තුවාලයක් ගැන ඉතාම සරලව කිවහොත් එය සමේ ඇති වෙන පිපිරීමක් . එයින් අදහස් කරන්නේ සමේ එක තැනකින් යම් හේතුවක් නිසා සම කොටස නොමැති වීම විදිහට හඳුන්වා දෙන්න පුලුවන්. වැටීම්, සීරීම් වගේම විවිධ හේතු නිසා අපේ ශරීරයේ තුවාලයක් ඇති වුනත් ඒවා සාමාන්‍යයෙන් ශරීරයේ ප්‍රතිජනනය නිසා සුව වෙනවා. අපේ ශරීරය නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයටයි.
නිරෝගී පුද්ගලයෙකුගේ සුළු තුවාලය ඉබේම සුව වෙනවා. සමහර විට සුළු ඖෂධයකින් සුවපත් වෙන අවස්ථා තිබෙනවා. නමුත් තුවාල සුවවීමට ශරීරයේ ඇති ප්‍රතිජනන ශක්තිය අකර්මන්‍ය වීම නිසා තුවාල සුවපත් නොවන අවස්ථාවන් තිබෙනවා. එවැනි රෝගීන්ට තුවාලයක් සුව කිරීම සඳහා විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
සුව නොවන තුවාලයක් හඳුනා ගන්නේ කෙසේද…?
සාමාන්‍යයෙන් සති තුනක් වැනි කාලයකදී සුවය නොලබන තුවාලය දිගුකාලීන තුවාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා හේතු බොහොමයක් බලපානවා.
තුවාලයක් සුව වීම ප්‍රමාද වෙන රෝගීන් කවුද..?
- නහර ගැට ගැසීම – තුවාල සුව වීම ප්‍රමාද වෙන රෝගීන් අතර 80% ක් පමණ දෙනා නහර ගැට ගැසීමේ රෝග තත්වයට පත් අය බැව් සඳහන් කළ යුතුයි.
- දියවැඩියාව – දියවැඩියා රෝගීන්ගේ සියුම් රුධිර නාල අවහිර වීම නිසා තුවාලයට හොඳින් ලේ ගමනාගමනයක් සිදු වෙන්නේ නැහැ.එවැනි රෝගීන්ගේ තුවාල සුවපත් වීම ප්‍රමාදයි.
- රුධිර ගමනාගමනයේ අඩු පාඩු – ( අංශභාගය , හෘද රෝග )
- පාද වලට ලේ ගමනාගමනය අඩු වීම
- සමහර සමේ රෝග නිසා ඇති වන සුව නොවන තුවාල
- කකුලේ හිරිවැටීම් ( ලාදුරු වැනි )
- තුවාලය තැලීමට පත් වීම
- පෝෂණ ඌනතා
තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී…
තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී මුලින්ම ඒ තුවාලය හඳුනා ගැනීම ඉතාම වැදගත්. එය කළ හැක්කේ තුවාල සම්බන්ධ විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරයෙකුට පමණයි. සාමාන්‍යයෙන් තුවාලයක් සුවපත් වීමේ වැඩි දායකත්වයක් ශරීරයෙන් ලැබෙන අතර ඖෂධ ප්‍රතිකාර මගින් සිදු කරන්නේ තුවාලය සුව වීමට අවශ්‍ය බාහිර පරිසරය සකස් කිරීමක් පමණයි.
■ තුවාලයකට ප්‍රතිකාර කිරීමට පෙරාතුව එය පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම සැරව, නරක් වුන සෛල, අස්ථි සහ කණ්ඩරා කොටස් තිබේ නම් ඒවා ඉවත් කළ යුතුයි
■ තුවාලය වියලීම සඳහා ප්‍රති ජීවක ඖෂධ අවශ්‍ය නම් පමණක් වෛද්‍ය උපදෙස් මත ඒවා ලබා ගැනීම
■ දියවැඩියාව තිබේ නම් රුධිරගත සීනි පාලනය කිරීම
■ වකුගඩු රෝග තත්වයක් නම් එය පාලනය කිරීම
■ පෝෂණය සම්බන්ධව සැලකිලිමත් වීම
■ රෝගියා සහ පවුලේ අය නිසි ලෙස දැණුවත් කිරීමෙන් තුවාල සහිත රෝගින්ට නිරතුරුව අවශ්‍ය පරිස්සම ලබා දීම
තුවාලයක් පිලිබඳව සැලකිලිමත් විය යුතු කරුණු…
අවදානම් සහිත අයෙකුගේ ඉතා සුළු තුවාලයක් ඇති වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගත යුතුය. මෙවැනි අවදානම් රෝගීන්ගේ තුවාලයක් පැය 6 – 12 ක් වැනි කාලයකදී වුනත් ඉතාම නරක ලෙස ආසාදනය වීමට ඉඩ තිබෙනවා. එය පාදයක් අහිමි වීමට තරම් දරුණු වෙන්න පුළුවන්.
තුවාලය තැලෙන්නේ නැතුව තබා ගන්න.
තුවාලයක් සුව වීමට පෝෂණය ඉතා වැදගත්. ඒ නිසා ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම ඉතා වැදගත්.
තුවාලයක් සුවපත් වීමට යහපත් ලෙසින් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය යකඩ සංයුතිය පවත්වා ගැනීම වැදගත්. ඒ නිසා පෝෂණීය ආහාර ලබා ගැනීමත් තුවාලයක් සුවපත් වීමට බලපාන තවත් වැදගත් සාධකයක්.
වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගැනීම හා තුවාලයට බෙහෙත් දැමීම නිසි ලෙස සිදු විය යුතුයි.
තුවාලයක් ඇති වීම වැලැක්වීම පිළිබඳව සැලකිළිමත් විය යුතු කරුණු
තුවාලයක් නිසා අවදානමක් ඇති විමට ඉඩ තිබෙන රෝගීන් හැකිතරම් තුවාලයක් වීමට ඇති ඉඩ නැති වෙන සේ දෛනික ජීවිතය සැලසුම් කරන්න. උදාහරණ නියපොතු කැපීමේදී හමට හානි වීම, සෙරෙප්පු නොදැමීම නිසා පාදවල දියපට්ටා ඇති වීම, අලුත් පාවහන් නිසා ඇති විය හැකි තුවාල ගැන සැලකිලිමත් වීම, ඇල්පෙනෙත්ති ඇනීම, බිත්ති, දොරවල්වල වැදීම වැනි දේ ගැන සැලකිළිමත් විය යුතුය.
මේ නිසා ඔබ හෝ ඔබගේ ආදරණීයන්ගේ අවදානම වැඩි නම් සුළු තුවාලය වුනත් විවිධ සංකුලතාවයන් ඇති කිරීමට වැඩි ඉඩක් තිබෙන නිසා නිරතම තුවාලයක් සුවපත් නොවන ලකුණු ඔබට දැනෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර සහ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා