ජූනි 8, 2025
Kids Nursery Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවා පෙර පාසැල් යවන්නට පෙර මේ කරුණු ගැන අනිවාර්යෙන්ම හිතන්න

ජීවිතේ කියන්නෙ පුදුම තරම් වේගයෙන් ගෙවිලා යන දෙයක් දන්නෙම නැතිව අපේ පුංචි පැටියා පෙර පාසල් යන වයසත් ඇවිල්ලා . දැන් ඉතින් අම්මලත් වෙනදට වඩා හරිම කාර්‍යය බහුලයි. පැටියගෙත් දින චරියාව වෙනස් වෙන්නේ වෙනදට වඩා වේලපහම නැගිටලා පිරිසිදු වෙලා කෑම කාලා පෙරපාසලට යන්න සිද්ධ වෙන නිසා. හැබැයි ඉතින් මේ කටයුත්තට පැටියා හුරු කරන එක නම් යුද්ධයක් වගේ. අන්න ඒ නිසාම පෙර පාසලට පැටියා යවන මව්වරුන් මේ කාරණා ගැන සැලකිලිමත් වුනොත් එය පහසුවක් වේවි.

දරුවන්ට නින්ද අත්‍යවශ්‍යම සාධකයක්. ඔවුන්ගේ ශරීරය වර්ධනය වීමට හා ඔවුන් ග්‍රහණය කරගන්නා දැනුම මොළය තුල විධිමත්ව සකසා ගබඩා කරගැනීමටත් සුවදායක නින්දක් අත්‍යාවශ්‍යමයි. පෙර පාසල් ගමන ඇරඹුමත් එක්කම පැටියට වෙනදට වඩා උදෙන් නැගිටින්න සිද්ධ වෙනවා. එනිසා දරුවගේ දෛනික කටයුතු ඉක්මණින් අවසන් කරලා අඩුම තරමින් දරුවට පැය 9 හෝ 11 ක නින්දක් ලබා දෙන්න.

කාලය හැම දේටම හරස් වෙනවනේ. උදේට ගෙදර එකම යුද්ධයක්. මේ යුද්ධයට විරාමයක් තියන්න කලින් දවසෙ රාත්‍රියේම පෙර පාසල් නිල ඇදුම්,සපත්තු මේස්, බෑග් සියල්ලම සූදානම් කරන්න. පෙර පාසලට යන්න පැයකටවත් පෙර දරුවව අවදි කරවගන්න.

පෙර පාසල් යන ඔබේ දරුවාට පෙරට වඩා පෝෂණය අත්‍යාවශ්‍යයි. අධ්‍යාපන කටයුතු වගේම ක්‍රීඩා කටයුතු වලත් නිරත වන නිසා වැඩි ශක්තියක් වැය වෙනවා. දරුවා අවදි කල සැනින් කිරි වීදුරුවකින් බඩ පුරවා පෙර පාසලට ගෙන යන්න එපා. උදෑසන ආහාර වේල හරිම වැදගත්. දීර්ඝ කාලයක් නිරාහාරව තිබෙන කුසට සමබල ආහාර වේලක් සැපයීම වැදගත්. උදෑසන ආහාරයට බත්, තම්බා ගත් ඇට වර්ග, කිරි බත් වැනි දෑ දරුවාට ලබාදිය හැකිය. අනිත් කාරණය තමයි දරුවාගේ කෑම පෙට්ටියට දමන කඩ කෑම. දෙමාපියන්ගේ සතුට දරුවන්ගේ නීරෝගීකමනෙ. තෙල් පිටි අධික කඩ කෑම වෙනුවට නිවසේ ඔබම පිළියෙල කරගත් ගුණයෙන් සපිරි රසවත් ආහාරයක් සකස් කර දෙන්න.

පෙර පාසල් දරුවන්ට නම් ගෙන යන්නට පොත් ගොඩක් නැහැනෙ. ගෙදර වැඩ පොත්, පැන්සල් ,මකන, පාට කූරු පාට පැන්සල් තිබේදැයි කියා පෙර දිනම බලන්න. මේ දේවල් වලට අමතරව දරුවාගේ බෑගයේ අමතර ඇදුම් කට්ටලයක්,කුඩා තුවායක් නිතරම තබන්න. දරුවාට යම් කරදයක් සිදුවුවහොත් දැනුම් දිය යුතු ඔබගේ දුරකථන අංක ලියූ කුඩා සටහන් පොතක් දරුවාවද දැනුවත් කර දරුවගේ බෑගයේ තබන්න.

වෙළෙදපොලේ නොයෙකුත් හැඩවැඩ දැමූ කෑම පෙට්ටි වතුර බෝතල් ඇත. බොහෝ විට පෙර පාසලේදී දරුවාට තනිවම තම කටයුතු කර ගැනීමට සිදු වන නිසා ඔබේ දරුවාට තෝරා ගත යුත්තේ ඔවුන්ට පහසුවෙන් පාවිච්චි කරන්නට පුලුවන් කෑම පෙට්ටි හා වතුර බෝතල්ය. දිනපතාම කෑම පෙට්ටිය වගේම වතුර බෝතලයත් හොදින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. වතුර බෝතල් වල බටය අසල සෙවල බැදීමට ලක් වන නිසා හොදින් පරික්ෂා කර සෝදන්න. දරුවාට පහසුවෙන් කන්නට හැකි ලෙස ආහාර යවන්න. උදාහරණයක් විදිහට බත් එළවලු මාලු වෙන වෙනම දැමූ බත් එකක් යවනවාට වඩා සියල්ල එක් කර ෆයිඩ් රයිස් එකක් සකසා හැන්දක් සමග යැවීම, රොටි හෝ පාන් කුඩා කැබලි ලෙස කපා යැවීම

කෑම පෙට්ටියත් සමග යවන අත් පිස්නාව ගැනත් අම්මලාගේ අවදානය යොමු කරන්න. පොඩ්ඩො කෑම ගනිද්දි ආහාර ඒ මතට වැටීමෙන් ඒ වන විටත් අත් පිස්නාව අපිරිසිදු එකක් නිසා එක් දිනක පාවිච්චි කල අත් පිස්නාව ඊලඟ දිනයේ යව්න්න එපා.

චූටී පැටවු නිසා තම අවශ්‍යතාවයන් තනිවම කළමණාකරනය කරගන්න ටික දවසක් ගත වෙනවනෙ. හැකි නම් දරුවාව පෙර පාසලට යැවීමට පෙර වැසිකිලි යාමට පුරුදු කරවන්න. පැටියට කුඩා කල සිටම තනිවම වැසිකිලියට යාමට පුරුදු කරවීමෙන් පෙර පාසල් යන විට එය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි. පෙර පාසල හුරු වනතෙක් ඩයපරයක් අන්දවා යව්න්න. පැටියට කැස්සක් කිවිසුමක් ඇති වුනොත් ලේන්සුවක් පාවිච්චි කරන්නට හුරු කරන්න. අනෙක් වැදගත් කාරණය පැටියා අසනීප නම් පෙර පාසල නොයවන්න වග බලා ගැනම. දරුවන් ඉක්මණින් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. දරුවා බෝවන රෝගයකින් පෙලුනානම් දරුවා හොඳට සුව වනතුරු නිවසේ තබා ගන්න. අනේ වැඩ අත පසු වෙනවා යැයි සිතමින් දරුවා පෙර පාසල් යැවීමෙන් ඔබේ දරුවා මෙන්ම අනෙක් දරුවන්ද අපහසුතාවයට පත්වේ.එක් අතකින් රෝගී දරුවා විවේකය නොලැබීමෙන් තවත් තෙහෙට්ටුවට පත් වන අතරම නීරෝගී අනෙක් දරුවන්ටද රෝගය බෝ විය හැකිය.

අද සමාජය හරිම භයානකයි.මල් වගේ දරු පැටවු විනාශ කරන අමානුෂික සමාජකයි අපි මේ ඉන්නෙ. ඒ නිසා පැටියට තමන්ගෙ ආරක්ෂාව ගැන කියලා දෙන්න. දරුවගෙ ශරීරය තමන්ටම පමණක් අයිති බවත් අනවශ්‍ය ලෙස දරුවා සිප ගැනීම ස්පර්ෂ කිරීම් ගැන සරලව පහදා දෙන්න. එවැනි අවස්ථාක ප්‍රතික්ෂේප කරන්නටත් වැඩිහිටියන්ව දැනුවත් කරන්නත් එතැනින් ඉවත් වන්නත් දරුවාට කියා දෙන්න. පෙර පාසල අවසන් වන වේලාවටම දරුවා ගන්න. අම්මාගේ අනු දැනුමකින් තොරව කිසිඳු කෙනෙක් සමග පෙර පාසලෙන් පිට නොවන ලෙසට දරුවාට කියන්න.

දරුවා පෙර පාසලෙන් පිටව එනවිට ඔවුන් සමග දොඩම`ඵවන්න. දවස ගෙවූ හැටි ,කල දේවල් ගැන විමසන්න. පසු දිනට පෙරපාසලට ගෙනයාමට අවශ්‍ය දේවල් තිබේ නම් ඒවා අසා දැනගෙන එදිනම සූදානම් කරගන්න. දරුවාගේ හැසිරීම ගැනත් විපරම් කරන්න.දරුවා අසතුටින් සිටින්නේ නම් ඒ පිළිබඳව අවදානය යොමු කිරීම වැදගත්. සමහර දරුවන් තවත් දරුවන්ට හිරි හැර කරන අවස්ථා එමටය. එනිසාවෙන් පෙර පාසල් ගමන දරුවාට නීරස විය හැකිය. ඇතැම් ගුරුවරුන්ද දරුවන්ගේ සිත් බෙහෙවින්ම රිදෙන ලෙස තරවට්ටු කිරීම් නිසා දරුවා බියෙන් හා දුකෙන් සිටිනවා විය හැකිය. ඔබ කලින් ඒ පිළිබඳව දැනුවත්ව සිටීමෙන් ගත යුතු පියවර ගන්නට හැකියාවක් ලැබේවී

ඉතින් මේ පුංචි කාරණා ගැන අම්මලගෙ අවදානය යොමු කිරීමෙන් දරුවව සතුටින් පෙර පාසල් යවන්න පිටුවහලක් වේවී.


දැනුවත් කිරීම,

රූපා පෙරේරා
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය නිලධාරිනී
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අත්තිඩිය

සටහන
දිශාන්ති වෙදගේ

Leave feedback about this

  • Quality