිස ඔවුන්ව අප යායුතු මග ඇදගෙන නොයා යුතුය. ඔවුන්ට ඔවුන් ලෙස ස්වාධීන නැගී සිටින්නට අත්වැලක් වෙන්න.
  • අවවාදයට වඩා ආදර්ශය උතුම් බව දෙමාපියන් වන අපි තේරුම් ගත යුතුයි. දරුවන්ට ආදර්ශමත් ලෙස කටයුතු කරන්න.
  • දරුවන් පිටස්තරයන්ගේ ආරක්ෂාව සොයන්නේ නිවස තුල තමා ආරෂිත නැතැයිකියා හැඟුනාු විටයි. ඕනෑම අභියෝගයක් ඉදිරියේ ඔබ දරුවා සමගම සිටින බව ඔවුන්ට දැනෙන්නට හරින්න. 

දරුවන් උස්මහත් වුණාම හුරතල් කරන්න, ආදරය කරන්න අපිටත් අමතක වෙනවා. ආදරයට අවදානයට කවුද අකමැති. ඒ නිසාම එයාලට මේ වයසෙදිත් දැනෙන්න ආදරය කරන්න.

හෙට දිනයේ ලෝකයට පිපෙන්නට බලා සිටින අපේ නව යොවුන් වියේ දරුවන් පිළිබඳ තවත් ලිපියකින් හමු වෙමු.


සටහන

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනී

Leave feedback about this

  • Quality