නොවැම්බර් 9, 2025
Nail health Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

නියපොතුවල නීරෝගීතාවය තබා ගැනීමට නම් මේ උපදෙස් පිළිපදින්න

ඔබ නියපොතු අලංකාර කිරීමට උනන්දුවක් කැමැත්තක් දක්වන කාන්තාවක් නම් ඔබ නියපොතු අලංකාර කිරීමට දක්වන ලද උනන්දුව සමගම නියපොතුවල නීරෝගීතාවය ආරක්ෂා කර ගැනීමටත් උනන්දු වීම ඉතාම වැදගත්. ඒ අනුව ඔබ විසින් නීරෝගීමත් ලෙසින් ඔබේ නියපොතු රැක ගැනීමට නම් මෙම කරුණු ගැනත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

  • නිය ආලේපන ගැල්වා දීර්ඝ කාලයක් තබා නොගන්න

ඔබ නිය ආලේපන ගැල් වූ පසුව ඒවා දීර්ඝ කාලයක් නියපොතු මත රඳවා තබා ගැනීම සුදුසු නැහැ. නිසි කාලසීමාවේදී මෙම නිය ආලේපන ඉවත් කිරීමටත් මතක තබා ගන්න. නිය ආලේපන නිසි කාලයට ඉවත් නොකළ විට නියපොතු මතුපිට දිලීර රෝග වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එවැනි තත්වයක් ඇති වීම නිසා නියපොතු වගේම නියපොතුවලට යටින් ඇති සම එකිනෙකට වෙන් වීමක් සිදු වෙනවා. නියපොතු නරක් වී වැටෙනවා යැයි බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන්නේ මේ තත්වයයි. නියපොත්ත වැටුනත් අලුත් නියපොත්තක් වැවෙන බව ඇත්ත වුවත් මෙසේ අලුතින් වැඩෙන නියපොත්ත විකෘති ස්වරූපයකින් වැඩෙන බව ඔබ නොදන්නවා විය හැක.

  • නිය ආලේපන තෝරා ගැනීමේදී එහි ප්‍රමිතිය ගැනත් අවධානය යොමු කරන්න

නිසි ප්‍රමිතියක් නොමැති නිය ආලේපන නිසා ඔබේ නියපොතුවල නීරෝගී බවට හානි සිදු වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා නිය ආලේපන තෝරා ගැනීමේදී ගූණාත්මක බවෙන් ඉහළ නිය ආලේපන තෝරා ගැනීම මෙන්ම ඒවායේ කල් ඉකුත් වීමේ දිනය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. නිය ආලේපන භාවිත කිරීමට පෙරාතුව නියපොතුවල ආරක්ෂාව වෙනුවෙන් Basecoat ආලේප කිරීම වැදගත්.

  • නියපොතුවල පෙර නොමැති වෙනසක් පෙනේ නම් තාවකාලිකව නිය ආලේපන නවත්වන්න

ඔබ නිය ආලේපන භාවිත කරන කාන්තාවක් නම් ඔබේ නියපොතුවල පෙර නොමැති වෙනසක් දක්නට ඇත්නම් තාවකාලිකව නිය ආලේපන භාවිත නොකර සිටීමෙන් නියපොතුවල නීරෝගී බව ආරක්ෂා කර ගැනීමට හැකි වෙනවා. එවැනි තත්වයක් දැක දැකත් තව දුරටත් නිය ආලේපන භාවිත කිරීම මගින් ඔබේ නියපොතු තව දුරටත් හානි වීමට හේතු විය හැකි බැව් තරයේ මතක තබා ගන්න

  • නිය ආලේපන ඉවත් කිරීමේ දියරවල (Remover) ප්‍රමිතිය ගැන අවධානය යොමු කරන්න

ඔබ ප්‍රමිතියෙන් යුක්ත නිය ආලේපන භාවිත කරන සේම නිය ආලේපන ඉවත් කිරිමේදීත් ප්‍රමිතියෙන් යුතු නිය ආලේපන ඉවත් කිරීමේ දියර (Remover) තෝරා ගැනීම වැදගත්. මෙම දියරවල විවිධ රසායනයන් අන්තර්ගතව තිබෙනවා. මේවා නිතර නිතර නිය මත ආලේප කිරීම නිසා නිය වියලීම පමණක් නොව එතැනින් පසුව නියපොතුවල පැහැය වෙනස් වී ඒවා පහසුවෙන් කැඩී යෑමද සිදු විය හැකියි.

  • Manicure/Pedicure වලදීත් සැලකිලිමත් වෙන්න

ඔබේ විලාසිතාවන් වෙනුවෙන් සිදු කරන Manicure/Pedicure නිසාත් නියපොතුවලට හානි සිදු වීමට පුළුවන්. ඔබ නිතරම මෙම සත්කාර කිරීමෙන් නියපොතුවල කෙරටින්වලට හානි වී නියපොතු වියලී කැඩී යෑම සිදු වෙනවා. විශේෂයෙන් රූපලාවන්‍යාගාරවලදී Manicure/Pedicure වෙනුවෙන් භාවිත කරන උපකරණ මැනවින් ජීවාණුහරණය නොකිරීම නිසා නියපොතු ආශ්‍රිතව දිලීර සහ බැක්ටීරියා ආසාදන ඇති වීමට ඉඩ තිබෙනවා.

  • නියපොතු කපන විටත් වැඩි සැලකිලිමත් වෙන්න

නියපොතු කපන විට ගැඹුරට කැපීම නිසා නිය සමට හානි වීමට පුළුවන් නිසා නියපොතු වැවීමේ ගැටළු ඇති වෙන අතරම Nail Bed සහ නියපොත්ත අතර ඇති සම්බන්ධතාවය ගිලිහී ගොස් නියපොත්ත වෙන් වූ ස්වභාවයකින් දකින්නට ලැබෙන්න පුළුවනි. මේ අන්දමින් නියපොතු කැපීමෙන් නියපොතුවල අලංකාරයට සිදු වෙන හානි වලක්වා ගැනීම පිණිස නියපොත්ත තිරස් අතට කැපීම සුදුසුයි.

  • නේල් ආර්ට් යෙදීමේදී සැලකිලිමත් වෙන්න

ඔබේ ස්වභාවිකව පිහිටි ලස්සන නියපොතු වෙනුවෙන් නේල් ආර්ට් යොදා ගැනීම නිසාත් නියපොතු හානි වීමට ඉඩ තිබෙනවා. මෙහිදී ඕබේ ස්වබාවික නියපොත්ත මතු පිට රළු මෝස්තර, ස්ටිකර් වැනි දේ ඇලවීම නිසා නියපොත්ත මතු පිට පෘෂ්ඨය සීරීමට පත් වීමට වැඩි ඉඩක් තිබෙනවා. මෙවැනි අවස්ථාවන්හිදී නියපොත්තේ වර්ධක ස්ථානය (Nail Matrix) ට හානි වී නියපොත්ත වර්ධනය වීමේ ගැටලු ඇති වෙනවා. කෘතිම නියපොතු අලවන සහ ගලවන කටයුතුවලින්ද එසේ හානි වීමට ඉඩ තිබෙනවා. ඒ හැරුන විට නිය පෘෂ්ඨයට හානි වී, එය තුනී වීමත් නියපොතුවල වර්ණය වෙනස් වීමටත් ඉඩ තිබෙන බැවින් නියපොතුවලට මෝස්තර යොදා ගැනීමේදීත් ඔබේ නියපොතුවල ස්වභාවික ලස්සනට සිදු විය හැකි හානිය වලක්වා ගැනීම සඳහා සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

  • ඔබට විවිධ ශාරීරික රෝග තත්වයන් ඇත්නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න

ඔබගේ විවිධ ශාරීරික රෝග තත්වයන් නිසාත් නියපොතුවල වෙනස්කම් දක්නට ලැබෙනවා. කැල්සියම් වැනි පෝෂණ ඌනතාවයන් නිසා නියපොතු පහසුවෙන් කැඩීමට ඉඩ තිබෙනවා. නියපොතුවල අපිරිසිදුබව නිසා විවිධ දිලීර ආසාදන තත්වයන් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙන බවත් සඳහන් කිරීම වැදගත්.
ඉහත දැක් වූ කරුණු ගැන සැලකිලිමත් වෙමින් යම් ලෙසකින් ඔබේ නියපොතුවල පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා නම් සුදුසුකම්ලත් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality