ඔක්තෝබර් 24, 2025
Women and Kitchen Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

කාන්තාවන්ගේ සෞඛ්‍යට එරෙහි වී ඇත්තේ නවින මුලුතැන්ගෙය ද?

කාලය සමග ලෝකයේ ජිවන රටාව වෙනස් වෙන විට අපිට විතරක් එක තැන රැඳී සිටිම අපහසු වුණා. මේ වෙනස අපිත් නොදැනම මුළුතැන්ගෙයත් ආක්‍රමනය කරනු ලැබුවා. අතීතයේ නිවසක මුලුතැන්ගෙයට ලැබුනේ බොහෝම ගරු ගාම්භීර තත්වයක්. මුළුුතැන්ගෙය පිරිසිදුව නොතිබුනොත් රාත්‍රියට නිවසට එන සිරියාකාන්තාව කෙළ ගසන බවට අදහසක් ගොඩ නැගුන නිසාම දවසේ මෙහෙවර අවසානයේදි මුළුුතැන්ගෙය ඉතා හොඳින් පිරිසිදු වුනා. ඒ නිසාම මැස්සන් කැරපොත්තන් වැනි කෘමින්ට මුලුතැන්ගෙදර වාසයට අවසර ලැබුනේ නැහැ.

ඒත් අද දවසේ වැඩකටයුතු අවසානයේදි මොනවා හෝ දෙයකින් රාත්‍රි ආහාරය සප්පායම් වුනත් පවුලේ උදවිය වරින් වර ආහාර ගැනිම නිසා මුලුතැන්ගෙදර ඉඳුල් ඉවත් කිරිම පහසු නැහැ. දරුවන් රාත්‍රියට පාඩම් කරන මුවාවෙන් කලින්ම නින්දට යන්නේ නැවත අවදි වෙන අදහසින්. අම්මාට මේ නිසා මුලුතැන්ගෙය නිසි පරිදි අස් කිරිමට වේලාවක් නැහැ. අම්මාත් නින්දට ගියාට පසුව දරුවන් නැවත අවදි වෙන්නෙත් නැහැ. පසුවදා පහන් වෙන තෙක්ම තිබුන ආහාර උදේට පිලුනු වෙලා. මේ නිසා මුලුතැන්ගෙයි පිරිසිදු බව නැති වෙනවා විතරක් නොවෙයි, අපතේ යෑමත් ඉතාම ඉහලයි.

මුළුතැන්ගෙයි ඉඩ පරිසරය දැන් බොහොම සිමීතයි. කාර්යක්ෂමතාවය වෙනුවෙන් පුංචි පවුල වගේම පුංචි කුස්සියටත් වැදගත් තැනක් තිබෙනවා. ඒත් ඉඩකඩ තිබෙන විට කුස්සිය අතර වුනත් ගමන් කරන නිසා සිරුරට ව්‍යායාමයක් ලැබෙනවා. පිටි කොටන්න, මිරිස් අඹරන්න, ලිප පත්තු කිරිම වෙනුවෙන් දර සොයන්න, දර පලන්න, වතුර පිටතින් රැගෙන එන කටයුකු නිසා නොදැනම ව්‍යායාම ලැබුනා. රසකැවිලි හදන්න වගේම ආප්ප, පිට්ටු , ඉඳි ආප්ප පිළියෙල කරගන්න පිටි ටික වංගෙඩියෙන් ගෙදරම කොටා ගත්තා. තෙතමනය රහිතව කොටා ගත් පිටි නිසා කොකිස්, ආස්මි වැනි රසකැවිලිවල තත්ත්වය බොහොම අපුරුවට තිබුනා.

මිරිස් තුනපහ සියල්ලම නිවසේ පිලියෙල වුනා. කිසිම කවලමක් නැති තුනපහ සිරුරට වස ඇතුළු නොකලා වගේම ගුණාත්මක බවෙන් ආහාර බොහොම රසවත් වුනා. ගින්දර මොලවා ගත් ලිප නිසා දැලි දුම් කරදර තිබුනත් මේ ලිප බහුකාර්යක් ඉටු කරනු ලැබුවා. ලිප අයිනේ තිබු කේතලය නොදැනම වතුර උතුරුවා ගත්තා. අවශ්‍ය බත් මාළු පිස අවසානයේ ගින්දරෙන් පුලුස්සාගත් ළුෑණු බඩේ අජීර්ණයන්ට ගුණ ලබා දුන්නා. උණු අළු පල්ලේ තම්බාගත් දෙහි, කෝමාරිකා වැනි බොහෝ ඔසු වර්ග තිබුනා. කරවල, වම්බටු වැනි දේ පවා උණු අළු පල්ලේ තම්බා ගෙන බත්පත රසවත් කරන අතිරේක පිලියෙල කර ගත්තා. නමුත් අද විදුලි සහ ගෑස් ලිපකින් මෙම කාර්යන් මොනම විදිහකටවත් ඉටු කර ගන්න බැහැ. තාක්ෂණය තුලින් කාලය ඉතුරු වුනත් බහුකාර්යන් වෙනුවෙන් තිබෙන පිරිමැස්ම අහිමි වුනා.

