ඔක්තෝබර් 24, 2025
Exam Results Parent PUlse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

ප්‍රතිඵලය කුමක් වුවත් නොසැලෙන දරුවෙකු තනන්නේ මෙහෙමයි

සෑම වසරකම විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමග අසන්න දකින්න ලැබෙන අසුබ ආරංචිවල ප්‍රතිශතය දැන් දැන් ඉහළ යමින් පවතිනවා කිව්වොත් වරදක් නැහැ. යොවුන් වියේ දරුවන් අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබෙනවා. එවැනි පුවත් දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා.

විභාග ප්‍රතිඵලය කියන්නේ ජීවිතයේ අනාගතය තීරණය කරන කඩඉමක් වුවත් එය දරුවෙකුගේ මුළු ජීවිතයම නොවේ. නමුත් අපේක්ෂිත ප්‍රතිඵල නොලද දරුවෙක් තමා ප්‍රතිඵලය වටා ගොඩ නගා ගත් සැලසුම් ඉබේටම බිඳ වැටෙන ආකාරය දකිමින් තමා පිළිබඳව ඇති වටිනාකම අමතක කරනවා. එය එසේ නොවන්නට නම් සෑම දෙමව්පියෙක්ම මානසික ශක්තිසම්පන්න දරුවෙකු ගොඩ නැංවීම පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි. මේ පිළිබඳව දැනුවත් වීමේදී දරවෙක් සිය දිවි නසා ගැනීමට හේතු විය හැකි සාධක පිළිබඳව වැඩිහිටියන් දැනුවත් විය යුතුමයි.

මව්පියන් දරුවා මත එල්ල කිරන පීඩනය

ඇතැම් මව්පියන් ප්‍රතිඵල නිකුත් වුන විගසම බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නැතිනම් දරුවා වෙත ඔවුන්ගේ කලකිරීම, තරහව ප්‍රකාශ කරන්නට පසුබට වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් කරපු වියදම වතුරේ ගියා යන අදහසේ සිට දෙමව්පියන්ගේ මුවින් නිකුත් වන නොවන මෙන්ම මව්පියන්ගේ දනවන බොහෝ දේ මගින් තමාගේ ප්‍රතිඵල නිසා මව්පියන් විඳවන බව දරුවා හදුනා ගන්නවා. දරුවෙකුගේ ප්‍රතිඵලය සුබදායී නොවීම මව්පියන් වුවද කඩා වැටීමට හේතුවක් වුවත් එය දරුවාට තම ජීවිතය තොර කර ගැනීඹට තරම් මානසික පසුබෑමක් නොවිය යුතු වන්නේ ජීවිතයක් තරම් වටිනා කිසිත් මේ මිහිපිට නොමැති නිසාමය.

අභියෝගවලට නොබියව මුහුණ දීමට දරුවාට නොහැකි වීම

අද හය හතර නොතේරෙන වයසේ පටන් දරුවන් ඉදිරියේ තිබෙන්නේ ඉතා තරඟකාරි වටපිටාවක්. කුඩා කාලයේදී මව්පියන්ගේ මෙහෙය වීමෙන් මෙම අභියෝග දරුවාට තදින් දැනෙන්නේ නැහැ. වචනයටත් කියන්නා සේ ශිෂ්‍යත්වය වැනි විභාග කඩඉම ජයගන්නේ මව්පියන්ගේ උනන්දුවෙන් සහ මෙහෙයවීමෙන්. ඒ හේතුවෙන් දරුවන්ට තමා ඉදිරියේ තිබෙන අභියෝගයන්ට ස්වාධීනව මුහුණ දීමට තරම් හැකියාවක් නැහැ. එබැවින් දරුවන්ට කුඩා කාලයේ පටන්ම අභියෝග වෙනුවෙන් ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම ඉතා වැදගත් වෙනවා.

දරුවා පිළිබඳව ලබා දෙන අධිතක්සේරුවෙන් සිටීම

තමන්ගේ දරුවා තරම් වටිනා සම්පතක් මව්පියන්ට නැහැ. ඒ වගේම සෙසු සම වයස් කණ්ඩායම් අතර දරුවා විශිෂ්ටයෙකු ලෙසින් ඉස්මතු කිරීමටත් මව්පියන් සතුටුයි. මේ නිසාම ඇතැම් මව්පියන් දරුවා අසමර්ථයෙක් වුනත් අනවශ්‍ය ලෙසින් ඔසවා තබනවා. දරුවා ද තමා ගැන නිරන්තරව ඇති කර ගන්නේ අධිතක්සේරුවක්. එහෙත් විභාගයක් වැනි තත්වයකදි දරුවා ලබන ප්‍රතිඵල තුළ ඔහු වෙනුවෙන් ලැබෙන ඇගයීම නිසා මෙතෙක් ගොඩ නගා ගත් ප්‍රතිරූපය බිඳ වැටීම දරුවාට දැරීමට අපහසු තත්වයක්. සමාජයට මුහුණ දීමට නොහැකිය සංකල්පය හමුවේ දරුවා ඉබේටම බිඳ වැටීම අවසාන වන්නේ සිය දිවි තොර කර ගැනීම වැනි අවාසනාවන්ත තත්වයකින් විය හැකියි.

දරුවා ගැන අවධානයෙන් සිටින්න

එක්තරා වයසකට පැමිණි පසු දරුවා තේරුම් ගැනීම බෙහෙවින් අපහසුයි. ඔවුන්ගේ සිත කියවීම අපි හිතන තරමට පහසු නැහැ.මේ නිසා ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඔබ දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න. ඇතැම් විට ලැබෙන ප්‍රතිඵල ගැනත් ඔවුන් සෑහීමට පත් වෙන්නේ නැහැ. මේ නිසා ඉතා සියුම් ලෙස දරුවා පිලිබඳ නිරීක්ෂනයේ යෙදීම ඉතාම වැදගත්. ඇතැම් දරුවන් තමන් ලද දෙයින් සෑහීමට පත් වෙනවා වෙනුවට නොලද දෙය පිලිබඳව මහත් කම්පාවට පත් වෙනවා.

අනෙක් දරුවන් සමග සංසන්දනය කිරීමෙන් වළකින්න

ඔබේ දරුවාට ලබා ගත් ප්‍රතිඵල කිසිදු විටෙක වෙනත් අය සමග සංසන්දනාත්මකව සලකා නොබලන්න. විභාගයක් යනු ඉතාම අවිනිශ්චිත අවස්ථාවකි. වසර ගණනාවක් පුරා ලබන විෂය දැණුම පැය තුනක් වැනි කෙටි කාලයකදී ඉදිරිපත් කරන විලාසය, එම අවස්ථාවේ ඇති මානසික පසුබිම සහ තර්කානුකූල හැකියාව මත තීරණය වේ. විටෙක සෙසු කණ්ඩායම් තුළ දරුවා කැපී පෙනෙන හැකියාවන්ගෙන් යුක්ත වුනත් එම අවස්ථාවට මුහුණ දෙන ආකාරයෙන් ප්‍රතිඵල තීරණය වෙනු ඇත. එබැවින් ලැබෙන ප්‍රතිඵල පිලිබඳව සෑහීමට පත් වෙනු විනා කිසිදු ලෙසකින් තවත් දරුවෙක් ලබා ගත් ප්‍රතිඵල සමග ඔබේ දරුවා ලබා ගත් ප්‍රතිඵල කිරා මැනීමක් නොකිරිමට වග බලා ගන්න.

විකල්ප අවස්ථාවන් ගැන පහදා දෙන්න

විභාගය අසමත් වුනත් එය එක් සිද්ධියක් ලෙසින් අතීතයට එක් කරන ලෙස දරුවාට උපදෙස් ලබා දෙන්න. අහිමි දෙයට වඩා උපයා ගත හැකි අවස්ථාවන් වඩා වැදගත් බැව් ඔහුට ඒත්තු ගන්වන්න. එක්වරක් අසමර්ථ වීම අධ්‍යාපනයේ අවසානය නොවන බැව් වටහා දෙන්න. දෙවැනි සහ තෙවැනි වතාවත් උත්සාහ කොට එයිනුදු සාර්ථක ප්‍රතිඵලයක් නොලබන්නේ නම් පමණක් වෙනත් විකල්පයන්ට යොමු විමට හැකියාවක් ඇති බැව් දන්වා සිටින්න.

ධනාත්මකව සිතන්නට යොමු කරන්න

විභාගය අසමත් වීම යනු අනාගතය මුලුමනින්ම අවාසනාවන්ත වීමක් නොවන බව දරුවාට කියා දෙන්න. පරාජය යනු ජයග්‍රහණය වෙනුවෙන් ලබා දෙන පන්නරයක් බව සිතන්න. නැපෝලියන් බොනපාට් පරාජයෙන් නොසැලී ඉදිරියට ගිය අන්දම දරුවාට පවසන්න. ජීවිතය තමා විසින් ගොඩ නගා ගත යුතු බව පෙන්වා දෙන්න. ඒ. ආර්. රහුමාන්ට ඕර්ගන් වාදනය කළ නොහැකි බව සඳහන් කරමින් ගුරුවරයා විටෙක ඔහු පන්නා දමා ඇත. නමුත් ඔහු සැලුනේ නැත. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා බවට පත් වූයේ ජිවිතයේ බොහෝ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ පන්නරයෙන් පමණක් නොව ජිවිතයේ ඉලක්ක ජයගැනීමේ ධනාත්මක ආකල්පය නිසා බැව් පෙන්වා දෙන්න.


සටහන,

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality