නොවැම්බර් 2, 2025
Children Friends Parent Pulse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

දරුවන් අතර ඊර්ෂ්‍යාව සහ අසමඟිය කළමනාකරණය කරන්නම බැරිද ?

ඊර්ෂ්‍යාව යනු මිනිස් ස්වභාවයේ කොටසකි. සහෝදර ඊර්ෂ්‍යාව (Sibling Jealousy) යනු බොහෝවිට, “මගේ දෙමාපියන්ගේ ආදරය සහ අවධානය වෙනත් කෙනෙකුට ලැබෙනවා” යන අස්ථිර හැඟීම මත පදනම් වූ සංකීර්ණ හැඟීමකි. මෙම ඊර්ෂ්‍යාව බොහෝ විට සහෝදර ගැටුම් දක්වා වර්ධනය වේ. මාපියන් වශයෙන් අපගේ කාර්යය වන්නේ මෙම හැඟීම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නොවේ. ඒ වෙනුවට, අප කළ යුත්තේ දරුවන්ට එම හැඟීම් හඳුනා ගැනීමට, පිළිගැනීමට සහ ධනාත්මකව කළමනාකරණය කිරීමට උපකාර කිරීමයි.

ඊර්ෂ්‍යාව සහ තරඟකාරීත්වය ඇති වීමට ප්‍රධාන හේතු වන්නේ:

  • අවධානය බෙදීම – නව සහෝදරයෙකු ලැබුණු විට, වැඩිමහල් දරුවාට තමන්ට ලැබුණු සම්පූර්ණ අවධානය අඩු වූ බවක් දැනීම.
  • “සාධාරණත්වය” පිළිබඳ හැඟීම – වැඩිමහල් දරුවාට වැඩි වගකීම් ඇති විට හෝ බාල දරුවාට වැඩි වරප්‍රසාද (නිදියන වේලාව වැනි) ඇති බව පෙනෙන විට, “සාධාරණ නැහැ” යන හැඟීම ඇති වීම.
  • සංසන්දනය – දරුවන් දෙදෙනෙකු එකම ක්‍රියාකාරකමක් (ක්‍රීඩාව හෝ පාසල් අධ්‍යාපනය) තුළ එකිනෙකාට වඩා දක්ෂ බව පෙනෙන විට තරඟකාරීත්වය වැඩි වීම.

දරුවාගේ හැඟීම් පිළිගැනීම සහ ඒ පිළිබඳව කතා කිරීමට අවකාශය දීම, ඊර්ෂ්‍යාව කළමනාකරණය කිරීමේ පළමු පියවරයි.

  • කෙලින්ම කතා කරන්න
    ඊර්ෂ්‍යාව යනු නරක හැඟීමක් නොවන බව දරුවාට උගන්වන්න. “ඔයාගේ නංගීට අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණ නිසා ඔයාට පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා නේද? ඒක සාමාන්‍ය දෙයක්. මට ඒ ගැන කතා කරන්න පුළුවන්.” වැනි වාක්‍ය භාවිත කරන්න. හැඟීමක් කටින් ප්‍රකාශ කිරීමට හැකි වූ විට, එය පාලනය කිරීම පහසු වේ.
  • හැඟීමට නොව හැසිරීමට සීමා පැනවීම
    “ඔයාට තරහා ගන්න පුළුවන්, ඒත් නංගීට ගහන්න බැහැ” වැනි පැහැදිලි සීමා පනවන්න. ඊර්ෂ්‍යා සහගත හැඟීමක් දැනීම කමක් නැත, නමුත් එම හැඟීම නිසා අන් අයට හිංසා කිරීම හෝ යම් යම් දේ විනාශ කිරීම පිළිගත නොහැකිය.
  • හැඟීම් නිවැරදිව ප්‍රකාශ කිරීමට උගන්වන්න
    අඬනවා වෙනුවට හෝ කෑගසනවා වෙනුවට, තමන්ට අවශ්‍ය දේ වචනවලින් ප්‍රකාශ කිරීමට දරුවන්ට මඟ පෙන්වන්න.
    අම්මා, මට ටිකක් කම්මැලි දැනෙනවා, මට ඔයත් එක්ක තනියම සෙල්ලම් කරන්න ඕනේ

සියලු දරුවන්ට සමාන අවධානයක් ලබා දීම වෙනුවට, ඔවුන්ගේ අවශ්‍යතා අනුව අවධානය යොමු කිරීම වැදගත් වේ.

  • දරුවන්ට වෙන් වෙන්ව කාලය වෙන් කරන්න
    දිනපතාම මිනිත්තු කිහිපයක් එක් එක් දරුවා වෙනුවෙන් වෙන් කරන්න. මේ කාලය ඔවුන්ට සුවිශේෂී බවත්, ඔබගේ ආදරය කිසිවෙකුට බෙදිය නොහැකි බවත් එවිට ඔවුන්ට හැඟී යනු ඇත. මෙම කාලය අනිවාර්යයෙන්ම දින චර්යාවට ඇතුළත් කරන්න.
  • සංසන්දනය මුළුමනින්ම නතර කරන්න
    සංසන්දනයන් වහාම නවතා ඒ වෙනුවට, ඔවුන්ගේ තනි දක්ෂතා සහ උත්සාහයන් අගය කරන්න.
  • දරුවාට ඇති අයිතීන් තහවුරු කරන්න
    සෙල්ලම් බඩු බෙදා ගැනීම දිරිමත් කළ යුතු වුවද, සෑම දරුවෙකුටම තමන්ගේම සෙල්ලම් බඩු හෝ පොත්පත් වැනි පුද්ගලික දේවල් ඇති බවටත්, ඒවා වෙනත් සහෝදරයෙකු ගන්නේ නම් අවසර ඉල්ලා සිටිය යුතු බවටත් නීති සකස් කරන්න. මෙය දරුවන්ට ආරක්ෂිත සහ ගෞරවනීය හැඟීමක් ඇති කරයි.

විවිධ භූමිකාවන් සමරන්න
අයියා තමයි වගකිවයුත්තා හෝ නංගී තමයි නිර්මාණශීලී වැනි ස්ථාවර ලේබල් ඇලවීමෙන් වළකින්න. ඒ වෙනුවට, ඔවුන්ගේ විවිධත්වයන් සමරන්න. අයියා ක්‍රීඩාවට දක්ෂයි, නංගී හොඳට කතන්දර කියනවා. අපේ පවුල මෙතරම් විශේෂ වෙන්නේ අපි හැමෝම එකිනෙකාට වෙනස් නිසා බව දරුවන්ට ඒත්තු ගන්වන්න.

ඊර්ෂ්‍යාව තරඟකාරීත්වයට වඩා සහයෝගීතාවය තුළින් පහසුවෙන් කළමනාකරණය කළ හැකිය.

  • දරුවන්ට එකට වැඩ කිරීමට සිදුවන එක්ව පසල්ස් සෑදීම, ගෙදර දොරේ වැඩ කණ්ඩායම් ලෙස කිරීම ක්‍රියාකාරකම් සැලසුම් කරන්න. මෙමගින් ඔවුන්ට අපි එක් කණ්ඩායමක් යන හැඟීම ලබා දෙයි.
  • දරුවන් එකිනෙකාට උදව් කරන හෝ කරුණාව දක්වන අවස්ථාවලදී එයට ප්‍රශංසා කරන්න. නංගීට පඩිපෙළ නගින්න උදව් කළ එක හරිම හොඳයි, ඔයා ඔයාගේ නංගීට කොච්චර ආදරේද කියලා අපි දැනගත්තා ලෙස සහයෝගය ප්‍රශංසා කරන්න.

දරුවන්ගේ ඊර්ෂ්‍යාව පැන නගින්නේ බොහෝ විට මාපියන්ගේ අසාධාරණ මැදිහත්වීම් හෝ ඔවුන්ගේ අවධානයේ සමබරතාවය නොමැති වීම නිසාවෙනි.

ගැටුමක් ඇති වූ විට කවුද වැරදි කවුද හරි කියා විනිශ්චය කිරීම වෙනුවට, දෙදෙනාටම තමන්ගේ පැත්ත කීමට ඉඩ දෙන්න. ගැටලුව විසඳීමට අවශ්‍ය කුසලතා එනම් සාකච්ඡා කිරීම, සමාව අයැදීම පමණක් පුහුණු කරන්න. ඔබ කිසිවටෙකත් විනිසුරුවරන් නොවන්න, පුහුණුකරුවන් වන්න.

ඊර්ෂ්‍යාව නිසා ඇතිවන නොසන්සුන් වීම, කෑගැසීම වැන හැසිරීම් නිසා දරුවාට ලැබෙන අවධානය අවම කරන්න. ඔවුන් සන්සුන්ව කතා කරන විට හෝ හොඳින් හැසිරෙන විට වැඩි අවධානයක් යොමු කරන්න.

ඊර්ෂ්‍යාව යනු සුව කළ යුතු රෝගයක් නොවේ. එය සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් හැසිරවිය යුතු ස්වභාවික හැඟීමකි. ඔබගේ නොබෙදෙන ආදරය, පුද්ගල අවධානය සහ සාධාරණත්වයේ ආදර්ශය තුළින් ඔබේ දරුවන් කාලයත් සමඟ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව සාධනීය ආකාරයෙන් කළමනාකරණය කිරීමට ඉගෙන ගනු ඇත.


සටහන

Author Dishanthi

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය

Leave feedback about this

  • Quality