දර ලිපෙන් පිසින ආහාරයක රස, අද ගෑස් ලිපකින් පිසින ආහාරයට වඩා බොහොම වෙනස්. ඊට හේතුව දර ලිප අවශ්‍ය විදිහට වෙනස් කරගත හැකියි. පොලොස් ඇඹුලක් පිසින විට මුලින් ගින්දර සැරට යොදා ගෙන කැබලි තැම්බුන පසුව මද ගින්දරේ තබනවා. එවිට මෘදු වෙමින් ඇතුලට තුනපහ කාවදිනවා. ගෑස් ගින්දරේ මේ හපන්කම් බැහැ. වතුර හිඳුනට මෘදුව තැම්බෙන්නේ නැහැ. ගින්දර බාල කළත් දර ලිපක තිබෙන මද ගිනි රස්නය ගෑස් උඳුනකින් ලැබෙන්නේ නැහැ.

උදේට තිබෙන කලබලය නිසා රාත්‍රියේ පොල් ශීතකරනයේ තබා බ්ලෙන්ඩරයෙන් උදේට අපි අඹරා ගැනිම දැන් සාමාන්‍ය රටාවක්. ඒත් පොල් බ්ලෙන්ඩ් කිරිමේදි උකු මිටිකිරි ලැබෙන නිසා ආහාර රසවත් වුනත් සිරුරට අහිතකර කොලස්ටරෝල් එක් වෙනවා. ඉස්සර පොල්වලින් මිටිකිරි අරගෙන ඉතිරි වෙන පොල් වෙනත් කටයුතු වෙනුවෙන් යොදා ගත්තා. නමුත් බ්ලෙන්ඩ් කිරිමෙන් පසුව පොල් නැවත ප්‍රයෝජනයට යොදා ගැනිම අපහසුයි.

මුලුතැන්ගෙදර දැන් පාවිච්චි කරන හට්ටි මුට්ටි ගැනත් චෝදනා ඉහලයි. ඇලුමිනියම් බාජන ආහාර පිසීමට යොදා ගැනිම අහිතකර බවට අදහස් ඉදිරිපත් වෙනවා. ඒත් විකල්ප නැතැයි අපි දැන් ලතැවෙන්නේ ගෑස් වෙනුවෙන් යන ඉන්ධන වියදම නිසා මැටි ඇතිලි යොදා ගැනිම අපහසුයි. ඊටත් ඇඹුල් යෙදු ආහාර ඇලුමිනියම් භාජනවල පිසීම අන්තරාදාකයි. එදා හොඳින් පදම් කළ මැටි ඇතිලියේ මාළු ඇඹුල් තියල් වැනි ව්‍යංජනයක රස අද ලැබෙන්නේ නැහැ.

මුලුතැන්ගෙයි මෙවලම් අද ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් පමණයි. මේ නිසා ගිනි රස්නය වැදුන විට ප්ලාස්ටික් භාජන සහ ඇසුරුම්, හැඳි අනතුරට පත් වෙනවා. මේවා ඉවත දැමිමත් අපහසුයි. ඒත් එදා හැඳි, වට්ටි, පෙට්ට් වගේම පොල්කටු හැඳි සියල්ලම දිරන පොල් කොල වැනි කාබනික අමුද්‍රව්‍යන්ගෙන් සකස් වුන නිසා කිසිදු පරිසර ගැටලු ඇති වුනේ නැහැ.

අද වගේ නල ජලය නොතිබුනත් එදා උදවිය අප ජලයෙන් වුනත් උපරිම ප්‍රයෝජන ගත්තා. වතුර පිටවෙන තැන කොහිල කොටුවක් තනා ගත්තා. ඊට අමතරව මල් පාත්ති වලට කාණු කපා වතර හරවා ගත්තා. හාල්මැස්සන් , කරවල සෝදන ජලය කරපිංචා ගස්වලට දැම්මේ පොහොරක් විදිහටයි. හාල්මැස්සන් ඔලු ටිකත් කෙසෙල් ගසක් මුලට දැම්මා. මේ විදිහට ඉතා පිරිසිදු සහ සකසුරුවම් සහිත මුළුතැන්ගෙය නිවසට ආශිර්වාදයක් වුනා. අද වගේ සිරුරට අහිතකර කිසිදු හැලහැප්පිමක් ඇති වුනේ නැහැ.

අද කාන්තාවන්ගේ බොහෝ රෝග තත්වයන්ට හේතුව ව්‍යායාම මදි කමයි. නිදහසට කරුණු විදිහට මෙම කාන්තාවන් කියන්නේ “ අපි වේල් තුන උයන්න කුස්සියේ එහාට මෙහාට යන එක ඇති බවයි. නමුත් අද සිරුරට ව්‍යායාම ලැබෙන මිරිස් අඹරන්න…පිටි කොටන්න වැනි කටයුතු සඳහා වැඩ පහසු කරන මෙවලම් තිබෙන නිසා කාන්තාවන් බොහෝම නිදහස්. ඒත් අනිත් අතට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙනුත් මේ නවීන මුලුතැන්ගෙය චුදිතයා බවට පත් කිරිමත් විටෙක සාධාරණයි නේද?


සටහන,
පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality