ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දරුවෙකුට මුල් මාස 4 – 6 දක්වා මව්කිරි ලබා දීම අත්‍යවශ්‍ය බවත් , එයින් පසුව ඔවුන්ට ඝන ආහාර පටන් ගැනීම සිදු කළ යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම ඝන ආහාර පටන් ගෙන වසරක් පමණ යන තුරු ඝන ආහාර සමග මව්කිරි ලබා දීමත් සුදුසුයි.
නමුත් අපේ අම්මලාට දරුවාට මව්කිරි පමණක් ලබා දෙන කාලයේදී නොමැති වූ ගැටළු බොහොමයක් ඝන ආහාර පටන් ගැනීමත් සමගම ඇති වෙනවා. මේ නිසාම මව්පියන් අතර නිතරම ඇත්තේ කනස්සල්ලක්.
බබා කන්නේ නැහැ…දවසක් කෑවොත් අනිත් දවසේ බඩේ අජීර්ණයක්.. ඉතින් මේ වගේ ගැටලු මව්පියන්ට පොදුයි. ඒ විතරක් නොවෙයි, ඉතින් මේ ප්‍රශ්නවලටත් පිළිතුරු තිබෙනවා.
දරුවාගේ වයස අවුරුද්දක් පමණ වෙන තෙක් ඝන ආහාර සමග මව්කිරි ලබා දීම වැදගත්. මුලින්ම ඝන ආහාර පටන් ගැනීමේදී මත් ගා සකස් කර ගත් බත් තලපය සුදුසුයි. එයට මව්කිරි ස්වල්පයක් එකතු කරන්න. මේ තලපය සමග දවසට එක වේලක් ඝන ආහාර ලබා දෙන්න. නමුත් දරුවා හොඳින් ඝන ආහාර අනුභව කරනවා නම් දවසට දෙවේලක් ලබා දීමට කටයුතු කරන්න.
එකම විදියේ ආහාරම දෙන්න එපා
වැඩිහිටියන් විදිහට අපිත් හැමදාම එකකාකාර විදිහට සකස් කරන ආහාර පාන වෙනුවෙන් කැමැත්තක් නැහැ. ඉතින් පුංචි දරුවන්ටත් ඒ තත්වය සාධාරණයි. අම්මලා විදිහට දින තුනකට වරක්වත් දරුවාගේ ආහාරය වෙනස් කරන්න.
දරුවාගේ ආහාරය කොහොම වෙනස් කරන්නද…?
දරුවන්ගේ ආගන්තුක පුංචි බණ්ඩියට ආහාර ලබා දීමේදී වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඒ නිසාම මව්පියන්ට දරුවාගේ ආහාර වේලට අලුතින් එකතු කළ යුත්තේ මොනාවදැයි යන්නත් ගැටළුවක්. නමුත් මේ දරුවාගේ ආහාරයේ විවිධත්වය වෙනුවෙන් විවිධ ආහාර එකතු කිරීම සුදුසුයි. අල, කැරට් තම්බා ගෙන සාදා ගත් තලපයක් වගේම තවත් සති දෙකක් පමණ වෙන විට මාළු, හාල්මැස්සන් වැනි දේ තම්බා පොඩි කර ගෙන පැටියාගේ ආහාර වේලට එකතු කරන්න අවසර තිබෙනවා.
පුංචි පැටියාගේ ඝන ආහාර කාල සටහන දැන් මාසයක් පුරා ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට ඝන ආහාර වේල් තුනක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව ඇතැම් මව්වරු බටර්, පොල් කිරි සහ පොල් තෙල් දරුවාගේ ආහාරයට එකතු කිරීමට බියක් දක්වනවා. නමුත් මේවා ශක්ති ජනක ආහාර නිසා දරුවාගේ ආහාරයට එකතු කිරීමට බිය විය යුතු නැහැ. ඒත් සමගම ධාන්‍ය, පළතුරු සහ එළවළු පැටියාගේ ආහාරයට ටික ටික එකතු කරන්න. ඒත් ලුණු සහ සීනි පැටියාගේ ආහාරයට එකතු කිරීම සුදුසු නැහැ. බොහෝ මව්වරු දරුවාගේ ආාහරය රස ගැන්වීම පිණිස ලුනු සහ සීනි එකතු කරනවා. නමුත් එය සුදුසු නැහැ.
පුංචි පැටියාට ලුණු, සීනි නුසුදුසු ඇයි ?
ඉතින් මේ සංයෝග දරුවාගේ ආහාරයට සුදුසු නැහැ කිව්වත් ඒ ඇයි බැව් දැන ගැනීම වැදගත්. දරුවාගේ වකුගඩු වර්ධනය වෙන විට ඔහුට වසරක් පමණ ගත වෙනවා. ඒ නිසා එතෙක් දරුවාගේ ආහාරයට ලුුණු එකතු කිරීම අවශ්‍ය නැහැ. මාස 7-8 ක් ගෙවෙන විට බිත්තරයක් ලබා දෙන්න පුළුවනි.
දැන් අවුරුද්දක් ගෙවුනා..
මේ වෙන විට දරුවාට ඝන ආහාර වේල් තුන සමග මව්කිරිත් ලැබෙනවා. දැන් අමතර ආහාර වේලක් ලබා දෙන්නත් කාලය ඇවිත්.
අමතර ආහාර විදිහට දෙන්නේ මොනවාද..?
■ බිත්තරයක්
■ බටර් සමග අල ගෙඩියක්
■ කෙසෙල් ගෙඩියක්
■ යෝගට් එකක්
දරුවෙකුට කවනවා කියන්නේ සැබෑම යුද්ධයක්
සීතල ආහාර දෙන්න බයයි..
බොහෝ විට පරම්පරාවෙන් ලැබෙන රෝගාබාධත් දරුවාට බලපානවා. ඔබේ පවුලේ පීනස, සෙම රෝග තත්වයන්ගේ බලපෑමක් තිබෙනවා නම් ඇඹුල් කෙසෙල්, අලිපේර, අනෝදා වැනි සීතල ආහාර දරුවාටත් අගුණ වෙන්න පුළුවනි. මේ තත්වය හැම විටම සිදු වෙන්නේ නැහැ. ඒත් සීතල යැයි සිතන ආහාරයක් ගැනීමෙන් පසු දරුවාට කැස්ස, පීනස තත්වයක් ඇති වෙනවා නම් එවැනි ආහාර සීමා කරන්න. අසනීප වුනොත්..
දරුවන් අසනීප වුනාම ආාහර වෙනුවෙන් රුචිකත්වයක් දක්වන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී දරුවාගේ බර අඩු වීමට පුළුවනි. ඒ නිසා ඝන ආහාර ලබා දීම සුදුසුයි.
අසනීප නිසා ආහාර නොගෙන සිටි දරුවාගේ බර තීරුව අනුව බර අඩුවෙන ප්‍රවනතාවක් නැත්නම් කලබල විය යුතු නැහැ.
Fussy eaters සමග ගනුදෙනු කරමු
හැම දරුවෙකුටම ආහාර කැවීම ලෙහෙසි පහසු නැහැ. එය එක්තරා ආකාරයක පුංචි යුද්ධයක්. සමහර විට දවසට කිලෝ මීටරයක් පමණ අම්මා එහා මෙහා ඇවිදිනවා. දරුවාගේ ආාහර භාජනය සමග ඇවිදමින් කවනවා. එවැනි දරුවන් අපි Fussy eaters යනුවෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් රූපවාහිනිය හෝ ජංගම දුරකථනයක් අතට දෙනවා. අම්මලා හිතන්නේ උගුරෙන් පහළට ගියාම දිරවනවානේ.. ඒ හින්දා කෙසේ හෝ මේ ආහාර භාජනය හිස් කර ගත්තාම ඇති කියලා වුනත් ඒ සිතුවිල්ල වැරදියි.
දරුවාගේ ආහාර උදරයට ගියත් ඔවුන්ගේ බුද්ධි වර්ධනය ගැනත් මේ කාලයේදී සිතන්න ඕන. ඒ නිසා ඔබ දරුවාට ආහාර පාන ලබා දෙන විට මේ පුරුදු අනුගමනය කරන්න.
වැඩිහිටියන් විදිහට අපට ආහාර පාන ගැනීමේදී නිසි ස්ථානයක් තිබෙනවා. දරුවාටත් එවැනි ස්ථානයක් සූදානම් කරන්න. එතැන රූපවාහිනිය හෝ ගුවන් විදුළියක් තබන්න එපා. එවිට දරුවාගේ අවධානය වෙනස් වෙනවා.
මව්පියන් කාර්ය බහුල බව ඇත්ත. ඒ නිසා හදිසියේ දරුවාට කවා පොවා අවසන් කිරීමට යොමු වුනත් ඔබගේ දරුවාගේ බුද්ධි වර්ධනය වෙනුවෙන් යම් කැප කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා,
■ දරුවා සමග කථා කරමින් කවන්න
■ දරුවා සමග සන්නිවේදනය ගොඩ නගා ගන්න
■ දරුවාගේ අවධානය ඔබ වෙත තබා ගන්න
■ දරුවාට කතන්දරයක් හෝ සින්දුවක් කියමින් කවන්න
■ දරුවාට බත් අනා ගන්න ඉඩ දෙන්න
■ දරුවාගේ ආාහරය වර්ණවත්ව සහ විවිධත්වයෙන් සකස් කරන්න
■ දරුවා කැමැති ස්වභාවයෙන් ආහාර (texture) ලබා දෙන්න
උදරාබාධ වලක්වා ගන්නේ කොහොමද?
බොහෝ විට මේ කාලයේදී දරුවන් ඉතා පහසුවෙන් උදරාබාධයන්ට ගොදුරු වෙනවා. ඒ තත්වය ආහාර නිසා ඇති වෙන බැව් මව්පියන් සිතුවත් බොහෝ විට අපේ ප්‍රමාදය නිසා දරුවාට උදරාබාධ ඇති වෙන්න පුළුවනි. ඒ නිසා මේ ගැනත් සිතන්න
■ දරුවාගේ ආහාර පාන භාජන වෙන් කර තබන්න
■ හැම විටම ඒවා පිරිසිදුව තබා ගැනීම වැදගත්
■ දරුවාට ආහාර පාන ලබා දීමට පෙරාතුව ඔබේ දෑත් හොඳින් සෝදා පිරිසිදු කර ගන්න
මව්පියන් විදිහට ඔබ මේ ගැනත් සැලකිළිමත් වුනොත් ගෙදර දරුවාගේ ආහාර පාන ලබා දීමේදී නිවසේ තිබෙන පුංචි යුද්ධය පහසුවෙන්ම විසඳා ගැනීමේ හැකියාව ලැබේවි.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා