ජූනි 7, 2025
Parent Pulse Kids Medicine Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබත්, ඔබේ දරුවාට තේ හැන්දෙන් බේත් පොවන අම්මෙක්ද?

මොන තරම් විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගියත් පුංචි දරුවන්ගේ රෝග වලට සහනයක් ලැබෙන්නේ නැහැ කියන මැසිවිල්ලෙන් ඇතැම් මව්පියන් පසු වෙනවා. දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිමේදි වෙදකම වගේම හෙදකමත් වැදගත් වෙනවා. පුංචි දරුවන්ට බොහෝවිට ඖෂධ ලෙස ලබා දෙන්නේ සිරප් වර්ගයි. විශේෂඥ වෛද්‍යවරයාගේ නම අගිස්සට තිබෙන උපාධි වලින් ඔහුගේ විශේෂඥතාවය තහවුරු වුනත් නිර්දේශිත ඖෂධ මාත්‍රාව නිසි විදිහට රෝගියාට නොලැබුනොත් රෝගයෙන් සහනයක් ලබන්න අසිරුයි.

හැම දෙයක්ම පමණ දැන සිදු වෙන්න අවශ්‍යයි. දරුවන් වෙනුවෙනුත් වෛද්‍යවරයා නිර්දේශ කරන මාත්‍රාව නිසි පරිදි නොලැබුනොත් රෝගය වෙනුවෙන් ප්‍රතිකාරය සාර්ථක වෙන්නේ නැහැ. ඖෂධ ප්‍රමාණය අඩුවෙන් වගේම අධිකව ගැනීමත් සුදුදසු නැහැ. සිරප් වර්ග වගේම ඇස්, මුඛය, නාසය වෙතින් ඇතුළු කරන ඖෂධ මාත්‍රාව නිවරැදි ලෙසින් නික්ෂේපනය කළ යුතුයි. මේවායේ මාත්‍රාව බොහෝ විට මිලිලිටර් වලින් සටහන්ව තිබෙනවා.

නමුත් අපේ මව්පියන් දරුවන්ට ඖෂධ ලබා දිමේදි මිණුම් ඒකකය විදිහට භාවිත කරන්නේ තේ හැන්ද නිසා මාත්‍රාව නිසි පරිදි දරුවාට ලැබෙන්නේ නැහැ. තේ හැන්දක සම්මත ප්‍රමිතියක් තිබෙනවා නම් මේ ගැටළුව ඇති වෙන්නේ නැහැ. නමුත් අද වෙළඳ ලෝකයේ හැඳි නිපදවිමේ ප්‍රමිතියක් නැහැ. සාමාන්‍යයෙන් තේ හැන්දකින් දියර මිලිලිටර් පහක ප්‍රමාණයක් අඩංගුයි. අද දවසේ තිබෙන තේ හැන්දකින් මෙම පරිමාව අපේක්ෂා කිරිම අපහසුයි.

මේ පිලිබඳව අධ්‍යනයක් නිව්යෝක් විශ්ව විද්‍යාලයේ වරලත් මහාචාර්ය වෛද්‍ය ඇලන් ඇතුළු පිරිසක් විසින් සිදු කරනු ලැබුවා. එහිදි ඔවුන් පෙන්වා දුන්නේ නිවැරදි මාත්‍රාව නොලැබිම නිසා රෝග සුවවිමේ ප්‍රවනතාවය 50% කින් පහත වැටි ඇති බවයි. විශේෂයෙන් ප්‍රතිජිවක ඖෂධ මාත්‍රාව නිසි පරිදි ශරීරගත නොවුන විට නැවතත් රෝගය හිස ඔසවනවා. මාත්‍රාව පමණ ඉක්මවා ගත් විට අතුරු රෝග සංකුලතාවයන් වගේම ජිවිතයට පවා අවදානමක් ඇති වෙනවා.

ඔවුන්ගේ අධ්‍යයනයට වයස අවුරුදු නවයට අඩු දරුවන්ගේ මව්පියන් 300 ක් දෙනා තෝරා ගත්තා. මේ උදවිය වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ලබා දිමෙන් පසුව දුරකථනයෙන් ඔවුන් අමතා මෙම නිර්දේශිත ඖෂධ ලබා දුන් ආකාරය ගැන විමසා සිටියා.

මෙම මව්පියන් 2/3ක්ම ප්‍රතිකාර වෙනුවෙන් යොදා ගෙන තිබුනේ වැරැදි මාත්‍රාවක්. ඇතැම් අය මුලුුතැන්ගෙයි පාවිච්චි කරන කුඩා ප්‍රමානයේ මේස හැන්ද තෝරා ගෙන තිබුනා. නමුත් තමන්ගේ නිදහසට කරුනු ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටියේ මෙම බෝතල් ලේබලයේ සටහන්ව තිබුනේ තේ හැඳි මාත්‍රාව නිසා ඒ අන්දමට කටයුතු කළ බවයි. මෙම පිරිස අතරින් දරුවන් වෙනුවෙන් නිසි මාත්‍රාවට ඖෂධ ලබා දුන් පිරිස 28% ක් වුනා. මේ පිරිස නිවරැදි ලෙසින් කටයුතු කළේ ඔවුන් තේ හැන්ද වෙනුවට මිලිලිටර් පහක මාත්‍රාව භාවිත කළ නිසයි.

වැරදෙන තැන කොතැන වුනත් එහි විපාක ලබන්නේ දරුවන් නිසා අධ්‍යයනයේ යෙදුන පර්යේෂකයන්ගේ නිගමනයන් වුනේ ෆාමසිවල තිබෙන ඖෂධ බෝතල ලේබල වල වගේම නික්ෂේපන දියර වෙනුවෙන් අනිවාර්යෙන්ම මිලිලීටර් භාවිත කළ යුතු බවයි. මේ යෝජනාව ගැන ඖෂධ බළධාරින්ගේ අවදානය යොමු විය යුතු බව අධ්‍යයනයේ යෙදුන මහාචාර්ය Mendelsohn අවධාරනයෙන් සඳහන් කරනවා. ඖෂධ දියර සමග මාත්‍රාව අඩංගු කුඩා හැන්දක් හෝ මෙවලමක් ඇතුලත් කිරිම බොහෝ නිෂ්පාදන වෙනුවෙන් සිද්ධ වෙනවා. මේ ප්‍රතිපත්තිය සෑම ඖෂධ නිෂ්පාදන සමාගමක් වෙනුවෙන් ආදේශ කරන්න පුලුවනි. ඒ වගේම දරුවන්ගේ මව්පියන්ටත් තේ හැන්ද නියමිත මාත්‍රාව ගැන සෑහීමට පත් විම අපහසු බවත් ඒත්තු ගැන්විම අවශ්‍යයි.


Leave feedback about this

  • Quality