සුරතල් සතුන්ට ආදරය කරන්නන් ඔවුන් තම පවුලේ සාමාජිකයන් ලෙසම සලකයි. ඔවුන් නිවසට ගෙන එන්නේ නොසැලෙන ආදරය, සතුට සහ මානසික සුවයක් වන අතර, අපේ ජීවිතවල තනිකම දුරු කිරීමට ඔවුන් සමත් වෙයි. අපට සුවපහසු නිවසක් අවශ්‍ය වන්නා සේම, අපේ ආදරණීය සත්ත්ව මිතුරන්ටද ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ සතුටින් සිටිය හැකි නිවහනක් අවශ්‍ය වේ. සුරතල් සතුන් වෙනුවෙන් අපේ නිවසේ පරිසරය සකස් කිරීම යනු ආදරය පෙන්වීමට මෙන්ම, අනතුරු අවම කිරීමටද ඇති හොඳම මාර්ගයකි.
නිවස තුළ අපට හානි නොවන බොහෝ දේ සත්ත්වයන්ට විෂ සහිත විය හැකිය. එබැවින්, නිවස සත්ත්ව ආරක්ෂිත ස්ථානයක් කරගැනීම පළමු සහ වැදගත්ම පියවරයි.
විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සහ සුරක්ෂිත කිරීම
- අපේ නිවෙස් අලංකාර කරන ඇතැම් ගෘහස්ථ ශාක සතුන්ට විෂ සහිත විය හැකිය. එම ශාක හඳුනාගෙන, ඒවා සතුන්ට ළඟා විය නොහැකි උසකින් හෝ නිවසින් පිටත තබන්න.
- බිම සේදීමට ගන්නා දියර, බ්ලීචිං සහ අනෙකුත් විෂ සහිත පිරිසිදුකාරක, ඖෂධ, සහ බැටරි වැනි අනතුරුදායක දේ තදින් වසා ඇති කැබිනෙට්ටු තුළ අගුළු දමා තැබිය යුතුය.
- සතුන් කෑමට පෙළඹෙන ආහාර අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හෝ තියුණු දේ අඩංගු කුණු කූඩ, තදින් වසා දැමිය හැකි පියනක් සහිත හෝ සතුන්ට ළඟා විය නොහැකි ස්ථානවල තබන්න.
විදුලිය සහ කේබල් ආරක්ෂාව
- සතුන්, විශේෂයෙන් බලු පැටවුන් හා පූස් පැටවුන්, විදුලි රැහැන් හපා කෑමට ඉඩ ඇත. විදුලි සැර වැදීම වැළැක්වීමට, භාවිතයට නොගන්නා සියලුම රැහැන් ගලවා ඉවත් කරන්න. භාවිතයේ ඇති රැහැන්, කේබල් කවර්ස් තුළ හෝ ගෘහ භාණ්ඩ පිටුපසින් සඟවා තබන්න.
- බිම් මට්ටමේ ප්ලග්, බිත්ති ප්ලග් භාවිත කරන්නේ නම්, ඒවා ආරක්ෂිත ආවරණ මගින් ආවරණය කරන්න.
සතුන්ට මානසික සුවය සහ ආරක්ෂිත බවක් දැනෙන අවකාශයක් තිබීම වැදගත්ය.
- සෑම සතෙකුටම තමන්ටම වෙන් වූ, සුවපහසු කූඩයක්, ඇඳක් හෝ උණුසුම් බ්ලැන්කට් එකක් සහිත කොනක් තිබිය යුතුය. මෙය ඔවුන්ට ආරක්ෂිත බවක් දැනෙන පෞද්ගලික ස්ථානය ලෙස ක්‍රියා කරයි. ආගන්තුකයන් නිවසට පැමිණි විට හෝ බියක් දැනෙන විට ඔවුන් මෙම ස්ථානයට යනු ඇත.
- බළලුන් ස්වභාවයෙන්ම උස් ස්ථාන වලට ප්‍රිය කරන බැවින්, බිත්ති රාක්ක, බළලුන් නැගීමේ රාමු (Cat Trees) හෝ කවුළු අසල උස් ආසන සකස් කිරීමෙන් ඔවුන්ට සිරස් අවකාශය ගවේෂණය කිරීමට අවස්ථාව දෙන්න.
- ආහාර සහ ජලය භාජන නිවසේ නිස්කලංක, ස්ථාවර ස්ථානවල තබන්න. ජල භාජන නිතරම නැවුම් ජලයෙන් පුරවා තිබිය යුතුය. හැකි නම්, නිවසේ ස්ථාන කිහිපයක ජලය තැබීමෙන් සතුන් නිතර ජලය පානය කිරීමට පෙළඹේ.
සුරතල් සතුන් ඇති කරන නිවසක සනීපාරක්ෂාව සහ පිරිසිදුකම පවත්වා ගැනීම ඔවුන්ගේ සහ නිවැසියන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි.
- ඔබ සතුන්ට වඩාත් ආදරය කරන සතුන් නිවස තුළ ඇති කිරීමට කැමති අයෙක් නම් නිවසට ගෘහභාණ්ඩ ගැනීමේදී පහසුවෙන් පිරිසිදු කළ හැකි ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට මුල සිටම සිතන්න. පහසුවෙන් සෝදාගත හැකි ආවරණ (Washable Covers) සහිත සෝෆා තෝරන්න. ලෙදර් හෝ කල් පවතින රෙදි සත්ත්ව ලොම් පහසුවෙන් ඉවත් කිරීමට සහ සීරීම් අවම කිරීමට උදව් වේ. කාපට් වෙනුවට ටයිල් හෝ ලී බිම සතුන් ඇති කරන නිවෙස් වලට වඩාත් සුදුසුය. එය පිරිසිදු කිරීමට පහසු වන අතර, දුගඳ තැන්පත් වීම අවම කරයි.
- පූසන් සඳහා ලිටර් බොක්ස් වැඩි ප්‍රමාණයක් තිබීම උචිත වේ. එනම් ඔබේ නිවසේ පූසන් දෙදෙනෙක් සිටී නම් ලිටර් බොක්ස් තුනක් තැබීම වැදගත් වේ. ඒවා පිරිසිදු, නිස්කලංක ස්ථානයක තබා දිනපතාම පිරිසිදු කරන්න. බල්ලන් සඳහා, නිවසේ වැසිකිළි පුහුණුව (Potty Training) නිසි පරිදි ලබා දීමට වග බලා ගන්න.
- සතුන්ගේ ලොම් නිවසේ තැන්පත් වීම අවම කිරීමට ලොම් ඉවත් කරන බුරුසු නිතිපතා භාවිත කරන්න. සතුන්ගේ ලොම් කාර්යක්ෂමව උරා ගැනීමට හැකි හොඳ වැකුම් ක්ලීනර් එකක් මිලදී ගැනීම සුදුසුය.
සතුන්ට ශාරීරික ආරක්ෂාව පමණක් නොව, මානසික සතුටද අත්‍යවශ්‍ය වේ.
- සතුන් කම්මැලි වූ විට ගෘහ භාණ්ඩ හෝ වෙනත් දේ විනාශ කිරීමට පෙළඹේ. එම නිසා, ඔවුන්ගේ ස්වභාවයට (දඩයම් කිරීම, හපා කෑම) ගැළපෙන විවිධ සෙල්ලම් බඩු (සීරීමට හැකි පුවරු, හපන්නට හැකි රබර් සෙල්ලම් බඩු) ලබා දෙන්න.
- සුනඛයන් සහ පූසන් සඳහා ආහාර සැඟවිය හැකි පසල් ටෝයිස් ලබා දීමෙන් ඔවුන්ගේ මනස උත්තේජනය වන අතර, ඔවුන් දිගු වේලාවක් කාර්යබහුලව තබා ගනී.
- සතුන්ට අවශ්‍ය විටෙක නිවෙසින් පිටත ආරක්ෂිත මිදුලකට හෝ බැල්කනියකට යාමට පහසු දොරක් (Pet Door) සවි කිරීමෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය සහ සතුට වැඩි වේ.
සතුන්ට සුවපහසු උෂ්ණත්වයක් සහ වාතයේ ගුණාත්මක බවක් පවත්වා ගැනීම වැදගත්ය.
- ශ්‍රී ලංකාවේ අධික උෂ්ණත්වය සතුන්ට ඉතා වෙහෙසකර විය හැකිය. වායුසමීකරණ යන්ත්‍රයක් (AC) නොමැති නම්, සෙවන ඇති ස්ථාන, තෙත පලස් හෝ විදුලි පංකා භාවිතයෙන් නිවසේ උෂ්ණත්වය පාලනය කරන්න. ඔවුන්ට සීතල ටයිල් මත නිදා ගැනීමට ඉඩ දෙන්න.
- උදුන්, උණුසුම් උපකරණ, සහ ගිනි මැල අවට සතුන් ගැවසීම වැළැක්වීමට ආරක්ෂිත වැටවල් යොදන්න.
ආදරය, සැලකිල්ල සහ නිසි පරිදි සකස් කළ ආරක්ෂිත නිවසක් තුළ, ඔබේ සුරතල් සතුන් සතුටින් සහ දීර්ඝායුෂ විඳිනු ඇත. ඔබේ නිවස ඔබට මෙන්ම, ඔබේ සත්ත්ව මිතුරන්ටත් සතුටින් කාලය ගත කළ හැකි තැනක් කරගැනීම ඔබේ වගකීමයි.
