රෝම ජාතිකයන් අතර කැරට් සැලකෙන්නේ මහේශාඛ්‍ය ආහාරයක් විදිහටයි. “ඩැයුකස් කැරෝටා ”යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කැරට්වල විශාල වශයෙන් කැරොටින් ප්‍රතිශතයක් අඩංගුයි. තැඹිලි පැහැති එළවළුවල විටමින් A අඩංගු අතර මෙම විටමින් A සිරුර අභ්‍යන්තරයේදි විටමින් A කැරොටින් බවට පරිවර්තනය වෙනවා. අපේ සිරුරේ ක්‍රියාකාරිත්වයට විටමින් A අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. ඇස්වල පෙනුම වෙනුවෙන් විටමින් A මගින් ලැබෙන ශක්තිය විශිෂ්ටයි. රාත්‍රි අන්ධතාවයට විටමින් A ඌනතාවය බලපාන අතර වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෙනුම වර්ධනය සඳහා කැරට් ලබා දිම මගින් ඇස් පෙනුමේ පැමිණිලි අවම කර ගත හැකියි.
ඇස් පෙනීමේ තත්වය දියුණු කිරීම වෙනුවෙන් කැරටොනොයිඩ අඩංගු ආහාර වෙනුවෙන් තිබෙන ඇගයීමේදි කැරට් වෙනුවෙන් සුවිශේෂී වටිනාකමක් ලබා දී තිබෙනවා. ලැන්සෙට් ග්ලෝබල් හෙල්ත් ආයතනය මගින් ප්‍රකාශිත වාර්තාවකට අනුව 2020 වන විට ඇස් පෙනීමේ දුබලතාවයට පත් වෙන පිරිස දළ වශයෙන් මිලියන 196 ක් පමණ වෙතැයි අපේක්ෂා කරනවා. 2040 වන විට මෙම සංඛ්‍යාව මිලියන 288 ක් වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම වාර්තාව සඳහා පාදක වුනේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයක්. එම අධ්‍යයනය වෙනුවෙන් අවුරුදු 50 ඉක්මවන ලද පුද්ගලයන් 5000 ක් සම්බන්ධ කර ගත් අතර වසර 25 ක් පුරා ඔවුන් පිලිබඳව අධ්‍යයනයේ යෙදුනා. ඒ අතරම එහිදී වඩාත් සුවිශේෂී වැදගත්කම වුයේ මේ පිරිස අතරින් කැරටොයිඩ ලුටේන් සහ සීසැන්තින් අඩංගු ආහාර ලබා ගත් පිරිසගේ ඇසේ කහ ලපය දුර්වල විමේ අවදානම 40% කින් පහළ ගොස් තිබුනා. ඇසේ තිබෙන කහ ලපය තුළ ලුටේන් සහ සීසැන්තින් බහුලව අඩංගු වීම නිසා සෛලවලට හානි සිදුවීම වැලක්වෙනවා. මේවා ද්‍රව වර්ණක යනුවෙන් හඳුන්වනු ලබනවා. ඒ අතරම විද්‍යුත් උපාංගයන් ඔස්සේ ඇස නිරාවරනය වන නිල් ආලෝකයෙන් සිදු වෙන හානිය වලක්වා ලිම පිනිස පෙරනයක් ලෙසින්ද කහ ලපයේ ක්‍රියාකාරිත්වය විශිෂ්ටයි.
ඒ අතරම මදසරු බව වෙනුවෙන්ද කැරට් වෙතින් ලැබෙන සහනය අලලා හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යයනයක් සිදු කරනු ලැබුවා. සරු ඩිම්බ මෝචනය වුනත් දරු කළලයක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පුරුෂ ශුක්‍රානු ප්‍රමාණය සහ එහි ක්‍රියාකාරී ප්‍රතිශතය ඉතා වැදගත් වෙනවා. මේ වෙනුවෙන් කහ පළතුරුවල අන්තර්ගත carotenoid රසායනය මගින් ශුක්‍රානු පරිමාව සහ සක්‍රිය ප්‍රතිශතය වර්ධනය කරන බව හාවර්ඩ් විශ්ව විද්‍යාලය ඔවුන්ගේ අධ්‍යයනය මගින් තහවුරු කරනු ලැබුවා. මේ සඳහා තරුණ අඔුසැමියන් දෙසියයක් සම්බන්ධ කර ගත්තා. කහ සහ තැඹිලි වර්ණයේ ආහාර ලබා දීමෙන් පෙරාතුව සහ ලබාදීමෙන් අනතුරුව ඔවුන්ගේ ශුක්‍රානු වාර්තාවන් ලබා ගත්තා. එහිදි පෙනී ගිය අන්දමට කැරටොයිඩ carotenoid අඩංගු ආහාර ලබා ගැනීමෙන් පසුව වූ වාර්තාව තුළ ශුක්‍රාණු පරිමාවේ අගය සහ සක්‍රියතාවය මෙම ආහාර ලබා ගැනීමට පෙරාතුවට වඩා සතුටුදායක අදියරක පැවතුනා. එයිනුදු කැරට් සතුව පැවැති හැකියාව 6.5% සිට 8.5% දක්වා ඉහළ අගයක පැවතුනා. ඔවුන්ගේ මෙම වාර්තාව Journal fertility & sterility මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ප්‍රතිපිළිකා ශක්තියෙන්ද කැරට් වඩාත් ඉදිරියෙන් සිටිනවා. පියයුරු, මුත්‍රා මාර්ගය, ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු වෙනුවෙන් කැරට් විශාල ශක්තියක් ලබා දෙනවා. බ්‍රිතාන්‍යයේ නෝර්වුඩ් ආහාර පර්යේෂණායතනයේ “ කොලින් වැග් ” විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ තමන්ගේ දෛනික ආහාරයට කැරට් එක්කර ගැනීමෙන් වඩාත් ගුණ ලබා ගත හැකි බවයි.
කැරට් ග්‍රෑම් 100 ක පෝෂණ සංයුතිය | |
බීටා කැරොටින් | 77% |
විටමින් A | 93% |
මැග්නීසියම් | 18 mg |
පොස්පරස් | 35 mg |
සෝඩියම් | 2.4 mg |
තයමින් | 0.04 mg |
රයිබොප්ලේවින් | 0.05 mg |
විටමින් | C 7 mg |
විටමින් D | 5 mg |
විටමින් E | 4 mg |
කැල්සියම් | 33 mg |
කැරට් වල අඩංගු බිටාකැරොටින් මගින් ප්‍රතිපිලිකා ශක්තිය ගොඩ නගනු ලබයි. විදුරුමස් ආශ්‍රිත රෝග නිසා ඇති වෙන මුඛ දුර්ගන්ධය සඳහා කැරට් යුෂ ගුණදායක අතර කැරට් අල විදුරුමස ශක්තිමත් කරනවා. තන්තු සහිත ආහාර පිලිබඳව වැයෙන ගුණ ගායනාවන් අතරට කැරට් එකතු වෙනවා. කොලස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව කැරට්වල අන්තර්ගතයි. සියලු අල බෝගයන්ට වඩා පොස්පරස් ප්‍රතිශතයක් කැරට්වල අන්තර්ගතයි. පටක වර්ධනයට අවශ්‍ය මැග්නිසියම්, පොටෑසියම්, තඹ, යකඩ සහ සෝඩියම් අන්තර්ගතයි.
කැරට් මොනතරම් ගුණදායක වුනත් එහි ඇති අපුල ගන්ධයට බොහෝ දෙනා අප්‍රිය කරනවා. කැරට් විවිධාකාරව පිලියෙළ කර ගැනීමට අපට හැකියාවක් තිබෙනවා. ව්‍යංජන මැල්ලුම් ලෙසින් වගේම කැරැට් අල වාෂ්පෙන් තම්බා ගැනීම, සුප් , පැස්ටා, නුඩ්ල්ස්, සැන්ඩ්විච් සහ ස්පැගටි වෙනුවෙන් යොදා ගැනීම, කැරට් අමුවෙන්ම ආහාරයට ගැනීම, යුෂ පානය , සලාද ලෙසින් පිලියෙළ කර ගැනීම ඒ අතරට ඇතුලත් වෙනවා.
සටහන,
පුන්‍යා චාන්දනි ද සිල්වා
Leave feedback about this