පොත්පත් කියවීම යනු හුදෙක් දැනුම ලබාගැනීමක් පමණක් නොව, එය මනසට විවේකය හා පෝෂණය සපයන, සිතුවිලි පුළුල් කරන සහ නව ලෝක වෙතට අපව ගෙන යන පුරුද්දකි. එහෙත්, අපේ කාර්යබහුල ජීවිතය තුළ මේ වටිනා පුරුද්දට නිසි තැන ලබා දීමට අපට නොහැකි වී ඇත. මේ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ අපේම නිවස තුළ පොත් කියවීමටම වෙන් වූ, සුවපහසු සහ මනස්කාන්ත පරිසරයක් නිර්මාණය කරගැනීමයි.
කියවීමේ පුරුද්ද නැවත පණගන්වා ගැනීමට සහ එය දීර්ඝ කාලීන විනෝදාංශයක් බවට පත් කර ගැනීමට උපකාරී වන, කියවීමේ මුල්ලක් ගෙදරදී නිර්මාණය කරගන්නා ආකාරය අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.
- තැනක් තෝරාගන්න
කියවීමේ පරිසරයක් නිර්මාණය කිරීමේදී පළමු හා වැදගත්ම පියවර වන්නේ නිවසේ ඒ සඳහා සුදුසුම ස්ථානය තෝරාගැනීමයි.
නිස්කලංක බවින් යුතු එනම් වැඩි කලබලයක්, ශබ්දයක් හෝ බාධාවක් නැති ස්ථානයක් තෝරන්න. නිදන කාමරයේ, සාලයේ කෙළවරක හෝ භාවිතයට නොගන්නා කුඩා කාමරයක් මේ සඳහා සුදුසුය.
ස්වාභාවික ආලෝකය හොඳින් ලැබෙන, හැකි නම් කවුළුවක් අසල තැනක් තෝරාගන්න. හිරු එළියට නිරාවරණය වීම මනසට සතුටක් ගෙන දෙන අතර, දිවා කාලයේදී කියවීමට එය කදිම පරිසරයකි.
ඔබ සහ ඔබේ පොත පමණක් සිටින බවක් දැනෙන ස්ථානයක් තෝරාගැනීම මනස ඒකාග්‍ර කර ගැනීමට උපකාරී වේ. කාමරයේ කෙළවරක් හෝ තිරයක්/බෙදුම් බිත්තියක් යොදා වෙන් කරගත් ස්ථානයක පෞද්ගලික බව රැක දේ.
- සුවපහසු බව රැකගන්න
පොතක් අතට ගත් පසු පැය ගණනාවක් ගත කිරීමට අවශ්‍ය බැවින්, සුවපහසුව යනු කියවීමේ අවකාශයක අත්‍යවශ්‍යම අංගයයි.
ඔබේ කියවීමේ අවකාශයට උචිතම ආසනය තෝරාගන්න. හොඳ පිටුපස ආධාරකයක් සහිත සුවපහසු අත් පුටුවක් වඩාත් සුදුසුය. ඔබට කවුළුවක් අසල ඉඩක් තිබේ නම්, එය මෘදු කුෂන් සහ කොට්ට යොදා සුවපහසු ආසනයක් බවට පත් කළ හැකිය. පාද තබාගෙන සුවසේ දිගා වී කියවීමට හැකි ආසනයක් වුවද සුදුසුය.
අමතර සුවපහසුව සඳහා මෘදු ලොම් බ්ලැන්කට් එකක් සහ විවිධ ප්‍රමාණයේ කොට්ට එක් කරගන්න. මේවා විවිධ වර්ණ හා වයනයන්ගෙන් යුක්ත වීමෙන් අවකාශයට උණුසුම් හා ආකර්ෂණීය බවක් එක් කරයි.
- හොඳ එළියක් අවශ්‍ය බව මතක තබාගන්න
කියවීම සඳහා නිසි ආලෝකය අත්‍යවශ්‍ය සාධකයකි. ඇස් වෙහෙසට පත් වීමකින් තොරව දීර්ඝ කාලයක් කියවීමට මෙය උපකාරී වේ.
කියවීමටම වෙන් වූ ආලෝක ප්‍රභවයක් (Floor Lamp, Table Lamp) තිබීම වැදගත්ය. මෙම ආලෝකය පුටුවට ඉහළින් හෝ පැත්තකින්, ඔබ කියවන ප්‍රදේශයට කෙළින්ම වැටෙන ලෙස සකස් කරන්න.
දීප්තිමත් සුදු ආලෝකයට වඩා කහ පැහැයට හුරු උණුසුම් ආලෝකයක් තෝරාගන්න. මෙය වඩාත් සන්සුන් හා කියවීඹට අනුබල දෙන පරිසරයක් නිර්මාණය කරයි.
ආලෝකයේ තීව්‍රතාවය අඩු වැඩි කළ හැකි ස්විචයක් හෝ පහනක් භාවිත කිරීමෙන් අවශ්‍යතාවය අනුව ආලෝකය සකස් කරගත හැකිය.
- සොදුරු බව රැකගන්න
කියවීමේ අවකාශය මනස්කාන්ත තෝතැන්නක් බවට පත් කිරීමට සෞන්දර්යාත්මක අංග භාවිත කළ හැකිය.
කියවීමේ අවකාශයට ආසන්නව, ඔබේ පොත්පත් ගබඩා කිරීමට ලස්සන පොත් රාක්කයක් හෝ කුඩා පැති මේසයක් තබන්න. පොත් අලංකාර ලෙස ප්‍රදර්ශනය කිරීමම කියවීමට පෙළඹවීමකි.
අලංකරණ අංග ලෙස කුඩා ගෘහස්ථ ශාකයක් හෝ දෙකක් එකතු කිරීමෙන් ස්වාභාවික බවක් හා ජීවයක් ගෙන එයි. තවද ඔබ ප්‍රිය කරන චිත්‍රයක් හෝ ඡායාරූපයක් බිත්තියේ එල්ලන්න. එසේම සුවඳවත් ඉටිපන්දමක් හෝ ඩිෆියුසර් එකක් මගින් ලැවෙන්ඩර්, වැනිලා හෝ සඳුන් වැනි සන්සුන් සුවඳක් පරිසරයට එක් කරන්න.
ඔබේ කෝපි කෝප්පය, තේ කෝප්පය හෝ කියවීමේදී සටහන් තබාගැනීමට අවශ්‍ය පෑනක් හා පොතක් තබා ගැනීමට කුඩා පැති මේසයක් තිබීම අවශ්‍ය වේ.
- සංවේදී වටපිටාවක් ඇති කරගන්න
කියවීමේ අත්දැකීම උපරිම කිරීමට ඔබේ අනෙකුත් ඉන්ද්‍රියන් ද උත්තේජනය කළ යුතුය.
ඉතා සන්සුන්, මෘදු වාද්‍ය සංගීතයක් (Instrumental) හෝ ස්වභාවික නාද (Nature Sounds) ඉතා අඩු ශබ්දයකින් වාදනය කරන්න.
කියවීමේ පුරුද්ද සමඟ උණුසුම් තේ කෝප්පයක් හෝ කෝපි කෝප්පයක් සම්බන්ධ කර ගැනීමෙන් මේ ගත කරන්නේ විවේකී කාලයක් බවට මොළයට සංඥාව ලබා දෙනු ඇත.
ජංගම දුරකථනය, ටැබ්ලට් පරිගණකය වැනි අවධානය වෙනතකට යොමු කරන උපකරණ කියවීමේ අවකාශයෙන් බැහැරව තැබීමට උත්සාහ කරන්න. (ඩිජිටල් පොත් කියවන්නේ නම්, දැනුම්දීම් (Notifications) අක්‍රිය කරන්න.)
- පුරුද්දක් ඇති කරගන්න
පරිසරය නිර්මාණය කිරීමේදී මෙන්ම, එය භාවිතයට හුරු වීමද වැදගත්ය.
දිනපතාම පොත් කියවීම සඳහා නිශ්චිත කාලයක් උදාහරණයක් වශයෙන් නින්දට පෙර පැයක් ලෙස හෝ කැමති වෙන් කරන්න.
ඔබේ කියවීමේ අවකාශය සෑම විටම පිළිවෙලට හා සූදානම්ව තබාගන්න. බ්ලැන්කට් එක නමා තැබීම, කොට්ට පිළිවෙලට තැබීම සහ කියවීමට යන පොත අතට ගැනීමට හැකි වන සේ තැබීම වැදගත්ය.
ඔබගේ පෞද්ගලික රුචි අරුචිකම් අනුව මෙම අවකාශය සකස් කරගන්න. ඔබ ප්‍රිය කරන වර්ණ, පොත් සහ සිහිවටන භාවිත කරන්න.
ගෙදර පොත් කියවීමට ඇදබැඳගන්නා පරිසරයක් නිර්මාණය කිරීම යනු අලංකරණයක් පමණක් නොවේ. එය ඔබගේ මානසික සෞඛ්‍ය සහ අධ්‍යාත්මික දියුණුව සඳහා සිදුකරන ආයෝජනයකි. සුවපහසු ආසනයක්, නිසි ආලෝකයක් සහ සන්සුන් සුවඳක් එකතු කිරීමෙන්, ඔබට පිටත ලෝකයේ කලබලයෙන් මිදී, පොතක පිටු අතර සැඟවී සිටීමට හැකි විවේකයේ සහ දැනුමේ පෞද්ගලික තෝතැන්නක් නිර්මාණය කරගත හැකිය.
