ඔක්තෝබර් 24, 2025
Women Health Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ගර්භාෂය ඉවත් කිරීම කාන්තාවකගේ ඉදිරි පැවැත්මට අහිතකර ද?

ස්ත්‍රි ප්‍රජනන පද්ධතියේ ප්‍රධානතම අවයවය ලෙස සැලකෙන ගර්භාෂය මාංශ පේශිවලින් සැදුම්ලත් කුඩා අවයවයක්. ගැබ් ගැනීමේ පටන් දරු ප්‍රසුතිය දක්වා වූ කාලය පුරා කළලයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය සහ වර්ධනයට අවශ්‍ය අවකාශය සකස් කිරීම ගර්භාෂයේ කාර්යයි. ඒ වගේම කාන්තාවකගේ ඔසප් චක්‍රයේදී ගර්භාෂ බිත්තිය අභ්‍යන්තරයේ ස්ථරය බිඳ වැටීම නිසා මාසික ඔසප් වීම සිදු වෙන අතර ඩිම්බ මෝචනය නතර වීමෙන් පසුව ආර්තවය සිදු වීම නවතිනවා. ඒ වගේම ගර්භාෂය පිළිබඳව විවිධ සංකුලතාවයන් ඇති වීමේ අවදානමක්ද කාන්තාවන්ට පවතින අතර ආරක්ෂාව සහ ශල්‍යකර්ම පිලිබඳ පවතින පහසුකම් නිසා ගර්භාෂය ඉවත් කිරීමේ ප්‍රවනතාවය වැඩි වී තිබෙනවා.‍

ගර්භාෂය ඉවත් කිරීම විවිධ හේතුන් මත සිදු වෙනවා. විවිධ සෞඛ්‍ය ගැටලු නිසා ඇතැම් අවස්තාවන්හිදී අනිවාර්යෙන්ම ගර්භාෂය ඉවත් කිරීමට සිදු වෙනවා.

පිළිකා වැනි රෝගී තත්ත්ව

පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇති වූ විට ගර්භාෂය ඉවත් කිරීම සිදු වන්නේ එසේ ඉවත් නොකළ විට පිළිකා සෛල වකුගඩු, මහා අන්ත්‍ර , මුත්‍රාශය වැනි අවයව දක්වා පැතිරිය හැකි නිසයි. ඒ නිසා රෝගියාගේ ජීවිත අවදානම ගැන සලකා ගර්භාෂය ඉවත් කිරීම සිදු වෙනවා.

දරු ප්‍රසුතියෙන් පසු

දරු ප්‍රසූතියෙන් පසු ඔසප් චක්‍රය නතර වූ මෙන්ම විවිධ සංකුලතාවයන් නිසා ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය සිදු වෙනවා නම් ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය අනිවාර්යෙන් සිදු විය යුතුයි.

  • ප්‍රයිබ්‍රොයිඩ් (Fibroid) වැනි ගර්භාෂ වර්ගයේ ගෙඩි
  • එන්ඩොමෙට්‍රියෝසියස් (Endometritis) රෝගී තත්වය
  • ඔසප් වේදනාව දරා ගැනීමේ අපහසුතාවය
  • උදරය හරහා සිදු කරන විවෘත ශල්‍ය කර්මය (Open Hysterectomy)

උදරයේ කැපුමක් යොදා විවෘත සැත්කමකින් ගර්භාෂය ඉවත් කිරීම සිදු වේ. මෙහිදී කැපුම් තුවාල සුව වීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා.

  • උපකරණයක් යොදා සිදු කරන (Laparoscopic hysterectomy/) ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය

ලැපරොස්කෝපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයේදී උදරයේ සෙන්ටිමීටරයකටත් අඩු ඉතා කුඩා යතුරු සිදුරු (key hole) කැපුම් මගින් සිහින් කැමරාවක් සහ ශල්‍ය උපකරණ උදර කුහරයට ඇතුළු කරමින් ශල්‍ය කර්මය සිදු කරනවා. මෙහිදි රෝගියාගේ අභ්‍යන්තර පටකවලට වෙන හානිය සහ රුධිර වහනය ඉතාමත් අඩුයි. විශාල කැපුම් නොමැති නිසා තුවාල සුව වීමේ කාලයත් ඉක්මන්.

  • යෝනි මාර්ගය හරහා සිදු කරන ශල්‍ය කර්ම (Vaginal hysterectomy)

යෝනි මාර්ගය හරහා සිදු කරන ශල්‍ය කර්මයකදී උදරයේ කැපුමක් හෝ මැහුම් යෙදීමක් සිදු නොවේ. සම්පූර්ණයෙන්ම රෝගියා නිර්වින්දන තත්වයට පත් කිරීම වෙනුවට හිරිවැටීම සඳහා කොන්දට ලබා දෙන නිර්වින්දන ඖෂධ නික්ෂේපනයක් මගින් මෙම ශල්‍ය කර්මය සිදු කරනු ලැබේ. සැත්කම වෙනුවෙන් ගත වෙන කාලය අඩුයි. එහෙත් ඇතැම් අවස්ථාවලදී ගර්භාෂයේ ප්‍රමාණය අනුව යෝනි මාර්ගය ඔස්සේ ඉවත් කිරීම අපහසු විය හැකියි. ඒ වගේම මීට පෙරාතුව සිදු කරන ලද සැත්කම් නිසා උදර කුහරය සංකෝචනය වී තිබේ නම් මෙම සැත්කම යොදා ගැනීම අපහසු විය හැකියි.

  • දරුවන් ලැබීම සඳහා වූ ඩිම්බ නිපදවීම
  • ස්ත්‍රි හෝර්මෝන නිෂ්පාදනය

ඩිම්බ කෝෂයෙන් නිකුත් වෙන ඩිම්බ, පුරුෂ ශුක්‍රාණුවක් සමග සංසේචනය වී පැලෝපීය නාල ඔස්සේ ගර්භාෂයට ඇතුලු වෙනවා. දරුවෙකු ලැබීමේ ජෛව විද්‍යාත්මක සංසිද්ධියේ ආරම්භය එයයි. ගර්භාෂය ඉවත් කිරීමේදී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වැනි අවයවත් ඉවත් කරනවා. දරු කළළය වර්ධනය වීම ගර්භාෂයේදී සිදු වෙන අතර ගර්භාෂය ඉවත් කිරීමෙන් පසුව දරුවෙක් බිහි කිරීමේ හැකියාවක් නැහැ. දරුවෙකු පිළිසිඳ ගැනීමේ කාර්යය සිදුු නොවන අවස්ථාවක පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වැදගත් නැහැ.

කාන්තවකගේ වයස අවුරුදු හතළිහ ඉක්ම වූ විට ඩිම්බ කෝෂද ඒ සමග ඉවත් කිරීම වඩාත් යෝග්‍යයි. සාමාන්‍යයෙන් අවුරුදු 55 සිට 60 ක් පමණ වෙන තෙක් කාන්තාවකගේ ස්ත්‍රි හෝමෝන නිෂ්පාදනය වෙනවා. ආර්තවහරණයට පත් වීමෙන් පසුව කාන්තා හෝමෝන නිෂ්පාදනය නැති වෙන නිසා ඩිම්බ කෝෂ ඉතිරි කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. ඒ වුනත් තරුණ කාන්තාවන්ගේ නම් ඇගේ ජීවිතයේ ඉදිරියට බොහෝ කාලයක් තිබෙන නිසා හෝමෝන නිෂ්පාදනය කිරීමේ කාර්යය සඳහා ඩිම්බ කෝෂ දෙකම හෝ එකක් ඉතිරි කරනවා.

  • ඩිම්බ කෝෂවල ඇති වෙන රෝගි තත්වයන්ට විශේෂිත රෝග ලක්ෂණ නැහැ. ඒ නිසා පිළිකා තත්වයන් කල්තබා ගැනීමේ හැකියාවක්ද නොමැති නිසා මුල් අදියරේදීම ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ වාසියක් තිබෙනවා.
  • ඩිම්බ කෝෂවල පිළිකා හෝ ගෙඩි ඇති වීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා. ඩිම්බ කෝෂ පිළිකා ආරම්භ වෙන්නේ පැලෝපීය නාලයෙන් නිසා එය ඉවත් කිරීම ආරක්ෂිත පියවරක් ලෙස සලකන්න පුළුවනි.

ගර්භාෂය ඉවත් කිරීමේදී කාන්තාවක් අඩු වයසක සිටිනවා නම් සහ ඇය ඒ වෙන විටත් දරුවෙකු පිලිසිඳ ගෙන සිටිනවා නම් ගර්භාෂය ඉවත් කිරීම යම් දුරකට සීමා කිරීමට තිබෙන අවස්ථාවන් ගැන සලකා බලනවා. නමුත් ඇයගේ පවතින රෝගී තත්වයන් අනුව ඒ පිළිබඳ තීරණ ගැනීම සිදු වෙනවා. සමහර අවස්ථාවලදී දරුවාගේ ජීවිතයටත් මවගේ ජීවිතයටත් ගර්භාෂ පිළිකා තත්වය බලපාන්න පුලුවනි. එවැනි අවස්ථාවකදී පිළිකාව වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමේ පියවරක් ලෙසින් ගර්භාෂය ඉවත් කිරීමට සිදු වෙනවා.

ගර්භාෂය ඉවත් කිරීමෙන් පසුව ඊස්ට්‍රජන් හෝර්මෝන නිෂ්පාදනය නොවන නිසා කාන්තා හෝමෝන පිටතින් ලබා දීම හෙවත් හෝමෝන ප්‍රතිස්ථාපන (hormone replacement therapy) ප්‍රතිකාර ලබා දීම සිදු වෙනවා. ඒ නිසා හෝමෝන පිලිබඳ ගැටලු අවම කිරීමට පුලුවනි.

ගර්භාෂය ඉවත් කිරීම ලිංගික කටයුතුවලටත් කිසිදු ලෙසකින් බලපෑම් ඇති කරන්නේ නැහැ. එය මිථ්‍යාවක්. බොහෝ කාන්තාවන් ගර්භාෂය ඉවත් කිරීම පිලිබඳ තීරණයන් ගැනීමේදී විවධ මිථ්‍යාවන් මත යැපෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් ගර්භාෂය ඉවත් කිරීම නිසා වයසට වඩා වයස්ගත පෙනුමක් ලැබෙන බැව් විශ්වාස කළත් එය වැරදි උපකල්පනයක්. නමුත් විවිධ රෝග සමග ගර්භාෂය පවත්වා ගෙන යනවාට වඩා එය ඉවත් කිරීම වඩාත් සුරක්ෂිතයි.

මල්වර වූ දින පටන් සිදු වුන මාසික ඔසප් වීම ගර්භාෂය ඉවත් කිරීම නිසා නවතිනවා. ඒ තත්වය තුළ යම් මානසික බලපෑමක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ හැරුන විට ගර්භාෂය ඉවත් කිරීම කාන්තාවකගේ සාමාන්‍ය ජීවිතයට හෝ සෞඛ්‍යයට අහිතකර ලෙසින් කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ.


දැනුවත් කිරීම

වෛද්‍ය ගාමිනී පෙරේරා මහතා
නාරි සහ ප්‍රසව රෝග පිළිබඳ විශේෂඥ
වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality