ගෙදර දොරේ පරිසරය දරුවෙකුට වඩාත් හුරුපුරුදු සහ ආරක්ෂිත ස්ථානය ලෙස සැලකුවද, කුතුහලයෙන් හා ක්‍රියාශීලීව සිටින දරුවන් සඳහා නිවස තුළ පවා අවදානම් රැසක් සැඟවී තිබිය හැක. ලිස්සා වැටීම, පුළුස්සා ගැනීම, හුස්ම හිරවීම හෝ කුඩා තුවාල සිදුවීම වැනි අවස්ථා ඕනෑම මොහොතක ඇතිවිය හැක. එවන් හදිසි අවස්ථාවකදී, දෙමාපියන්ගේ ක්ෂණික සහ නිවැරදි ප්‍රතිචාරය දරුවාගේ ජීවිතය රැක ගැනීමට හෝ තුවාලයේ බරපතළකම අවම කිරීමට තීරණාත්මක වේ.
ප්‍රථමාධාර (First Aid) යනු වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට පෙර ලබා දෙන මූලික රැකවරණයයි. ගෙදර දොරේදී දරුවන් මුහුණ දෙන සාමාන්‍ය අනතුරු සඳහා දෙමාපියන් අනිවාර්යයෙන් දැන සිටිය යුතු ප්‍රථමාධාර ක්‍රමවේද පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් වීම වඩාත් වැදගත් වන්නේ පුංචි දරුවන් කොයි මොහොතේ කොයි දේ අත්හදා බැලීමට සැරසේද යන්න කිව නොහැකි නිසයි.
- ආරක්ෂාව තහවුරු කරන්න – අනතුරට හේතු වූ විදුලි රැහැන්, උණු වතුර භාජන හෝ වෙනත් හේතුවක් ඇත්නම් ඒ මූලාශ්‍රයෙන් දරුවා ඉවත් කරන්න, නැතහොත් අනතුරුදායක ස්ථානයෙන් ඉවත් වන්න. ප්‍රථමාධාර ලබා දෙන ඔබගේ ආරක්ෂාව පළමුව තහවුරු කර ගත යුතුය.
- තත්ත්වය තක්සේරු කරන්න – දරුවා සිහිසුන්ද, හුස්ම ගන්නේද, ලේ ගැලීමක් සිදුවන්නේද යන්න ඉක්මනින් පරීක්ෂා කරන්න.
- උදව් ඉල්ලන්න – තත්ත්වය බරපතළ නම්, වහාම හදිසි සේවා අමතන්න ඔබ පමණක් සිටී නම්, පළමුව මිනිත්තු දෙකක් ප්‍රථමාධාර ලබා දී පසුව ඇමතුමක් ගන්න.
- හුස්ම හිරවීම
කුඩා දරුවන් කුඩා සෙල්ලම් බඩු කැබලි හෝ ආහාර මුඛයට දමා ගැනීමෙන් නිතරම හුස්ම හිරවීමේ අවදානමට ලක්වේ.
දරුවාට කතා කිරීමට, කැස්ස ඇති කිරීමට හෝ හුස්ම ගැනීමට නොහැකි වීම, දරුවාගේ මුහුණ නිල් පැහැ ගැන්වීම වැනි අවස්තාවකදී අවුරුදු 1ට වැඩි දරුවෙකු නම් දරුවා ඉදිරියට නවා, උරහිස් තල අතරට ඔබේ අතෙහි අල්ලෙන් තද පහර පහක් (Back Blows) දෙන්න. ඉන්පසු, දරුවාගේ බඩ ප්‍රදේශයට (මහපටැඟිල්ල නාභියට ඉහළින් තබා) ඉහළට විදින ආකාරයේ තෙරපුම් පහක් (Abdominal Thrusts / Heimlich maneuver) දෙන්න. පිටුපසට පහර දීම සහ උදරයට තෙරපීම මාරුවෙන් මාරුවට දිගටම සිදු කරන්න.
- පිලිස්සුම් තුවාල
උණු වතුර, තේ කෝපි හෝ විදුලි උපකරණ නිසා පිළිස්සීම් සිදුවිය හැක. වහාම තුවාල වූ ස්ථානය සිසිල් ජල කරාමයක් යට හෝ සීතල වතුර භාජනයක අවම වශයෙන් විනාඩි 10ක් ගිල්වන්න. අයිස් හෝ ඉතා ශීතල ජලය භාවිත නොකරන්න. තුවාලය පිරිසිදු, වියළි, ඇලෙන්නේ නැති වෙළුම් පටියකින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න. පිළිස්සුම් මත බටර්, තෙල් වර්ග හෝ වෙනත් නිවෙස් පිළියම් තැවරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. පළමු හෝ දෙවන මට්ටමේ පිළිස්සුමක් අත්ල ප්‍රමාණයට වඩා විශාල නම් හෝ මුහුණට, ඇඟිලිවලට හෝ ලිංගේන්ද්‍රියට බලපා ඇත්නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.
- කැපීම් සහ සීරීම්
කුඩා තුවාල සඳහා කළ යුත්තේ කුමක්දැයි දෙමාපියන් දැන සිටිය යුතුය.
තුවාලය මත පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ ගෝස් කැබැල්ලක් තබා තදින් තෙරපා ලේ ගැලීම නතර කරන්න.
ලේ ගැලීම පාලනය වූ පසු, තුවාලය පිරිසිදු ජලය සහ මෘදු සබන් යොදා සෝදන්න.
තුවාලයේ ඇති කුණු කැබලි හෝ අපද්‍රව්‍ය පරෙස්සමෙන් ඉවත් කරන්න.
ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා විෂබීජනාශක ක්‍රීම් වර්ගයක් තවරා පිරිසිදු ප්ලාස්ටරයක් හෝ වෙළුම් පටියක් යොදන්න.
ගැඹුරු තුවාලයක් නම්, ලේ ගැලීම විනාඩි 10 කින් පසු නතර නොවන්නේ නම් හෝ තුවාලය මැසීමට අවශ්‍ය යැයි හැඟේ නම්, වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.
- හිසට සිදුවන තුවාල
ඇඳෙන් වැටීම, බිත්තියේ හෝ මේසයක හැපීම වැනි දේ කුඩා දරුවන්ට සාමාන්‍ය දෙයකි.
- දරුවා නිශ්චලව තබා, තුවාල වූ ස්ථානයට සීතල සම්පීඩනයක් (අයිස් කෙලින්ම සම මත තැබීමෙන් වළකින්න) යොදන්න.
- ඉදිරි පැය 24 පුරා දරුවාගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන්න.
- සිහිය නැති වීම, නිරන්තරයෙන් වමනය යාම, කැළඹිලි සහිත හැසිරීම, කන්වලින් හෝ නාසයෙන් ලේ හෝ පැහැදිලි ද්‍රවයක් පිට වීම හෝ ඇවිදීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලට යන්න.
- වස හෝ විෂ ශරීරගත වීම
ඖෂධ, පිරිසිදුකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ අතට පත් වීමෙන් මෙසේ සිදුවිය හැක.
- වහාම දරුවාගේ මුඛයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න
- දරුවාට වමනය ඇති කිරීමට කිසිවිටෙක උත්සාහ නොකරන්න.
- දරුවා විසින් පානය කළ විෂ ද්‍රව්‍යය කුමක්ද, කොපමණ ප්‍රමාණයක්ද සහ කොපමණ වේලාවකට පෙරද යන්න තහවුරු කර ගන්න.
- වහාම වෛද්‍ය ආධාර උපදෙස් ලබා ගන්න.
- ඔබ රෝහලට යන විට විෂ සහිත ද්‍රව්‍යයේ බෝතලය හෝ ඇසුරුම රැගෙන යන්න.
ප්‍රථමාධාර දැනුම වැදගත් වුවද, අනතුරු වළක්වා ගැනීම ඊට වඩා වැදගත්ය.
- ප්‍රථමාධාර පෙට්ටිය (First Aid Kit)
සෑම නිවසකම, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක නිසි ප්‍රථමාධාර පෙට්ටියක් තිබිය යුතුය. එහි අඩංගු විය යුතු දේ
විවිධ ප්‍රමාණයේ වෙළුම් පටි සහ ප්ලාස්ටර්
විෂබීජනාශක පිසදැමීම් හෝ දියර
ස්ටෙරයිල් ගෝස්
කතුර සහ ටේප්
වේදනා නාශක උෂ්ණත්ව මානය
හදිසි සේවා දුරකථන අංක සහ ඔබේ වෛද්‍යවරයාගේ අංකය.
- නිවස ආරක්ෂිත කිරීම
සියලුම පිරිසිදුකාරක, ඖෂධ සහ විෂ ද්‍රව්‍ය අගුලු දමා දරුවාට ළඟා විය නොහැකි ඉහළ ස්ථානයක තබන්න. තවද උණුසුම් කෑම බීම මේසවල කෙළවරේ තැබීමෙන් වළකින්න. දරුවන් අසල උණුසුම් ජලය සහිත භාජන බිම නොතබන්න. සියලුම විදුලි බිම් පේනු ආරක්ෂිත පියනකින් (Socket Covers) ආවරණය කරන්න.
CPR (cardiopulmonary resuscitation) පුහුණුවීමේ වැදගත්කම
දියේ ගිලීම, විදුලි සැර වැදීම හෝ දරුණු හුස්ම හිරවීම වැනි දරුවෙකුගේ ජීවිතය අනතුරේ ඇති අවස්ථාවලදී CPR ලබා දීමට දෙමාපියන් පුහුණු වී සිටීම අත්‍යවශ්‍ය වේ. CPR මඟින් හදවත සහ පෙනහලු ක්‍රියාත්මක කර තබා ගැනීමෙන් මොළයට හානි වීම වළක්වා ගත හැකිය. සෑම දෙමාපියෙක්ම විශ්වාසදායක පුහුණු ආයතනයකින් ළමා CPR පුහුණුව ලබා ගැනීම අත්‍යවශ්‍යය.
දරුවෙකු ඇති දැඩි කිරීමේ ගමනේදී අනතුරු සිදුවීමේ අවදානම කළමනාකරණය කිරීම අනිවාර්ය කොටසකි. ප්‍රථමාධාර දැනුම යනු දෙමාපියෙකු සතු විය යුතු බලවත්ම මෙවලමයි. ඔබගේ සූදානම සහ ක්ෂණික දැනුවත්භාවය තුළින්, ඔබ දරුවාට ආරක්ෂිත පරිසරයක් සපයනවා පමණක් නොව, හදිසි අවස්ථාවකදී ජීවිතාරක්ෂකයෙකු බවටද පත්වේ.
මෙම මූලික දැනුම නිතිපතා සමාලෝචනය කරන්න, ඔබේ ප්‍රථමාධාර පෙට්ටිය යාවත්කාලීන කරන්න, සහ CPR පුහුණුවක් ලබා ගැනීමට වග බලා ගන්න. ඔබගේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම සැලකිලිමත් වෙන්න
සටහන
උදානි ජයසේන


Leave feedback about this