නින්ද තරම් මිනිසාට ශාරිරික සහ මානසික විවේකයක් ලබා දෙන ජීව රිද්මයක් තවත් නැති තරම්. නින්ද නැති රැයක් මොන තරම් දිගු , ඒ වගේම මොනතරම් වෙහෙසකරද බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අද බොහෝ දෙනෙක් තමන්ගේ නින්ද සුවදායක ලෙස ලබා නොගන්නේ තමන්ගේ වරදින් කිව්වොත් නිවැරදියි.
අද දුරකථනය නිසා මානව සම්බන්ධතාවයන් සුඛෝපභෝගී නෙවෙයි. ජීවිතයේ අත්‍යවශ්‍ය මෙවලමක් බව අපිට පිලිගන්න වෙනවා. නිවසේ තිබෙන ස්ථාවර දුරකථනයට වඩා ජංගම දුරකථනය අද සමීප මිතුරාගේ තැනට ඇවිත්. රෑ ජාමෙට නාද කරන ස්ථාවර සම්බන්ධතාවයේදී නිදි ඇඳෙන් නැගිටලා මෙම දුරකථනය ස්ථානගතව තිබෙන තැනට පැමිණෙන්න වෙනවා. එතැනින් නින්දත් ඉවරයි කියලා අපි හිතුවත් කොට්ටය යට තබා ගෙන නිදාගන්න ජංගම දුරකථනයෙන් සිද්ධ වෙන හානිය ඊටත් වඩා ප්‍රබලයි. මේ ගැන අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයන් සඳහන් කරන අන්දමට සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් අට දෙනෙක්ම තමන්ගේ ජංගම දුරකථනය නිදි ඇඳේ තබා ගන්නවා. ඒ වගේම මෙම පිරිසගෙන් හරි අඩක්ම තමන්ගේ ජංගම දුරකථනය එලාම් එකක් විදියටත් යොදා ගන්නවා.
නමුත් මේවායේ ප්‍රතිඵල බොහොම අහිතකර විදිහට බලපානවා. ජංගම දුරකථනය තමන් නිදි යහනෙහි තබා ගන්නා අයට නින්ද පිලිබඳ ගැටලු ඇති වීමේ අවදානම ඉතාම ඉහලයි. ඒ වගේම හිසරදය සහ කැරකැවිල්ල වැනි රෝග තත්වයන් ගැන පැමිනිලි මේ අයගෙන් නිතරම ලැබෙනවා. ලන්ඩනයේ නින්ද පිලිබඳ අධ්‍යයන ආයතනයේ වෛද්‍ය ගයි මැඩෝර්ස් සඳහන් කරන්නේ මේ තත්වය ඇති වීමට හේතු වෙන්නේ නිදා ගන්නා විට ජංගම දුරකථනය තමා සමීපයේ තබා ගැනීමයි. එවිට එයින් නිකුත් වෙන ආලෝකයට පුද්ගලයා නිරාවරණය වෙනවා. හාවඩ් විශ්ව විද්‍යාලයේ නින්ද පිලිබඳ ප්‍රතිකාර වෛද්‍ය විශේෂඥ චාල්ස් කෙයිසර් සඳහන් කරන්නේ ජංගම දුරකථනයෙන් නිකුත් වෙන ආලෝක සංඥාවන් අපේ ඇසෙහි දෘෂ්ටි විතානය වෙතට ගමන් කර මෙම දෘෂ්ටි විතානයට ආලෝකයෙන් ඇති වෙන බලපෑම නිසා මොළයට පණිවිඩ සම්ප්‍රේෂනය වීමට පටන් ගන්නා බවයි.මොළය ආලෝකයට බොහොම සංවේදී නිසාම මෙම ආලෝකයට විවිධ ප්‍රතිචාර දක්වන විට නින්දට බාධාවන් ඇති වෙන බව මෙම පර්යේෂකයන්ගේ අදහසයි.
ජංගම දුරකථය අපි වෙත තබා ගෙන නින්දට ගිය විට මෙලොටිනන් හෝමෝනය නිදහස් කිරීම අඩු වෙනවා. අපිට නින්දට බලපාන්නේ මෙම මෙලොටිනන් හෝමෝනයයි. මේ වෙනුවට අපිව අවදිව තබන කෝටිසෝල් හෝමෝනය නිදහස් වීම නිසා අපිට අවදියෙන් රාත්‍රිය ගත කරන්න සිදුවෙනවා. ජංගම දුරකථන විතරක් නෙවෙයි ප්‍රතිදීප්ත බල්බ දල්වා ගෙන නිදා ගැනීමෙනුත් මෙලොටිනන් නිදහස් වීම අඩුවෙනවා.
මේ අතර සුරේ විශ්ව විද්‍යාලයේ නිර්නාල ස්නායු වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඩෙබ්රා ස්කිනී සඳහන් කරන්නේ බොහෝ දෙනා හිතන්නේ සුදු ආලෝකය නින්දට බාධාවක් නැති බව වුවත් මෙම සුදු ආලෝකය තවත් වර්ණ රැසකින් සැදී තිබෙන නිසා එම වර්ණ අතර නිල් පැහැයත් තිබෙන අතරම නිල් පැහැය දෘෂ්ඨි විතානයට බොහොම සංවේදී බවයි. රූපවාහිනිය වෙතින් නිදහස් වෙන්නෙත් නිල් ආලෝකයක්. ඒ වුනත් ජංගම දුරකථනය අපේ ඇඳේ තිබෙන නිසා ඇසට බොහොම සමීපයි.
2011 වසරේ ස්ටැන්ඩර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් රාත්‍රි කාලය පනිවිඩ ලබා ගැනීම සහ පනිවිඩ කියැවීමේ යෙදෙන පිරිසක් අලලා අධ්‍යයනයක් පැවැත්වුවා. ඔවුන් රාත්‍රි කාලයේ තත්පර 0. 12 ක ආලෝකයට රාත්‍රි කාලයේදී නිරාවරණය වුනා. මෙය ඔවුන්ට යම් බලපෑමක් ඇති කළ බව දැක ගන්නට ලැබුණා.
ජංගම දුරකථන සමග වූ ගනුදෙනුව මීට වෙනස්. බ්‍රිතාන්‍යයේ ෂිෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය ටොමී ස්ටැෆර්ඩ් සඳහන් කරන අන්දමට ජංගම දුරකථන පනිවිඩ අපට ලැබෙන විට ශබ්දය වගේම කම්පනය ඇති වෙනවා. මේවායේ පනිවිඩ අපට ලැබෙන්නේ තරංග ක්‍රියාකාරිත්වයෙන්. මෙම තරංගවල කිසියම් විකිරණශීලිත්වයක් අන්තර්ගත වෙනවා. ජංගම දුරකථනය නිසා මෙම විකිරණශීලිත්වයේ බලපෑමටත් අපිට මුහුණ දීමට සිදු වෙනවා. මේ නිසා නින්දට බාධා ඇති කරවන ජංගම දුරකථනය නිදන කාමරයෙන් බැහැර කිරීම ගැන තීරණ ගැනීමට දැන් කාලය ඇවිත්.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා