Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය දරුවන්ගේ දත්  රැකගන්න මාපිය සහය අවශ්‍ය බව දන්නවා නේද
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන්ගේ දත්  රැකගන්න මාපිය සහය අවශ්‍ය බව දන්නවා නේද

දත් මගින් පුද්ගලයෙකුගේ මුහුණට ලැබෙන්නේ ප්‍රියජනක පෙනුමක්. මෙම පෙනුමට අමතරව දත් මගින් පුද්ගලයෙකුට ලැබෙන වාසි කීපයක් ඇත

  • ආහාර සපා ගැනීම
  • වචන උච්චාරනය
  • මුහුණේ හැඩය

දරුවන්ගේ දත් මෝදුවීම ආරම්භ වන්නේ ඔවුන්ට මාස පහක් සහ හයක් අතර කාලවදී වුනත් සෑම දරුවෙකුටම මෙම කාලසීමාවේදීම මෙම සිද්ධිය වෙන බවට සහතික වීම අපහසුය. ඇතැම් දරුවන්ට මෙම කාලය ඉක්මවා යන අවස්ථාවන් ඇත. මුල් කිරි දත යටිහණුවේ මෝදු වෙන අතර දත් මෝදු වෙන විට ඇති වෙන විවිධ අපහසුතාවයන් කීපයක් ඇත.

  • දරුවාගේ හැඬීම
  • ආහාර ප්‍රතික්‍ෂෙප කිරීම
  • නිතර නිතර මල මුත්‍ර පිටවීම
  • උණ
  • අජීර්ණය

මේ අන්දමින් ආරම්භ වෙන දත් දෙපල සම්පූර්ණ වෙන විට දරුවාට වයස අවුරුදු තුනක් පමණ වේ. බොහෝ දෙමව්පියන් දරුවන්ගේ කිරිදත් පිලිබඳව එතරම් උනන්දුවක් නොදක්වන්නේ මෙම දත් වැටීමෙන් පසුව ස්ථිිර දත් මෝදු වෙන නිසා වුනත් ඇත්ත වශයෙන්ම ස්ථිිර දත්වලට පාර කියන්නේ කිරිදත් බව බොහෝ අය තුළ දැණුවත් බවක් නොමැත.

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු හයට අඩු දරුවන් අතර දත් දිරා යෑම සුලබව දක්නට ලැබේ.

දරුවාගේ දන්ත සෞඛ්‍යය වෙනුවෙන් යොමු යුත්තේ ඔවුන්ගේ පළමු දත මෝදු වුන දිනයේ පටන්ම බව අමතක කළ යුතු නැත. එබැවින්  මේ කාලයේ පටන්ම දත් බුරුසුවක් යොදා ගෙන දත් මැදීම ඉතා වැදගත් වේ. එමෙන්ම දරුවන්ට රාත්‍රි කාලයේදී ලබා දෙන කිරිවේල නිසා ඔුවුන්ගේ මුඛයේ බැක්ටීරියා වර්ධනය වීම දත් දිරා යෑමට බලපාන හේතුවක් සේ සැලකේ. මේ නිසා සීනි සහිත ආහාර සහ කාබොහයිඩ්ඩේ්‍රට අඩංගු ආහාර හැකි තරම් සීමා කිරීමද වැදගත් වේ. දරුවන්ට බොහෝ අවස්ථාවන්හි රාත්‍රි නින්දෙන් කිරි පෙවීමත් නිසා කිරිදත් පවා දිරා යන තත්වයට නොදැනීම පත් වෙනු ඇත.බොහෝ මව්පියන් ගේ අදහස වී ඇත්තේ දන්ත සෞඛ්‍යය පිලිබඳව මව්පියන් උනන්දු විය යුත්තේ කිරිදත් වෙනුවෙන් නොව ස්ථිර දත් වෙනුවෙන් බවයි. එහෙත් දරුවාගේ පළමු කිරිදත මෝදු වුන තැන පටන් දන්ත සෞඛ්‍යය පිලිබඳව යොමු වීම ඉතාම වැදගත් වේ.

මේ නිසා දරුවන්ගේ සීනි සහිත ආහාර මෙන්ම කාබොහයිඩ්ඩේ්‍ර අඩංගු ආහාර හැකි තරම් සීමා කිරීම ඉතා වැදගත් වේ. දත් මොදු වීමෙන් පසුව රාත්‍රි කාලයේදී ලබා දෙන මව්කිරි පවා දත් දිරා යෑමට හේතු වේ. නින්දෙන් කිරි බෝතලය කටේ තබා ගෙන නිදාගන්නා දරුවන් අප බොහෝ විට දැක ඇත. මේ තත්වයද දත් දිරා යෑමට හේතු වේ.

ප්‍රධාන ආහාර වේලකින් පසුව මෙන්ම පැනිරස ආහාර ගැනීමෙන් පසුව කට සෝදා හැරීමට දරුවා හුරු කරන්න. අද බොහෝ දෙමව්පියන් සමග දරුවන්ට තිබෙන ප්‍රධාන අරගලයක් බවට රාත්‍රි නින්දට පෙරාතුව දත් මැදීම පත්ව ඇත. යුද්ධයකින් වුව දෙමව්පියන් වශයෙන් ඔබ මෙම කටයුත්ත ජයගත යුතුව ඇත. ඊට හේතුව වන්නේ රාත්‍රි කාලයේ දත් නොමැද නින්දට යෑම බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය හිතකරම පරිසරය එහිදී ගොඩ නැගෙන නිසාය. එහෙත් අපි දරුවන් වැසිකිලියට හුරු කරනවා වගේම දත් මැදීමත් සාමාන්‍ය කටයුත්තක් බවට පත්කිරීමෙන් ඔබට මෙම අපහසුතාවය මග හරවා ගත හැකි වේ.

පාසල් වයස්වලදී දරුවන්ගේ කාර්යබහුල ජීවිතය සමග දන්ත සෞඛ්‍ය පිලිබඳව අවධානය මව්පියන්ගෙන්ද ගිලිහී යන නිසා දරුවන් අතර දන්තාබාධ බහුලව දක්නට ලැබේ. එහෙත් දෙමව්පියන් වශයන් ඔබ දරුවාගේ දත් දෙපෙල ආරක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය ලබා නුදුනහොත් අනාගතයේදී ඔවුන්ට ලස්සන දත් දෙපෙලකින් සිනාසීමට ඇති අයිතිය අහිමි වෙනු ඇත. මේ නිසා

  • නිතරම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න.
  • මාස හයකට වරක් දන්ත චිකිත්සාගාරයකින් දත් පරීක්ෂා කරන්න.
  • දන්ත සෞඛ්‍ය රැකෙන පෝෂණීය ආහාර ලබා දෙන්න.
  • තමන්ගේ දත් දෙපෙල ලස්සනට තබා ගැනීමේ වැදගත්කම දරුවාටත් කියා දෙන්න.

මේ අන්දමට දත් ආරක්ෂා කිරීම යනු තනි අතින් අත්පොලොසන් දීම අපහසුය යන සිද්ධාන්තයට සමාන වේ. එබැවින් දරුවන්ගේ දත් රැක ගැනීමේ කටයුත්ත වෙනුවෙන් මව්පියන් සහ දරුවන් අතර ඉතාම මිත්‍රශීලි සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය වේ.

පුන්‍යා චාන්දනී ද සිල්වා

Exit mobile version