අපි කුඩා කාලයේ පුංචි හෝ අත්වැරැද්දක් වුනාම අම්මලා අප්පච්චිලා කියන්නේ උඹ යවනවා මග්ගොන කියලයි…. නොමග ගිය දරුවන් සුමගට යොමු කරන මධ්‍යස්ථාන එදත් තිබුණා. නමුත් අද තරමටම එදා දරුවන් බරපතල වැරැදිවලට යොමු වුනේ නැහැ.
අද බාලවයස්කාර දරුවන් විවිධාකාර වැරැදි නිසා සමාජයේ අප්‍රසාදයට පත් වෙනවා. මේ නිසාම දරුවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. දරුවෙක් සමාජයේ නොකළ යුතු යැයි හිතන (මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම්, ලිංගික ඇසුර, අන්තර්ජාල අපරාධ ) වැරැද්දක් කළ විට අපි ඒ චෝදනාවට මේ විදිහට හේතු පාඨ ගොඩ නගා ගන්නවා.
අම්මා හෝ තාත්තා විදේශගත/ තාත්තාගේ බීමත්කම/ නූගත් බව/ පවුල් පරිසරය විදිහට කරුණු පෙළ ගැසුවත් ඇත්තටම දරුවෙක් නොමග යන්නේ ඇයි ?
අපි පුංචි කාලයේ පන්දු ගහද්දී මුලින්ම නීති රීති ගොඩ නගා ගන්නවා. ඒත් හදිසියේම පිට්ටනියේ සීමාව පැනලා පන්දුව ඇලට වැටුනාම එතැනදී නැවත සම්මුතියක් ගොඩ නගා ගන්නවා. සමහර වෙලාවට එහෙම බැරි වුනොත් අපි අයියාගෙන් එහෙම නැත්නම් මාමාගෙන් අහමු කියලා වැඩිහිටි උපදෙසක් ලබා ගෙන ගැටුම එතැනින් අවසාන කර ගන්නවා.
නමුත් අද දරුවන්ට තිබෙන වටපිටාව බොහොම යාන්ත්‍රිකයි. දරුවාට ස්වාධීනත්වයක් නැහැ. අම්මා අප්පච්චිගේ අවශ්‍යතාවයට හැසිරෙනවා මිස දරුවාගේ නිදහසට කිසිම ඇගයීමක් නැහැ. දරුවාගේ අවශ්‍යතාවය අනුව රැකියාවක නිරත වීමට අම්මා තාත්තාගෙන් කිසිම අවසරයක් නැහැ. ඔවුන්ගේ හීන දරුවා දොස්තර එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්.
මව්පියන්ට අවශ්‍ය දරුවා ඉහලින් තබන්න නම් එය ඇත්තක්. ඒ වගේම බොහොම සාධාරණ සිතුවිල්ලක්. ඒත් දරුවාට අවශ්‍ය ආදරය ආරක්ෂාව නොමැති විට ඔවුන් අනවශ්‍ය විදිහට සමාජ විරෝධී කටයුතුවලට යොමු වෙනවා. අද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින්නේ නූගත් හා ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල දරුවෝ නොවෙයි. ඉතාම සුපිරි, උගත් පවුල්වල දරුවන්ගේ මේ ඛේදවාචකය මොනතරම් අවාසනාවක්ද කිව්වොත් මත් කුඩු ගන්න අම්මා සල්ලි දෙන අවස්ථා තිබෙනවා. මත්ද්‍රව්‍ය නැතිව දරුවාට ජීවත්වෙන්න බැරි බව අම්මා දන්නවා. ඉතිං අකමැත්තෙන් වුනත් අම්මට ඒ දෙය කරන්න සිද්ධ වෙනවා.
මේ තත්වයෙන් දරුවා මුදවාගන්න උත්සාහ නොකරන්නේ ඇයි දැයි සොයා බැලුවහොත් ඇතැම් මව්පියෝ තමන්ගේ දරුවන්ගේ වැරැදි සමාජයට පෙන්වන්න කැමැති නැහැ. පුතා කුඩ්ඩෙක් කියලා රටේ ලෝකේ අය හිතුවොත් කියන අහංකාරකම නිසා වැරැදි හදන්න අපහසුයි වගේම තව තවත් මේ වැරැද්දෙම පැටලෙනවා. දරුවන් වැරැදි වලට යොමු වීම නොදැණුවත්කම නිසා සිද්ධ වුනත් මව්පියන් දරුවන් මේ විපතෙන් ගලවා ගන්න අවශ්‍යයි. ඒත් තමන්ගේ සමාජ තත්වය යන පුහු සංකල්පය නිසා දරුවන් මේ ගොදුර තුළම අවාසනාවන්ත ජීවිතයක් ගෙවන්න වෙනවා.
මව්පියන් සමීපව හිටියොත් දරුවන්ට ඉතාමත් වටිනවා. තමන්ගේ ගැටලු අදහස් බෙදා හදා ගන්න පිරිසක් දරුවන්ටත් අවශ්‍යයි. තමන්ට ආදරය කරන පිරිසක් ඇති බව දරුවා තේරුම් ගන්නවා. ගැටළුවක් ඇති වුන විට මේ පිරිස සමග කතා බහ තුලින් හිත නිදහස් කර ගන්න පුලුවන්. අද හැම නිවසකම මව්පියන් සහ දරුවන්ගේ ලොකුම ගනු දෙනු කරුවා විද්‍යුත් නාලිකාවන් සහ අන්තර්ජාලයයි.
දරුවන් හුදෙකලා චරිත වීම ඉතාම භයානකයි. දුෂ්කර ගම්මානයක අවුරුදු 13 ක පිරිමි දරුවෙක් විසින් අවුරුදු 11 ක ගැහැනු දරුවෙක් දූෂණය කලා. මේ අපයෝජනයේ හේතු හොයද්දී පිරිමි දරුවා කිව්වේ තාත්තා බලපු සී. ඩි තැටියක තිබුන ලිංගික කටයුතු අත්හදා බැලීමට ගිය ගමනේදී ගැහැනු දරුවා නොදැනම ගොදුරක් වුන බවයි. තාත්තෙක් විදිහට ඔහු දරුවන් සමග කාලය ගෙවනවා නම් වගේම අසභ්‍ය තැටි නිවසේ නරඹන කටයුත්ත නොකලා නම් ගැහැනු දරුවාගේ ජීවිතය විනාශ වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. තාත්තා කියන චරිතය බොහොම ගාම්භීර විය යුතුයි. අම්මා වුනත් එහෙමයි. ඉස්සර කාලයේ කියන්නා වගේ ඔවුන් තැන්පත් චරිත විය යුතුමයි. මේ තැන්පත් බව සමග දරුවන් වෙනුවෙන් තමන්ට තිබෙන යුතුකම් සහ වගකීම් ඔවුන් හඳුනා ගන්නවා. දරුවන් හුස්ම ගන්න හැටි පවා තමන්ට දැනෙන තරමට දරුවන්ට සමීප විය යුතුයි. එතකොට වැරැදි හැසිරීමක් වෙනුවෙන් දරුවන්ට යොමු වීමට ඉඩක් නැහැ.
අද මව්පියන්ගෙන් මේ තත්වය ගිලහෙන්නේ ඇයි? අතීතයේ පැවැති සරල ජීවන රටාව අද ඇත්තමට වෙනස්. ඒ තත්ත්වය වලක්වන්න බැහැ. කාලය සමග සිද්ධ වෙන වෙනස්කම් අනුව අපේ ජීවිතය හැඩ ගසාගැනීම අමුත්තක් නොවෙයි. අද දරුවන් වෙනුවෙන් මව්පියන්ගේ ලොකුම අවධානයක් තිබෙන්නේ අධ්‍යාපනයට පමණයි. අධ්‍යාපනය අවශ්‍යයි.ඒත්…
කටපාඩම් කර ගත් විෂය කරුණු ගොනු කරල විභාගය සමත් වුනා කියන්නේ ජීවිතය ජයගත්තා නොවෙයි. ඉගෙනුම සමග හැදියාව බද්ධ වෙන්න ඕනේ. අද මව්පියන් තරඟයට දරුවන් කුලප්පු කිරිම හැර එතැනින් ඔබ්බට කිසිම දෙයක් නැහැ. දරුවා දිහා බලන්නේ විභාග රාමුව ඉලක්ක කර ගෙන පමනයි. මොන විදිහට හෝ මව්පියන්ගේ ධෛර්යෙන් විභාග සමර්ථ වුනාට ඔවුන්ට ජීවත්වෙන්න, පරිසරයේ ලස්සන දකින්න…අවස්ථාව ලබා දෙන්නේ නැහැ. දරුවන්ගේ නිර්මානශීලිත්වයක් තබා ඇතැම් දරුවන්ට හිනාවෙන්නත් උගන්වන්න වෙලා.
උදාහරණයක් ගත්තොත් බදුල්ල ප්‍රදේශයේ අවුරුදු අටක දරුවෙක් හිටියා. කන්න බොන්න පවා නුහුරුයි. සතෙකුගේ පිළිවෙලට කෑම බීම. හුරතල් වයසේ මේ දරුවාගේ මුහුනේ හිනාවක්වත් නැහැ. මව්පියන්ගේ සමාජ තත්වය දරුවන්ගේ සෞන්දර්යාත්මක වටපිටාවට බලපාන්නේ නැහැ. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන්නට තරම් ඉහළින් උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලත් වුන වීදි දරුවෝ ඉන්නවා. මධ්‍යම පළාතේ පැවැත්වුන චිත්‍ර තරඟයකින් මුල් ස්ථාන තුනම ලැබුනේ වීදි දරුවන්ට. ළමා නිවාසවල හැදෙන වැඩෙන දරුවන් අතරත් විශේෂ හැකියාවන් තිබෙනවා.
වැරැදිකළ දරුවන් ඒවායෙන් මුදවා ගැනීම ක්‍රම දෙකකට සිද්ධ වෙනවා.
- ආයතනග
- සමාජගත
ආයතනගත කිරීමේදී ඒ වෙනුවෙන් අනුමත පාසල් තිබෙනවා. දරුවන් පුනරුත්ථාපනය මෙහිදී සිද්ධ වෙනවා.
සමාජගත කිරීමේදී දරුවා නිවසේ හෝ පවුලේ සමීප අයෙකුගේ නිවසේ සිටියදී සමාජසේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් යටතේ පවත්වන උපදේශන සේවාවන් සෘජු අධීක්ෂණයක් පවත්වාගෙන යමින් දරුවන්ගේ වැරදි පුරුදු වලින් ඔවුන් මුදවා ගන්නවා.
ලෝකයට අවශ්‍ය වෙන්නේ සුචරිත දරුවෝ . ඔවුන් අද දවසේ නොමග ගියත් හෙට සුචරිත පිරිසක් විදිහට සමාජයට එක් වීමට බාධාවක් නැහැ. නොමග ගිය දරුවන් සුමගට යොමු කිරීමට වඩා දරුවෙක් හොඳින් හදා ගැනීම නිසා දරුවාට විශාල ගරුත්වයක් ලැබෙනවා. මේ නිසා මව්පිය ආදරය, ආරක්ෂාව සහ රැකවරණය ලබා දෙමින් හොඳ දරුවෙක් හදා වඩා ගතහොත් ඔවුන්ගේ ගුණ සුවඳ ලෝකයට ශාන්තියක් වෙනු ඇත. මේ නිසා දරුවෙක් වෙනුවෙන් ජීවිතය කියා දෙන න්‍යාය පවතින්නේ විෂය මාලාවේ නොව අම්මා සහ අප්පච්චී නම් වූ බලගතු චරිත තුළය.
දැනුවත් කළේ,
ගාමිණී විජේරත්න මහතා
මූලස්ථාන පරිවාස නිළධාරී
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව
මහනුවර
සටහන,
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this