තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනයත් සමගම ඉගෙනුම්, ඉගැන්වීමේ පුරුදු බෙහෙවින් වෙනස් වෙන්න පටන් ගත්තා. වැලි පිල්ලේ ලියු අකුරට ලැප්ටොප් ආදේශ වෙන තැනට අද අධ්‍යාපනය පරිනාමය වෙලා තිබෙනවා. ලෝකය යන අතට අපි යනවා විනා අපට ආපස්සට යන්නට නොහැකි බව හැම දෙනාගේම අදහසයි. ඒ බව ඇත්ත. ඒත් බොහෝ දේවල් අපි වැළඳගන්නා වේගය එහි අනිටු විපාක දැන හඳුනා ගැනීමත් සමගම බාල වෙන්න පටන් ගන්නවා.
ඉගෙනුම වෙනුවෙන් ලැප්ටොප් භාවිතය ගැනත් අදහස එහෙමයි. මුලදී මේ ගැන තිබුන පිලිගැනීම අද වෙනස් වෙමින් පවතිනවා. ලැප්ටොප් නිසා දරුවන්ට තොරතුරු ගබඩා කර ගැනීමට හැකියාව තිබෙන බවත් , අවශ්‍ය විට අවශ්‍ය දේ ලබා ගත හැකි බව කිව්වත් තවත් පැත්තකින් පොතක තිබෙන සටහනක් වගේ නෙවෙයි කිසියම් දෝෂයක් ඇති වුන විට තමන්ගේ දැනුම් ගබඩාවම විනාශ වෙනවා. මේ පරිගණක දෝෂ ගැන විතරයි.
ඉගෙනුම් ක්‍රියාවලියේදී පොත්, පෑන් භාවිතයෙන් තොරව ලැප්ටොප් භාවිතයෙන් සටහන් ගැනිමේදී ශිෂ්‍යන්ගේ මතක තබා ගැනීමේ හැකියාව වගේම, අවබෝධ කර ගැනීමේ ශක්තිය පහල බසින බව ප්‍රින්ස්ටන් සහ UCLA විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන්ගේ ඉගෙනුම් කටයුතු පිලිබඳව අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයන් විසින් සඳහන් කරනවා.
ලැප්ටොප් ආධාරයෙන් සටහන් ලබා ගැනීම පෑනකින් පොතක සටහන් කරනවාට වඩා බෙහෙවින් ඉක්මන්. තිරයෙන් කියවන නිසා බොහොම ප්‍රසන්නයි. තවත් අමතර තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ගවේෂනය කර ගෙන පාඩමට එකතු කරන්නත් පුලුවනි. මේ විදිහට ආකර්ශණීය හැකියාවන් තිබුනත් මහා බ්‍රිතාන්‍යයේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ ලැප්ටොප් ආධාරයෙන් සටහන් ලබා ගැනීම අඳුරේ අතපත ගානවා වගේ කටයුත්තක් බවයි. පෑනක් අතට ගත් දරුවෙකු තුළ ඇති වෙන ඉගෙනුම යන සංකල්පය ලැප්ටොප් වෙතින් කරුණු ගොනු කරන දරුවෙකු තුළ දක්නට නොමැති බව ඔවුන්ගේ අදහසයි.
තොරතුරු සාරාංශකරණයේදී සහ දැනුම අවශෝෂණයේදී වඩාත් ඵලදායී ලෙසින් කටයුතු සිදු වන්නේ පෑනද? නොඑසේනම් ලැප්ටොප් භාවිතයද ? යන කරුණ ගැන පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබුණා. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පාම් මුලර් සහ ඩැනියෙල් ඕපන් හෙමියර් විසින් මෙම අධ්‍යයනය මෙහෙයවනු ලැබුවා. දැනුම පරික්ෂා කෙරෙන විභාගයන්හිදී වඩාත් කැපී පෙනුනේ ලැප්ටොප් භාවිතයෙන් සටහන් ලබා ගත් ශිෂ්‍යයනට වඩා සම්ප්‍රදායික ලෙසින් පෑන භාවිතයෙන් දැනුම සටහන් කරන ලද ශිෂ්‍යයන් ඉදිරියෙන් සිටි බවයි.
මෙම දෙපිරසටම එකම දේශනය සවන් දීමට අවස්ථාව සලසා දුන්නා. තමන්ගේ දැනුම සටහන් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රමවේදයන් (පෑන/ලැප්ටොප්) අනුගමනය කිරීමටත් අවසරය දුන්නා. පැය බාගයක් ගෙවුන විට මෙම දෙපාර්ශවය සම්බන්ධ කර ගෙන ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. එහිදී පැහැදිලිව පෙනී ගියේ පෑන භාවිතයෙන් සටහන් ලබා ගත් පිරිස තුළ තොරතුරු ඉදිරිපත් කිරීමේදී විෂය පිලිබඳව පැහැදිලි දැනුමක් මෙන්ම මාතෘකාව ඉතා පැහැදිලි ලෙසින් වටහා ගෙන තිබුන බවයි. මේ නිසා පර්යේෂකයන්ට සම්ප්‍රදායික ලෙසින් තොරතුරු සටහන් කර ගත් පිරිස පිලිබඳව වඩාත් පැහැදීමක් ඇති වුන බව රේ රොබට්ස් මනෝවිද්‍යාව පිලිබඳ සංගමය වෙත දන්වා සිටියා.
ලැප්ටොප් භාවිතයට වඩා සම්ප්‍රදායික පෑන භාවිතය ඉගෙනුම් ක්‍රියාවලියේදී ප්‍රමිතියෙන් යුක්ත බවත්, දැනුම ග්‍රහනය කර ගැනීමේදී මෙන්ම තොරතුරු දිගුකාලින ලෙසින් මතක තබා ගැනීමේදී මෙම ක්‍රමවේදය වඩාත් සාර්ථක බැව් මෙහිදී පෙනී ගිය බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ නිසා විභාග ඉලක්ක දැනුම පරීක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් වඩාත් යෝග්‍ය වන්නේ සම්ප්‍රදායික ලිවීමේ රටාව බැව් ඔවුන් පෙන්වා දෙනවා. මෙම යාන්ත්‍රික ලෙසින් ලබන සටහන් වලට වඩා ගැඹුරින් සිදු වෙන ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය සංකල්ප තේරුම් ගැනීමට පෑන භාවිත කිරීම වඩාත් සාර්ථක බැව් මෙම අධ්‍යයනයේ දී ලබා ගත් නිගමනයන් අතරට ඇතුලත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි…
සමාජ වෙබ් අඩවි නිසාත් දරුවන්ගේ තර්කන ශක්තිය සහ සිතීමේ හැකියාවන් සෝදා පාලුවට පත් වෙන බවත් නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. අද සමාජ වෙබ් අඩවිවල තොරතුරු පරිමාව මෙන්ම තොරතුරු ප්‍රසාරණය ඉතාම ඉහලයි. ඒ නිසා ඉගෙනුම් කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක් නැතිව තොරතුරු ලබා ගන්නවා. නමුත් සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේදී විමර්ශන ග්‍රන්ථ පරිශීලනය වෙනුවෙන් මහත් වෙහෙසක් දරනවා. එහිදී විෂයට අනුබද්ධ මෙන්ම විෂය බාහිර කරුණුත් සම්බන්ධ කර ගෙන ලබන දැනුම ඉතා පුලුල් පරාසයක විහිදෙනවා. එහෙත් සමාජ වෙබ් අඩවි මගින් විෂය කරුණු වෙනුවෙන් ජාල කොපි කිරිම හැරුන විට ගවේෂණාත්මක අධ්‍යයනයක් සිදු නොවෙන බව වෛද්‍ය ලයිඩ් රහ්වන් පෙන්වා දෙනවා. විටෙක මෙම ශිෂ්‍යයන් තමන් සොයන්නේ කුමක්ද ඒ වෙනුවෙන් මෙම කරුණු කොතෙක් දුරට ගැලපෙන්නේද යන්න ගැනවත් නිසි වැටහීමක් නොමැති යැයි ඔහු සඳහන් කරනවා.
විශ්වයම අද අතැඹුලක් බව සැබෑ වුනත් ශිෂ්‍යයන්ගේ විචාරාත්මක හැකියාවන් ඉබේටම මොට වෙන ප්‍රවනතාවයන් මේ පසු පස දිවෙන බවත් අමතක කළ යුතු නැහැ. ඔවුන් අතිරේක කියවිම් වෙනුවෙන් උදාසීන වීමටත් මෙය හේතුවක්. ඒ නිසා තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගෙනුම් ක්‍රියාවලිය වෙනුවෙන් ආදේශ කර ගැනීමේදී හොඳ පැතිකඩ අතරින්ම ඉස්මතු වෙන අහිතකර තත්වයන් නැතුවාමත් නොවෙයි.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this