ජූනි 8, 2025
family and background article featured image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවාගේ අධ්‍යාපනයට පවුල් පසුබිම අනිවාර්ය සාධකයක් ද?

අපි අතර මේ වගේ අදහසක් නිතරම කියැවෙනවා. ඔබටත් මේ ගැන යම් අදහසක් ඇති. ගුරුවරුන්ගේ දරුවන් අධ්‍යාපානය අතින් ඉහලම තැන්වලට පත් වෙනවා. සමහර අයගේ අදහස ගුරුවරුන් විසින් දරුවන්ගේ ඇස් පාදන නිසා එහි යහ ප්‍රතිඵල ඔවුන්ගේ දරුවන් වෙතට අනිවාරයෙන්ම ලැබෙන බවයි. ඇත්තටම දරුවන්ගේ ඉගෙනුම වෙනුවෙන් පවුල් පසුබිමක් අවශ්‍යයි. එයින් අදහස් වෙන්නේ වෛද්‍යවරයාගේ දරුවා වෛද්‍යවරයෙකු ලෙසිනුත්, ඉංජිනේරුවරයාගේ දරුවා ඉංජිනේරුවෙක් හෝ ඊටත් ඉහළ තනතුරක් වෙනුවෙන් වූ අධ්‍යාපනයක් ලැබීම නොවෙයි.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන්ගේ අධ්‍යාපනය පමණක් බලපාන බව කියන්න බැහැ. අධ්‍යාපනය කියන්නේ සහතික එකතු කිරීමක් නොවෙයි. තමන්ගේ අත්සනවත් ලියන්න තරම් සාක්ෂරතාවයක් නැති දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහල සුදුසුකම් ලබා ගෙන සිටිනවා. මව්පියන්ගෙන් බුද්ධිමය ජාන දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්න පුලුවන් වුනත් සමස්ත ඉගෙණුම වෙනුවෙන් මව්පියන්ගේ අධ්‍යාපන සුදුසුකම් බලපාන්නේ නැහැ. මව්පියන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ ඉගෙණුම වෙනුවෙන් බලපාන වක්‍ර මාර්ගයක් තිබෙනවා. උගත්කම් ඇති දෙමව්පියන්ට යම් කාලයකදී දරුවාට යා යුතු මග කියා දෙන්න පුලුවන්. අද බොහෝ දෙමව්පියන් දරුවන්ගේ පාසල් වැඩ කටයුතු වෙනුවෙන් ඔවුන් පෙර සූදානම් කරනවා. විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශ සොයා ගෙන පංතියේ වැඩ කටයුතු ගැන දෙමව්පියන්ද අවබෝධයෙන් කටයුතු කරන නිසා දරුවන්ගේ ඉගෙණුම් ක්‍රියාවලියට එය වඩාත් පහසුවක් වෙනවා.

ඒ අතරම් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පවුලේ පසුබිම වඩාත් සමීප සාධකයක්. පවුලේ සමගිය මෙහිදී ප්‍රබල සාධකයක්. අම්මා, තාත්තා මහාචාර්යවරුන් වුනත් නිරන්තරවම පවුලේ හැලහැප්පීම් තිබෙනවා නම් දරුවන්ට ඉගෙණුම වෙනුවෙන් ගැලපෙන මානසික පරිසරයක් ගොඩ නැගෙන්නේ නැහැ. නිතරම හිතේ ඇති වෙන පීඩාකාරී පරිසරය නිසා දරුවන්ට ඉගෙණුම වෙනුවෙන් තිබෙන අවධානය නොදැනීම බිඳ වැටෙනවා. ඒ වගේම දෙමව්පියන්ටත් තමන්ගේ මානසිකව තිබෙන අසහනකාරී පරිසරය නිසා දරුවන්ගේ අධ්‍යාපනය ගැන විමසිල්ලෙන් සිටීමට ඉඩක් නැහැ. දරුවා නොදැනීම ගිලිහෙන නිසා අධ්‍යාපනයේදී ඔවුන් පසුගාමී ස්වභාවයක් දක්වනවා.
සමහර විට ඔබ අතරත් එවන් දරුවන් සිටින්නනට පුලුවන්. ඉතා දක්ෂ ලෙසින් අධ්‍යාපනයේ නිරත වුන මේ දරුවන් හදසියේම පසුගාමී වුනොත් ඒ පිටුපසින් තිබෙන හේතු විමසා බලන්න අවශ්‍ය වෙනවා. බොහෝ වේලාවට පවුලේ ඇති වෙන අප්‍රසන්න පරිසරය දරුවාගේ මානසිකත්වයට බලපාන නිසා ඔහු නොදැනීම අධ්‍යාපනයේදී පසුගාමී ස්වභාවයකට පත්ව සිටින්න පුලුවන්.

පවුලක දෙමව්පියන් වගේම ඇතැම් අවස්ථාවන්හිදී වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ ලැබෙන රුකුලත් අධ්‍යාපනට ඉතාම වැදගත්. දරුවාට සාමාන්‍යයෙන් ඔබ දක්වන ආදරය සහ අවධානය වගේම රැකවරනය අධ්‍යාපනයේදීත් ලබා දීම වැදගත්. පාසල් යන දරුවාගෙන් පංතියේ ඉගැන්වූ පාඩම්, ගෙදර වැඩ ඇත්නම් ඒ ගැන සහ පසුදිනට සූදානම් වීමට ඇති වැඩ කොටස් අනිවාර්යෙන්ම විමසා දැනගන්න. ඔබ ඒ අන්දමින් අවධානයක් දක්වන විට දරුවන්ටද අධ්‍යාපනය වෙනුවෙන් තිබෙන උනන්දුව සහ අවශ්‍යතාවයෙන් මිදෙන්න බැහැ. ඇතැම් විටෙක විෂය තුළ දරුවන්ට අසීරු කොටස් තිබිය හැකියි. මේ කොටස් සපුරා නොගෙන එතැනින් ඉදිරියට යා නොහැකියි. අම්මා, තාත්තා වගේම වැඩිමහල් සහෝදර පිරිස් විසින් මේ සඳහා දරුවාට සහය ලබා දීමට පුලුවන්. පවුලෙන් අවධානයක් නොලද විට දරුවා අධ්‍යාපනයෙන් නොදැනීම ගිලිහී යෑමට තිබෙන ඉඩ පරිසරය ඉතාම ඉහලින් තිබෙනවා.

එක් දිනක් තම දරුවා අවේලාවෙන් පාසලෙන් රැගෙන යෑමට විදුහල්පතිගෙන් අවසරය ලබා තාත්තා කෙනෙක් පංතියට පැමිණියා. ඔහු කියන නමින් දරුවෙක් ඒ පංතියේ සිටියේ නැහැ. ගුරුතුමිය නාම ලේඛනයත් පරීක්ෂා කලා. ඒ අතර අසල්වැසි දරුවෙක් මේ පංතියේ හිටියා.

ආ.. මෙයා අපේ අසල්වැසියෙක්..පුතා දේශාන් ඉන්නේ මොන පංතියේද…පියා විමසා සිටියා. තුනවසර “ ඒ ” පංතියේ ..දරුවා පිලිතුරු දුන්නා.
දිනපතා පසාලක සමගාමී පංතියක් ගැන නොදැන සිටියා නම් එය විමතියට කරුණක් නොවෙයි. එය පවා අවදානයෙන් සිටින දෙමව්පියන් දන්නවා. ඒත් දැනට දරුවා ඉගෙනුම ලබන පංතියවත් නොදන්නා බවෙන් තේරෙන්නේ දරුවාගේ අධ්‍යාපනය ගැන කිසිම උනන්දුවක් නොදක්වන බවයි.

පවුල් පසුබිම තුළ ආර්ථික ගැටළුත් දරුවාගේ අධ්‍යාපනයට බලපාන තවත් හේතුවක්. අද අධ්‍යාපනයට තිබෙන තරඟකාරීත්වය නිසා දරුවන්ට අතිරේක පංති නොමැතිව ඉගෙණුම් කටයුතු කර ගැනීම එතරම් පහසුවක් නොවෙයි. පාසල මතම යැපුනොත් තරඟකාරී රැල්ල තුළ ඔබේ දරුවා පසුගාමී විය හැකියි. එහෙත් මේ උපකාරක පංති වෙනුවෙන් වැය බර දැරීම අපහසු විය හැකියි. නමුත් අධ්‍යාපනයේදී හොඳම දෙය ලැබෙන්නේ උපකාරක පංතියේදී යන විශ්වාසය අද සමාජගතව තිබෙනවා. ඒ වගේම පාසල් විෂය නිර්දේශය වෙනුවෙන් දැඩි අවධානයක් දිනපතා පාසලෙන් නොලැබෙන නිසා උපකාරක පංති නැතිවම බැරි තැනට පත්ව සිටිනවා. මේ නිසා ආර්ථිික ගැටළු ඇති දෙමව්පියන් දැඩි අසීරුතාවයකට පත් වෙනවා. දරුවන්ට අවශ්‍ය අත්වැල නොලැබුනොත් ඇත්තටම ඔවුන්ට අධ්‍යාපනයේ ඇතැම් කඩඉම් ජයග්‍රහනය කිරීම අපහසුයි. ඒ නිසා අනිවාර්ය අවශ්‍යතාවයන් සපුරා ගත හැකි ආර්ථික හැකියාවක් තිබීමත් අවශ්‍ය සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.


සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality