ඔක්තෝබර් 23, 2025
Depression Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

බරපතල රෝග සහ විශාදය පරදන්න, ජීවිතය මේ වගේ ගොඩනගන්න

හදවත් රෝගයක් හෝ ආඝාත (Stroke) තත්වයක් ඇති වී සුවය ලැබුවත් එතැනින් පසුව එම රෝගීන්ට උක්ත රෝග තත්වයෙන් අපහසුතාවයක් නැති වුනත් මානසික ලෙසින් විශාල පසුබෑමකට පත් වෙන (Psychological Depression) බැව් බොස්ටන් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි දුරටත් අදහස් දක්වන අධ්‍යයනයේ ප්‍රධානී මහාචාර්ය මාග්‍රට් කෙලී හේස් සඳහන් කරන්නේ ආඝාතයකින් පසුව විශාදය තත්වයට පත් වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම විශාදයට පත් වුන රෝගීන් බොහෝ දෙනෙක් ඔවුන් පෙර සිටි තත්වයට පත් වීමට පවා උනන්දුවක් නොදක්වන අතර ඒ වෙනුවෙන් ලබා දෙන වෛද්‍ය උපදෙස් පවා අනුගමනය නොකරන තැනට පත් වී සිටිනවා විය හැකියි. නිතරම වෙහෙසකාරී මානසික තත්වයකින් පසු වෙන ඔවුන් ආහාර ගැන පවා උනන්දු නොවන අතර දුම්පානය වැනි අහිතකර පුරුදුවලින් පවා මිදෙන්නට කිසිදු ලෙසකින් උත්සාහයක් නොගන්නා බැව් මෙම රෝගින්ගේ සායනික ඉතිහාසය තුලින් හඳුනා ගත් හැසිරීම් රටාවක් බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.

  • ශාරීරික ආබාධ නැතැත් විශාදය ඇති විය හැකියි

ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට දස ලක්ෂ 17 ක් පමණ දෙනා ශාරීරික ආබාධයක් ඇතුව හෝ නැතුව විශාදය තත්වයට පත් වෙන අතර ඔවුන්ගෙන් 80 % ක් පමණ දෙනා සාර්ථක ප්‍රතිකාර මත සුවය ලබනවා. තුනෙන් දෙකක් පමණ රෝගීන් විශාදය තත්ත්වයට ප්‍රතිකාර නොගෙන සිටියත් සුළු සුළු හෝ මධ්‍යස්ථ විශාදය තත්වයක මටට්මේ පසු වෙන රෝගීන්ට ඖෂධ හා සමානව උපදේශන සේවාවන්ද අවශ්‍ය අතර තදබල විශාදය රෝග තත්වයේ පසු වෙන රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය බවත් ඇමරිකානු හෘද රෝග සංගමයේ ජේම්ස් බුලුසෙන්තල් සඳහන් කරනවා. විශාදය සමග ජීවත් වීම නිසා අනාගතයේදී මාරාන්තික ප්‍රතිඵල පවා ඇති වීමට ඉඩ ඇති බවත් මතක තබා ගත යුතුයි.

  • හදවත් සැත්කම් වලින් සුවය ලැබුවත්

හෘදයාබාධයක් වැළඳීමෙන් සුවය ලබන රෝගීන්ගෙන් 30 % ක් සහ ආඝාත තත්වයට පත් රෝගීන්ගෙන් 60% ක්ම නැවතත් සාමාන්‍ය තත්වයට පත් වෙන තෙක් විශාදය තත්වයකින් පසුවේ. මෙවැනි රෝග තත්වයන්ට පත් රෝගීන් ප්‍රතිකාර ලබන කාලයේදී පවා විශාදය තත්වයට පත්ව සිටින අතර ඇතැම් රෝගීන් විශාදය රෝග වෙනුවෙන් සායනික සහ උපදේශන ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දුවක් දක්වන බව ෆ්‍රැමින්හැම් හෘද අධ්‍යාතනය විසින් පෙන්වා දී තිබෙනවා.

  • ශාරිරික සෞඛ්‍යයට බලපානවා

ශාරීරික සෞඛ්‍ය තත්වය මුල් කර ගෙන මානසිකව රෝගී තත්වයට පත් වීම නිසා මෙම රෝගීන්ගේ ශාරීරික රෝග තත්වයන්ට පවා බලපෑම් ඇති වෙන බැව් බැල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සිල්වියා ජී සිම්ප්සන් විසින් සඳහන් කරනවා. විශාදය බොහෝ විට පැහැදිලිව පෙනනේනේ නැහැ. එය රෝගියා තුළ සැඟවී තිබෙන අතර වෙනත් රෝග තත්වයක් ලෙසින් ඉස්මතු වීමට හැකියාව තිබෙනවා.

බරපතල රෝගාබාධයන්ගෙන් පෙලෙන රෝගීන් අතර විශාදය රෝග තත්වය දක්නට ලැබෙන බව හඳුනා ගත්තේ ඉතා මෑතකදීය. සමහර විට උක්ත රෝග තත්වයන්ට පත් රෝගීන්ගේ පසුකාලීන හැසිරීම් රටාවන් තුලින් ඒ බැව් පැහැදිලි වී තිබෙනවා පමණක් නොව, නවීන තාක්ෂණය සහ ප්‍රතිකාර මගින් සුවය ලැබුවත් විශාදය රෝග තත්වය නිසා ඔවුන්ගේ මානසික සුවතාවයක් ප්‍රදර්ශනය නොවන බවට විවිධ අධ්‍යයනයන් මගින් හඳුනා ගත් තත්වයක් විය.

  • මානසිකව සුවපත් කිරීම

රෝග තත්වයට පත් පුද්ගලයා එම රෝග තත්වයෙන් සුවය ලැබුවත් ඔහු මානසිකව සුවපත් චරිතයක් නොවුනොත් එතැන ඇති ගැටලුකාරී තත්වයටත් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. මේ නිසා මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය ( DART ) විසින් මානසික සෞඛ්‍ය පිළිබඳව පුද්ගලයන් දැණුවත් කිරීම පිළිබඳව වැඩ සටහන් දියත් කර තිබෙනවා.ඒ අනුව සෞඛ්‍ය උපදේශකයින්, නිදන්ගත රෝගාබාධවලින් පසුවෙන සහ එම රෝග තත්වයන් වෙනුවෙන් විකල්ප ප්‍රතිකාර ලබා සුවය ලත් සහ සුවය ලබමින් සිටින රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැණුවත් කිරීම ආරම්භ කර තිබෙනවා. අනෙකුත් තත්වයන් සමග ඇති වෙන විශාදය, වෙනත් ආබාධයන් තිබියදී පවා ප්‍රතිකාර කළ යුතු රෝගී තත්වයක් බැව් ඩැරල් ජී රිජියර් සඳහන් කරනවා.

ඒ නිසා බරපතල රෝගාබාධ තත්වයන්ගෙන් සහ විශාදය වැනි මානසික රෝග තත්වයන්ගෙන් ආරක්ෂා වීමට නම් ඔබේ ජීවන රටාව මේ අන්දමින් ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාවය ඇමරිකානු හෘද රෝග සංගමය විසින් පෙන්වා දී තිබෙනවා.

  • සමබල ආහාර රටාවක් ගැන උනන්දු වෙන්න
  • දිනපතා ව්‍යායාමවල යෙදෙන්න
  • මද්‍යසාර සහ දුම්පානයෙන් දුරස් වෙන්න
  • ශ්වසන ව්‍යායාමවල යෙදෙන්න
  • විනෝදාංශයක නිරත වෙන්න
  • ප්‍රමාණවත් නින්දක් ලබන්න.
  • දුක/වේදනාව අන්‍යයන්සමග බෙදා ගන්න හෝ සටහන් කරන්න.

සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality