සෑම දරුවෙකුගේම සාර්ථකත්වය රඳා පවතින්නේ නිරෝගී ශරීරයක් සහ මනසක් මතයි. හොඳින් ඉගෙන ගන්නට, ක්‍රීඩා කරන්නට සහ අභියෝග ජය ගන්නට නම්, ඔබ මුලින්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය යුතුයි. සෞඛ්‍ය සම්පන්න යැයි කිව හැක්කේ ශරීරයද, මනසද සුවපත් නම් පමණි. ශාරීරික සෞඛ්‍යය සඳහා නිසි පෝෂණය අත්‍යවශ්‍ය වනවා සේම, මානසික සෞඛ්‍යය සඳහා දිනපතා සුවබර නින්දක් අත්‍යවශ්‍ය වේ.
පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණවත් ලෙස නොගත් විට ශරීරය රෝගී වනවා සේම, ප්‍රමාණවත් සුවබර නින්දක් නොලැබුණු විට මනස රෝගී වෙයි. ඖෂධ පෙති ගිලීමට වඩා රාත්‍රියට හොඳින් නිදා ගැනීම කොතරම් වටීද යන්න අප තේරුම් ගත යුතුය.
- විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් බොහෝ විට පාඩම් කිරීමට හෝ තාක්ෂණය භාවිත කිරීමට නින්ද කැප කරයි. නමුත් සුව නින්දක් නොමැති වීම ඔවුන්ගේ මුළු ජීවන රටාවටම බරපතළ ලෙස හානි කරයි.
- නින්ද අහිමි වීමෙන් ඔබේ මනසට හා ශරීරයට වන හානිය
- මතක ශක්තිය (Memory) සහ ධාරණ ශක්තිය (Concentration) පිරිහීම – ඔබ දවස පුරා ඉගෙන ගත් දේ මොළයේ තැන්පත් වීම නතර වීම.
- ශරීර ශක්තිය සහ මානසික ශක්තිය පිරිහීම – නිරන්තර විඩාව, කෝපය සහ මානසික අවපීඩන ස්වභාවයන් ඇති වීම.
- රෝගී තත්ත්වයන් වැඩි වීම – නිදන්ගත හිසරදය, ක්ලාන්තය හෝ කරකැවිල්ල වැනි ස්නායු ආබාධ ඇති වීමේ අවදානම ඉහළ යාම.
- හෝමෝන අසමතුලිතතා – ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීම අඩාල වීම සහ ආහාර රුචිය පාලනය කරන හෝමෝනවල අසමතුලිතතා ඇතිවීම.
- බාහිර රෝග ලක්ෂණ – ඇස් යට කළු වීම සහ සමේ ගැටලු ඇති වීම.
දවසට ඇත්තේ පැය විසි හතරකි. එයින් තුනෙන් දෙකක් එනම් පැය 16 අවදිව සිටීම සඳහා වෙන් කළ හැකිය. ඉතිරි තුනෙන් එක නොහොත් අවම වශයෙන් පැය අටක් ඔබට සුවබර නින්දක් ලැබිය යුතුය. පැරණි ගම්මුන්ගේ සිරිත වූයේ අලුයම කුකුළා හඬලන විට අවදි වීමයි. එය පරිසරය සමඟ ජීවත් වීමයි. ඉර බැස යන්නේ ඔබට නිදා ගැනීමට පරිසරය සූදානම් කරන්නටය. රාත්‍රිය සිසිල්ය, නිශ්ශබ්දය. අඳුරුය. සුවබර නින්ද සඳහා අඳුර සහ සිසිලස අත්‍යවශ්‍ය සාධක වේ.
දහවල නිදා ගැනීමෙන් සුවබර නින්දක් නොලැබේ. එබැවින් පාසල් ළමුන් රාත්‍රියේදී පැය 8 ක නින්දකට ඉලක්ක කළ යුතුය. සාමාන්‍යයෙන්, රාත්‍රී 9.00ට නින්දට ගොස් අලුයම 5.00ට අවදි වීම ඉතාමත්ම සුදුසු ක්‍රමයකි. මෙම පුරුද්ද දරුවන්ගේ ශරීරයේ ජෛව විද්‍යාත්මක ඔරලෝසුව (Circadian Rhythm) නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
ඔබ නින්දට යාමට පැයකට පෙර ඒ සඳහා ශාරීරික සූදානම මෙන්ම මානසික සූදානමද ඇති කර ගත යුතුය.
- තිර භාවිතය නවත්වන්න.
ජංගම දුරකථනය, රූපවාහිනිය, ලැප්ටොප් ආදී විද්‍යුත් තිර භාවිතය නින්දට පැයකට පෙර සම්පූර්ණයෙන්ම අත් හැරිය යුතුය. මෙම තිරවලින් නිකුත් වන නිල් ආලෝකය නිසා මෙලටොනින් (නින්ද ඇති කරන හෝමෝනය) නිපදවීම අඩාල වන අතර, මොළය තවදුරටත් අවදියෙන් තබයි.
- සැහැල්ලු රාත්‍රී ආහාරය.
රාත්‍රියට කුස තද වන තුරු ආහාර ගැනීම නොකළ යුතුය. සැහැල්ලු ආහාරයක් ගැනීමෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලියට බාධාවක් නොවී සුව නින්දකට පිවිසිය හැකිය.
- විද්‍යුත් උපකරණ ඉවත් කරන්න.
ඔබේ නිදා ගන්නා තැන ආසන්නයේ විද්‍යුත් උපකරණ කිසිවක් තබා නොගන්න. ඒවායින් ඇති වන බලපෑම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ තවමත් සිදුවෙමින් පවතින නමුත්, හානියක් සිදු වන බවට මූලික සාධක ලැබී ඇත.
- නිදන ඇඳුමෙන් මානසික සූදානම
සවස් කාලයේ ඇඳ සිටි ඇඳුම වෙනුවට නිදන්නට අඳින සැහැල්ලු ඇඳුමක් ඇඳීමෙන්, ඔබ මානසිකව නින්දට සූදානම් වේ. මෙය ඔබේ මොළයට නින්ද සඳහා සංඥාවක් ලබා දෙයි.
ඔබ නිදන්නේ ඇඳකද? නැතිනම් පැදුරකද? යන්න වැදගත් නොවේ. ඔබ වැතිර ගත යුත්තේ නිදා ගැනීමේ සිතිවිල්ලෙනි.
- මනස සැහැල්ලු කිරීම
නින්දට මනස සූදානම් කර ගත යුතුය. කුමන ආගමක වුවත්, නින්දට පෙර විනාඩි පහක් භාවනා කිරීම මෙසේ සිත එකඟ කර ගැනීමට උපකාරී වේ. සියලු සත්ත්වයෝ සුවපත් වේවා යන ධනාත්මක සිතිවිල්ලෙන් නින්දට යෑමෙන් ඉක්මනින් සුවබර නින්දක් ලැබේ.
- නින්දේ අදියර
නින්දේ පළමු කොටස නොගැඹුරු නින්දයි. දෙවනුව එළඹෙන්නේ ගැඹුරු නින්දටයි. දවස පුරා ඔබ ඉගෙන ගත් දේ සිතේ ධාරණය වන්නේ, තොරතුරු වර්ග කර මතකයට තැන්පත් වන්නේ මෙම ගැඹුරු නින්දේදීය. දිනපතා ගැඹුරු නින්ද ලබා ගැනීමෙන් පමණක් දිවා කාලයේ ඉගෙන ගැනීමේ පූර්ණ ප්‍රතිඵල ඔබට ලැබෙනු ඇත.
යහපත් සෞඛ්‍යයක් සහ අධ්‍යාපනික සාර්ථකත්වයක් සඳහා සුවබර නින්ද යනු අනිවාර්ය අවශ්‍යතාවකි. ඔබ සුවෙන් සතුටෙන් ජීවත් වීමට නම්, ඔබ හොඳින් නිදා ගත යුතුමය.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල
සටහන
උදානි ජයසේන
Leave feedback about this