නොවැම්බර් 3, 2025
Kids Fight Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ගෙදර දරුවන් අතර ගැටුම් හොඳම විදියට විසඳන්න උත්සාහ කරමුද?

දරුවන් කිපදෙනෙක් ඉන්න නිවසක ගැටුම් කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. අපි ඒ ගැටුම් නරක විදියට දැක්කත් ඇත්තටම ඒවා වැදගත් ජීවන කුසලතා (Life Skills) වර්ධනය කරගන්නා අවස්ථා විදියට හැඳින්වීමේ වරදක් නැහැ. ගැටුම් නිරාකරණය, සම්මුති ඇති කර ගැනීම, හැඟීම් පාලනය කිරීම සහ සාකච්ඡා කිරීම වැනි කුසලතා මේ ගැටුම් හරහා දරුවන් තුළ වර්ධනය වෙනවා. මාපියන් ලෙස අපගේ කාර්යභාරය විය යුත්තේ විනිසුරුවන් ලෙස මේ ගැටුම්වලට මැදිහත් වීම නොවේ. ඔවුන්ට හරියාකාරව මේ ගැටලු විසඳා ගැනීමට පුහුණුකරුවන් විදියට මඟ පෙන්වීමයි.

දරුවන් ගැටුම් ඇති කර ගැනීමට ප්‍රධාන හේතු තුනක් බලපායි

  • අවධානය සඳහා තරඟ කිරීම
    දරුවන්ට තම දෙමාපියන්ගේ අවධානය, කාලය සහ සෙනෙහස සීමිත සම්පතක් ලෙස හැඟෙන විට, ඔවුන් එය දිනා ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ කරයි.
  • වෙනස් වන අවශ්‍යතා
    එක් දරුවෙකුගේ වයස සහ අවශ්‍යතා අනෙක් දරුවාට වඩා වෙනස් වීම නිසා ගැටුම් ඇති විය හැකිය. උදාහරණයක් ලෙස වැඩිමහල් දරුවාට නිශ්ශබ්දව වැඩ කිරීමට අවශ්‍ය වන විට, බාල දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍ය විය හැකියි.
  • වස්තූන් අයිති කර ගැනීම
    බලය, සෙල්ලම් බඩු හෝ යම් තැනක් වෙනුවෙන් දරුවන් නිතර ගැටෙනවා විය හැකියි.

ගැටුමක් උග්‍ර වීමට පෙර එය වැළැක්වීම සඳහා පවුල් පරිසරය සකස් කිරීම වැදගත්ය.

  • සෑම දරුවෙකුටම වෙන් වෙන් කාලයක් වෙන් කිරීම
    සහෝදර ගැටුම් අවම කිරීමට ඇති බලවත්ම ක්‍රමය මෙයයි. දිනකට මිනිත්තු 10 – 15 ක පමණ කාලයක් බැගින් සෑම දරුවෙකුටම ඔබගේ සම්පූර්ණ අවධානය ලබා දෙන්න. මෙම කාලය තුළ දරුවාට අවශ්‍ය ක්‍රියාකාරකමක් කිරීමට ඉඩ දෙන්න. මෙයින් ඔවුන්ට දැනෙන්නේ තමන් ආදරය ලබන බවත්, අවධානය දිනා ගැනීම සඳහා තම සහෝදරයා/සහෝදරිය සමඟ සටන් කිරීමට අවශ්‍ය නොවන බවත්ය.
  • සංසන්දනය කිරීමෙන් වළකින්න
    ඔයාට අයියා වගේ හොඳට වැඩ කරන්න බැරි ඇයි? හෝ ඔයා නම් ඉගෙනීමට දක්ෂයි, එයා නම් ක්‍රීඩාවට විතරයි වැනි ප්‍රකාශයන්ගෙන් වළකින්න. මෙවැනි ලේබල් කිරීම් සහ සංසන්දනයන් ඔවුන් අතර ඊර්ෂ්‍යාව සහ තරඟකාරිත්වය තීව්‍ර කරයි. සෑම දරුවෙකුගේම සුවිශේෂී දක්ෂතා සහ උත්සාහය අගය කරන්න.
  • පැහැදිලි පවුල් නීති සකස් කරන්න
    මුළු පවුලම එකතු වී මූලික නීති මාලාවක් සකස් කර පෙනෙන තැනක අලවන්න.
    උදාහරණ ලෙස අපි කිසිවිටෙක අතපය පාවිච්චි කරන්නේ නැහැ. වචන විතරක් භාවිත කරමු/ අපි එකිනෙකාට නරක නම්වලින් අඬගසන්නේ නැහැ/යමක් ගැනීමට පෙර අවසර ඉල්ලා සිටිය යුතුයි.
  • ධනාත්මක අවස්ථා අගය කිරීම
    දරුවන් එකට සාමකාමීව සෙල්ලම් කරන, උදව් කරන හෝ බෙදා හදා ගන්නා අවස්ථාවලදී ඔවුන්ව වර්ණනා කරන්න. ඔයා අයියාට උදව් කළ විදිහ ගැන මට ගොඩක් සතුටුයි. ඔයාලා හොඳ දරුවෝ වැනි ප්‍රකාශයන් මගින් ධනාත්මක හැසිරීම ශක්තිමත් කරයි.

සහෝදර ගැටුම් ඇති වූ විට, මාපියන් ලෙස අප මැදිහත් විය යුත්තේ ගැටලුව විසඳීමට නොව, ඔවුන්ට ගැටලුව විසඳීමට උදව් කිරීමටය.

  • සන්සුන් වීම
    ගැටුම උත්සන්න වී ඇත්නම්, පළමුව දරුවන් දෙදෙනාවම වෙන් කරන්න. ඔවුන්ට සන්සුන් වීමට කාලය දෙන්න. කේන්තියෙන් සිටින විට සාකච්ඡා කිරීමෙන් ඵලක් නැත.ඔයාට කේන්ති ගිහින් කියලා පේනවා. අපි විනාඩි පහක් වෙන් වෙලා, කේන්තිය අඩු වුණාම කතා කරමු.
  • ක්‍රියාශීලීව සවන් දීම
    දෙදෙනාම සන්සුන් වූ පසු, ඔවුන්ගේ කතාවලට බාධා නොකර සවන් දෙන්න. දරුවෙකු කතා කරන විට අනෙකා නිශ්ශබ්දව සිටිය යුතු බවට නීති පනවන්න. අවධානය යොමු කරන්න, හැඟීම් විනිශ්චය නොකරන්න
  • මම ප්‍රකාශ භාවිතා කිරීමට ඉගැන්වීම
    අනෙකාට දොස් පැවරීම වෙනුවට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට දරුවන්ට උගන්වන්න. උදාහරණ ලෙස ඔයා හැම වෙලාවෙම මගේ දේවල් හොරකම් කරනවා වෙනුවට මගේ සෙල්ලම් බඩු මගෙන් අහන්නේ නැතිව ගත්තම මට තරහා යනවා ලෙස පැවසීම වඩාත් උචිත බව දරුවන්ට වටහා දෙන්න.
  • සහයෝගී විසඳුම් සෙවීම
    මාපියන් ලෙස ඔබ විසඳුම් දීම වෙනුවට, දරුවන්ගෙන්ම විසඳුම් ඉල්ලන්න. ඔවුන්ගේ ප්‍රශ්නය මොකක්ද? යන්නත් ඔවුන්ට මේකට ලබා දිය හැකි විසදුම් මොනවාද යන්නත් පිළිබඳව දරුවන්ටම තීරණය කරන්න ඉඩ හරින්න.

දරුවන් ගැටුම් විසඳා ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්නේ ඔබ දෙස බලාගෙනය. මව සහ පියා එකිනෙකා සමඟ සන්සුන්ව, ගෞරවාන්විතව සහ ඵලදායී ලෙස ගැටුම් නිරාකරණය කරන ආකාරය දරුවන්ට පෙන්වන්න. වැඩිහිටියන් වුවද ඔබ වැරැද්දක් කළ විට, “මට සමාවෙන්න, මම තරහෙන් හිටියා. මම ආයෙත් මේ වගේ කෑ ගසන්නේ නැහැ” කියා පවසමින් සමාව අයැදීමේ සහ වගකීම ගැනීමේ වැදගත්කම ඔවුන්ට උගන්වන්න.

දරුවන් අතර එනම් පවුල තුළ සහෝදර ගැටුම් ස්වභාවික වන අතර, එය නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් දරුවන්ට සහයෝගීතාවය, දයානුකම්පාව සහ සමාජ කුසලතා ඉගෙන ගැනීමට විශිෂ්ට අවස්ථා සපයයි. ඔබගේ ඉලක්කය විය යුත්තේ ගැටුම් අවසන් කිරීම නොව, ගැටුම් ඇති වූ විට ඒවා සාධනීය ලෙස විසඳා ගැනීමට දරුවන්ට ශක්තිය ලබා දීම යි. එක් දරුවෙකුට පක්ෂපාතී නොවී, සාධාරණත්වයට වඩා අවශ්‍යතාවය පදනම් කරගෙන කටයුතු කරමින් කාලයත් සමඟ ඔබේ නිවසේ සාමය සහ දරුවන් අතර ඇති බැඳීම ශක්තිමත් කරගන්න.


සටහන

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය

Leave feedback about this

  • Quality