ඔක්තෝබර් 24, 2025
Parent Pulse Article Dental Health Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

දත් පරිස්සම් කරගන්න අලුත් ක්‍රම ගැන දැනුවත්ද?

ක්ෂිරපායි සත්වයන් විසින් ආහාර ලෙස බුදින දෑ දිරවිමේ පහසුවට කුඩා කැබලි බවට පත් කර ගත යුතුයි. මෙම කාර්යය වෙනුවෙන් වු දායකත්වය දත් විසින් ලබා දෙනු ඇත. මිනිස් සිරුරේ ශක්තිමත් කොටස ලෙස සැලකෙන දත් මිනිසා මියගියද ණිදිරා පත් විමට කාලයක් ගත වේ.

කුඩා දරුවෙකුට අවුරුදු දෙකක් වෙන විට දත් 20 ක් පවතිනවා. මේ දත් “කිරිදත් ” හෙවත් පතනශීලි දත් යන නමින් හඳුන්වනවා. අවුරුදු හය හත වෙද්දි මේ කිරි දත් වැටිමෙන් පසුව මෝදු වෙන දත් ස්ථිර දත් නමින් හදුන්වන අතර ඒවා සංඛ්‍යාවෙන් 32 ක් වෙනවා.

දතක සංයුතිය කැල්සියම් ස්ඵටික ප්‍රධාන කර ගෙන කැල්සියම් පොස්පේට් මැග්නිසියම් පොටෑසියම් සහ සෝඩියම් කාබනේට් වලින් සමන්විතව ඇත. දත මතුපිටින් වු එනැමල් බදාමය තද වුවද් ඊට යටින් පිහිටි දන්තිනය මෘදුය. එනැමලය දන්ත මස්තිෂ්කය ආවරණය කරමින් පවතින ශක්තිමත් ව්‍යුහයයි.කැල්සියම් ඇපටයිට් වලින් සැදුම් ලත් එනැමලය මගින් දත් වල කුහර සෑදිම සහ දතකට භෞතික ලෙසින් සිදු වෙන අනතුරු අවම කරනු ලබයි.

දතක් දන්තාස්ථියට (Alveolar Bone) සම්බන්ධ කරන්නේ පරිදන්ත පටලය (Periodontal Membrane) නමින් හඳුන්වන කොලැජන් තන්තු වලින් සැදුන කොටසකින්. ඒ වගේම දන්තාස්ථියේ (Alveolar Bone) ගිලි පවතින දන්ත මුලය ආරක්ෂා කරන්නේ දන්ත බදාම මගින්. දතක මධ්‍යනයේ දන්තිනයෙන් වටවි කල්ක කුහරය පිහිටා තිබෙනවා. එය සැදි තිබෙන්නේ ස්නායු රුධිර නාල වසා නාල සහ වෙනත් පටක වලිනුයි. දත් දිරායෑම ආරම්භ වෙන්නේ එනැමලයෙන්. මේවා ඇසට නොපෙනෙන බැක්ටිරියාවන් නිසා සිදු වෙන්නක්.

සෑම ප්‍රධාන ආහාර වේලකට පසුව දත් මැද පිරිසිදු නොකලහොත් මුඛයේ රැඳෙන ආහාර සහ සිනි කොටස් විසින් බැක්ටිරියාවන් වර්ධනය කරනවා. දත්වල මැලියම් බැඳි තිබිමත් දත් රෝගයන්ට හේතු වෙනවා. මැලියම් ඝණ බවට පත් විමෙන් දන්ත පථ (Dental Plaque) සැදෙනවා. මෙම දන්ත පථ බැක්ටිරියාවන්ගේ පැවැත්මට ආධාර වෙන නිසා සැදෙන අම්ල දත් පෘෂ්ටයෙන් ඉවත් විමට ප්‍රමාද වෙනවා. දත් නිසි ලෙස නොමැද සිටිමත් දත් රෝග සඳහා හේතු වෙනවා. දත්වල කුහර සෑදිමට බලපාන බැක්ටිරියාවන් අතර Streptococcus mutans සහ Lactobacilli නමින් හඳුන්වන බැක්ටිරියාවන් විශේෂයි. බැක්ටිරියාවන් ඉහළ යන විට ඇති වෙන ආම්ලිකතාවය නිසා එනමලය දිරන්නට පටන් ගන්නවා. මෙය එක රැයකින් සිදු වෙන්නක් නොවෙයි. ඔබට මේ බව දැනෙන්නේ සිතල හෝ උණුසුම් ආහාරයක් වෙනුවෙන් දත සංවේදිතාවයක් දක්වන විටයි. දත් නිර්මානය වි තිබෙන චුර්ණකාර ද්‍රව්‍ය බැක්ටිරියාවන් විසින් ආහාරයට ගැනීම නිසා නාලිකා බිත්ති ගෙවී ගොස් දත් අතර කුහර ඇති වෙනවා. මෙහි ඇති නහර උෂ්ණත්වයට ඉතා සංවේදි නිසාම දත දිරා යෑමට පටන් ගන්නවා. බැක්ටිරියාවන් දත් කුහරය පසාරු කර ගෙන යෑම නිසා දත් කැක්කුම ඇති වෙනවා. මේ නිසා කාලයක් ගත වෙන විට දත දිරා ගොස් මැරුණ කවචයක් වැනි තත්වයකට පත් වෙනවා.

මේ නිසා දත් දිරා යෑමට එරෙහිව ක්‍රියා කළ හැකි සිනි රහිත පැණි රස නිෂ්පාදනයක් දැන් හඳුන්වා දි තිබෙනවා. මෙම මිතුරු බැක්ටිරියාව lactobacillus piracies නමින් හඳුන්වන අතර එය streptococcus mutans වැනි හානිකර බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක විමේ හැකියාවෙන් යුක්තයි. පැණි රස නිසා මුඛයේ ඇති වෙන බැක්ටිරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක විමේ හැකියාව මෙම සිනි රහිත පැණි රස නිෂ්පාදනයේ තිබෙනවා. මෙය මුඛයට ඇතුලු වුනාම කෙළ සමග මිශ්‍ර වෙලා හානිකර බැක්ටිරියාවලින් දතට සිදු කරන හානිය වලක්වන්නට සමත්වෙනවා.

මෙම සීනි රහිත පැණි රස නිෂ්පාදනය රසායනාගාරයන්හි සංවර්ධනය කරන ලද්දේ මියන් ආශ්‍රය කර ගෙනය. එමගින් මුඛයේ තිබෙන හානිකර බැක්ටිරියාවේ ක්‍රියාකාරිත්වය අඩු කරනු ලබනවා.

මෙහිදි වයස අවුරුදු හැට ඉක්මවන ලද පුද්ගලයන් කන්ඩායමක් තෝරා ගෙන එක් කොටසකට අඩංගු සිනි රහිත පැණි රස සහ අනෙක් කොටසට බැක්ටිරියා රහිත පැණි රස ආහාරයට ලබා දුන්නා. දින එකහමාරකට පසුව කෙල සාම්පල පරික්ෂා කිරිමේදි පෙනි ගියේ බැක්ටිරියා අඩංගු පැනි රස ආහාරයට ගත් පුද්ගලයන්ගෙන් 75 % කම දන්ත සෞඛ්‍යට හානිකර වු බැක්ටිරියාව පහල මට්ටමක දක්නට ලැබුන බවයි. මෙම අධ්‍යයනය වාර්තාව මගින් දැනටමත් journal Probiotics සහ journal Antimicrobial Proteins මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉදිරි අවුරුදු දෙකක කාලයේදි මෙම හිතකර බැක්ටිරියා අඩංගු නිෂ්පාදනයන් වෙළඳපොලට හඳුන්වා දිමට විද්‍යාඥයන් අදහස් කරනවා. එම නිෂ්පාදනයන් එකාකාර නොවන පරිදි දන්තාලේප, මුඛ සෝදන දියර ආදි විවිධාකාර ලෙසින් වෙළඳපොලට හඳුන්වා දිමට අදහස් කර සිටිනවා.

මේ අතර ඇඟ පත නොවෙහෙසා සිටින ශරිර හොරුන්ට විදුරුමස් ආශ්‍රිත රෝග තත්වයන්ට ගොදුරු විමේ අවදානමක් ඇති බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනවා. මැදි වයසට පත් වුනාම ලෙඩ රෝග තමන් පසු පස හඹා එන බව අමතක කළ යුතු නැහැ. ආහාර සහ ජිවන රටාවන් මගින් මෙම තත්වය බොහොම දුරට තුලනය කර ගෙන ජිවත්වෙන්න පුලුවන්. ජර්මනියේ හැනොවර් ප්‍රදේශයේ වෛද්‍ය ආයතනයක් විසින් මෙම අධ්‍යයනය සිදු කළ අතර එහිදි පෙනි ගියේ කාර්යාලයන්හි සේවයේ නිරත පුද්ගලයන් අතර විදුරුමස් ආශ්‍රිත රෝග බහුලව දක්නට ලැබෙන බවයි.

මෙම අධ්‍යයනයේදි නිරෝගි පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙක් සම්බන්ධ කර ගත්තා. ඔවුන්ගෙන් වෙන කිසිම රෝග තත්වයක් වාර්තා වුනේ නැහැ. කාර්යාලයේ ගෙවන ක්‍රියාකාරි නොවන ජිවිතය සමග සාපේක්ෂව බලන විට මෙම පුද්ගලයන් අතර ප්‍රබල විදුරුමස් රෝග තත්වයන් දැක ගන්නට ලැබුනා. වයස සහ අඩු ව්‍යායාම තත්වයන් විදුරුමස් රෝග සමග සමිප සමබන්ධතාවයක් පෙන්නුම් කලා. බොහොම දෙනෙකුට විදුරුමස් රෝග නිසා අකලට දත් හැලී ගොස් තිබුනා.

විදුරුමස් රෝග වර්ධනය වෙන්නේ බොහොම හෙමින්. මේ නිසා රෝග තත්වය වෙනුවෙන් පාලනයන් පවත්වා ගැනිම එතරම් අපහසු නැහැ. ව්‍යායාම සහ විදුරුමස් රෝග අතර ඇති අන්තර් සම්බන්ධතාවය පිලිබඳව වු අධ්‍යනය බ්‍රිතාන්‍ය දන්ත රෝග සංගමයේ විධායක අධ්‍යක්ෂ නිජල් කාටර් විසින් ඉස්මතු කර දක්වා තිබෙන්නේ මුඛ රෝග වෙනුවෙන් ව්‍යායාමය ලබා දෙන දායකත්වයේ වැදගත්කම නිසයි. වෛද්‍ය නිජල් සඳහන් කරන අන්දමට අපි හිතන්නේ ශරිර සෞඛ්‍යය සහ මුඛ රෝග කියන්නේ එකිනෙකට වෙනස් තත්වයක් කියලයි. නමුත් අපේ ජිවන රටාව තුලින් මේ තත්වයන් දෙකම සමබර ලෙස තබා ගන්න පුලුවන්.

පුද්ගලයන් විසි දෙනෙකුගෙන් දහ නව දෙනෙක්ම විදුරුමස් ආශ්‍රිත රෝග තත්වයන්ට ගොදුරුව සිටිනවා. පැනි රස ආහාර, දත් මැදිමේ වැරදි පුරුදු සහ ආහාර අතර වු කාලය ආදි සියල්ලම මුඛ රෝග වෙනුවෙන් බලපානවා. හොඳට නරකට දෙකට කටමය කියනවා වගේම විදුරු මස් රෝග නිසා හෘද රෝග සංකුලතා, හෘදයාබාධ, දියවැඩියාව, අඩු බර දරු උපත් සහ ආඝාත වැනි ජිවිත අවදානමක් ඇති රෝග වෙනුවෙන්ද මග කියන බව අමතක කළ යුතු නැහැ. දත් මදින විට විදුරුමසෙන් රුධිරය වහනය වෙන නිමිති තිබේ නම් දින දෙක තුනක් ගත වන විට රුධිර වහනය වැඩි වේ නම් හෝ නැවතිමක් නැත්නම් දන්ත වෛද්‍යවරයෙක් වෙත යෑම අවශ්‍යයි. මේ පිළිබඳව ජර්මන් පර්යේෂකයන්ගේ අධ්‍යයනය වන Journal of Clinical Periodontology මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality