1. පුංචි දෙයින් සතුටු වෙන්න
පුංචි දේ ලස්සනයි… ඔබ මේ කියමන අසා ඇති. ඒ වගේම ජීවිතයේ පුංචි දෙයින් සතුටු වෙන්න. ඉෂ්ට කර ගත නොහැකි විශාල අරමුණු ඉදිරියේ ලතැවීමට වඩා තමාගේ හැකියාව අනුව ළගා කරගත් ජයග්‍රහණ ගැන තෘප්තිමත් වෙන්න. අතෘප්තිමත් බව ඔබේ ජීවිතයේ කනස්සල්ලට හේතු වෙන නිසා නිතරම තමා ලද දෙයින් සතුටට පත් වෙන්න.
2. විවේකයක් සොයා ගන්න
අපි හරි බිසි…. අද බොහෝ දෙනාගේ ජීවිතයේ තේමාව වී තිබෙන්නේ මෙයයි. ඔබ කාර්ය බහුල බව ඇත්ත. නමුත් ඒ කාර්යබහුල ජීවිතයේදී යම් විවේකයක් ලබා ගන්න. අනවශ්‍ය කලබලය, හදිස්සිය වෙනුවට විවේකී මනසින් කටයුතු කරන්න. ජීවිතයේ සතුට එතැනින් ඔබට ලැබේවි.
3. ඔබේ දියුණුව ගැනත් හිතන්න
බොහෝ කාන්තාවන් තමන්ගේ පවුල මුල් කර ගෙන ජීවත් වෙනවා. දරුවන් රැකීම කාන්තාවකගේ භුමිකාව වුනත් ඇගේ පෞද්ගලික දියුණුවත් ඉතා වැදගත්. සරලවම කිව්වොත් පවුලේ බිරිඳ, මව සිටින්නේ බත් ඉවීම පිණිසම නොවේ. ඒ නිසා විවේකය උපයා ගෙන හෝ ඇගේ කුසලතාවයන් දියුණු කර ගැනීමටත් කාලය යොදා ගැනීම වැදගත්. උදාහරණයක් විදිහට ඉවුම් පිහුම්, මැහුම් හෝ වෙනත් ඇගේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන පාඨමාලාවක් හැදැරීම වෙනුවෙන් යම් වේලාවක් වෙන් කර ගත් විට ඒ තුලින් ලැබෙන තෘප්තිය ඔබටත් නොදැනීම සතුටක් බවට පත් විය හැක.
4. පවුල තුළ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න
අපේ සමාජයේ පවුල් සංස්ථාව තුළ විවිධ ගැටුම් හැල හැප්පීම් නැතුවාම නොවේ. සමහර විට සැමියා සහ දරුවන් මුල් කර ගෙන ඉතා හොඳ සම්බන්ධතාවයන් තිබුනත් සැමියාගේ මව හෝ සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් ඒ සම්බන්ධතාවයන් ගිලිහී යන අවස්ථා ඇත. ඒ සම්බන්ධතාවයන් හොඳින් තිබුනත් කාර්යාලයේ අසල්වැසියන් සමග හොඳ සම්බන්ධතාවයක් නැත්නම් ඔබට සතුටු සිතින් ජීවත් වීම යම් දුරකට අපහසු විය හැක.
5. ඒකාකාරී බවින් මිදෙන්න
ජීවිතය එ්කාකාර රටාවකින් ගත කිරීමට වඩා අලුත් දෙයක් ගැන සිතන්න ඔබේ අත්දැකීම් තවත් පෝෂණය කර ගන්න. සුන්දර ස්ථානයක් එහෙම නැත්නම් අපේ රටේ සංස්කෘතික උරුමයක් නැරඹීමට පවුල සමග සහභාගී වෙන්න. එයින් ඔබටත් නොදැනීම ලැබෙන සතුට ජීවිතය රසවත් කරනු ඇත.
6. ක්‍රියාශීලී වෙන්න
දවසේ තුන්වේලට ආහාර පිසීමෙන් ඔබට ව්‍යායාම ලැබෙන්නේ නැහැ. බොහෝ අයගේ සිතුවිල්ල වී ඇත්තේ උදේ ඉඳන් කරන මේ වැඩ රාජකාරි හොඳටම ඇති. අපට අමුතුවෙන් ව්‍යායාම අවශ්‍ය නැහැ. නමුත් ඔබේ සිතුවිල්ල වැරදියි. ඔබේ මොළයට හොඳින් රුධිර ගමනාගමනය සිදු වීමට නම් කායික ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා ඉඩ ලද විටෙක දිනකට විනාඩි 20 ක් වත් කායික ව්‍යායාමවල නිරත වෙන්න.
7. පරිසරයට සම්බන්ධ වෙන්න
පරිසරය තරම් මනස අලුත් කරන මනසට සතුට ගෙන දෙන වෙනත් අවස්ථාවක් නැහැ. ඇසට නිලක් කොලක් දැකීමෙන් ලැබෙන මානසික සතුට ඔබට කොතරම් මුදල් වැය කරත් උපයා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා නිතරම ගහ, කොළ, සතා, සිවුපාවන් සමග ජීවත් වෙන්න.
8. අනුන්ට උදව් වෙන්න
සමාජයේ ජීවත් වෙන විට අපට සම්බන්ධ තවත් චරිත තිබෙනවා. අපට හැකි පරිදි ඔවුන්ට උදව් වෙන්න. එය මුදලින් පමණක් නොව ඇතැම් විට ඔබේ ශ්‍රමයෙන් හෝ වචනයෙන් පවා කළ හැකි දෙයක් බව සිහි තබා ගන්න.
9. ඉදිරි වසර වෙනුවෙන් ඉලක්ක ගොඩ නගා ගන්න
බලාපොරොත්තුව මිනිසා ජීවත් කරනවා. බලාපොරොත්තු නැති තැන අපට ජීවිතයක් නැති තරම්. ඒ නිසා ඉදිරි වසරට ඔබට යම් ඉලක්කයක් ගොඩ නගා ගන්න. ලැබු වසර අවසාන වෙන විට මගේ මෙම ඉලක්කය සපුරා ගන්නා බවට අරමුණක් ගොඩ නගා ගන්න. සමහර විට මේ අරමුණ ඔබ ඉලක්කගත තරමටම නොවුනත් යම් ප්‍රමාණයකින් හෝ වසර අවසාන වෙන විට ඔබට තෘප්තියක් ලබා දීමට සමත් වීමට පුළුවනි.
10. කෘතවේදී වෙන්න
අපේ ජීවිතයේ පැවැත්මට උපකාරි වුන බොහෝ අය සිටිනවා. වාතය, ගහ කොළ පවා අපේ ජීවිතය පවත්වා ගෙන යෑමට උදව් උපකාර වෙනවා. ඒ නිසා හැම දෙනෙකුගෙන්ම ලැබෙන සහය අමතක නොකරන්න. කොටින්ම සමස්ත විශ්වයටම ස්තුතිවන්න වෙන්න. එය ඔබේ සතුටට හේතුවකි.
11. අද දවසේ ජීවත් වෙන්න
බොහෝ අයගේ සතුට නැති වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ මෙම පසුතැවිලි සහගත සිතුවිලි බැව් සඳහන් කිරීම වැදගත්. අතීතය වෙනුවෙන් වැලපීම අවශ්‍ය නැහැ. අතීතය දැන් ගෙවී ගොස්ය. ඒ වැරදි වර්තමානයේදී නිවරැදි කර ගැනීම හැර වැලපීම වැදගත් නැත. අනාගතය තවම අප ඉදිරියේ නැත. අනාගතයේ විය හැකි දේ ගැන සිතමින් වැලපීම අනර්ථයක් බැව් සිතන්න. ඒ නිසා අද දවස හෙවත් වර්තමානයේ ජීවත් වෙන්න. එය ඔබේ ජීවිතයට සතුට ගෙනෙන ස්වර්ණමය මාවත සදනු ඇත.
තොරතුරු මූලාශ්‍ර
Leave feedback about this