තමන්ගේ සිහින, ඉලක්ක සහ අරමුණු පසෙකට දමා, තමා ආදරණීයයන්ගේ සිහින සැබෑ කර දීම වෙනුවෙන් තම ආත්මය ආයෝජනය කරන උතුම් චරිතයයි අම්මා.
දරුවන්ට ඇය අම්මා වන සේම තම ස්වාමියාට බිරිඳක් වෙමින් ද ඇය ඉටු කරන මෙම ආත්මීය කැප කිරීමෙහි වටිනාකම හුදෙක් මවකගේ හෝ බිරිඳකගේ යුතුකම් ලැයිස්තුවක් පමණක් සේ දැකීම සමාජයෙන් ඇයට සිදුවන අසාධාරණයක් සේම, ඇය විසින් ඇයගේම වටිනාකම වටහා නොගන්නා තත්ත්වයකට පත් වීමකි. මෙය, ඇගේ අමිල සේවය නිසි පරිදි අගය නොකිරීම තුළින් ඇගේ ස්වයං අගය (Self-worth) පවා යටපත් කර දැමීමක් ලෙස හැඳින්විය හැකිය.
දරුවෙකුගේ ජීවිතය ඉහළටම ඔසවා තබන ඇගේ මෙම දායකත්වය, පියෙකුගේ එකී දායකත්වයට වඩා ඉහළින් අගය කළ යුතු වන්නේ සාමාන්‍යයෙන් පියවරුන්ට වඩා මව්වරුන් තම පුද්ගලික සිහින සහ වෘත්තීය අභිලාෂයන් අතහැර දමා ගෘහණියක් ලෙස දරුවන් සහ තම පවුල වෙනුවෙන් නිවසේ රැඳී සිටීමට තෝරා ගැනීම බහුලව දැකිය හැකි තත්ත්වයක් නිසා ය. මෙම තෝරා ගැනීම, තාවකාලික එකක් නොව, බොහෝ විට දීර්ඝ කාලීන කැපවීමක් වන අතර, එහි බලපෑම සමස්ත පවුලටම අතිශයින් වැදගත් වේ.
කාන්තාවක් තම සියලු හැකියාවන්, අත්දැකීම් සහ උසස් අධ්‍යාපන සුදුසුකම් පවා පසෙකලා නිවස තුළ රැඳෙමින්, තම ස්වාමියාට රැකියාව හෝ ව්‍යාපාර කරගෙන යෑම සඳහා දරුවන්ගේ එදිනෙදා වගකීම්වලින් නිදහස් කිරීම නිසා බොහෝ විට පිරිමි පාර්ශවයට තමාගේම මූල්‍යමය, සමාජමය සහ වෘත්තීය අරමුණු ඉටුකර ගැනීම සඳහා තවදුරටත් අවස්ථා සැලසෙනවා. මෙම සහාය තුළින් පවුලේ ආර්ථික ස්ථාවරත්වය සහ පියාගේ වෘත්තීය දියුණුව නිසැකවම වේගවත් වේ.
එය එසේ වුවත්, මේ අතරතුර කාන්තාව දරුවන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, මානසික සංවර්ධනය සහ දරුවන් සිය අරමුණු කරා රැගෙන යෑමට අවශ්‍ය එදිනෙදා වැඩ කටයුතු ඇතුළු නිමක් නැති රාජකාරී ගොන්නකට මැදි වේ. පියාගේ රාජකාරියේදී එක් රාජකාරියක් වුවත් මවකගේ රාජකාරීයේදී රාජකාරී බොහොමයක් වේ.
ගෘහණියක් ලෙස ඇය කරන බොහොමයක් රාජකාරී වන කෑම පිසීම (පෝෂණවේදිනියක්), රෙදි සේදීම, ගේ දොර පිරිසිදු කිරීම (ගෘහ කළමනාකාරිනියක්), දරුවන්ගේ අධ්‍යාපන කටයුතු (ගුරුවරියක්), බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමු කිරීම සහ රැගෙන යාම (ප්‍රවාහන සේවාව), පවුලේ සාමාජිකයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වීම (හෙදියක්) සහ පවුලේ අය අතර මානසික සහයෝගය පවත්වා ගැනීම (මනෝ උපදේශිකාවක්) ආදිය කෙරෙහි ඇය දක්වන මානසික සහ ශ්‍රම දායකත්වය කිසිදු ජාතික හෝ ගෝලීය ආර්ථික දර්ශකයක සටහන් වන්නේ නැත. ඒ නිසාම එම කාර්යභාරයට සෘජු වාණිජමය වටිනාකමක් සහිත බව සමාජය පහසුවෙන් සලකන්නේ ද නැත. ඇත්ත වශයෙන්ම, මෙම සියලු සේවාවන් බාහිරින් ලබා ගැනීමට සිදු වුවහොත් පවුලකට දැරීමට සිදුවන අති විශාල මූල්‍යමය පිරිවැය බොහෝ විට සමාජය නොසලකා හරියි.
ඒ කෙසේ වුවද, සමාජය මෙන්ම ගෘහණිය ද තමන්ගේ කාර්ය භාරයේ ඇති සැබෑ වටිනාකම නැවත සිහිපත් කර ගැනීම වටී.
නිකමට සිතන්න, ඔබ මේ ගෘහණියගේ/මවගේ කාර්යභාරය අතහැර කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වන්නේ නම්, ඔබ දවස තුළ මේ ලෝකයට කිසියම් ආර්ථිකමය දායකත්වයක් ලබා දෙන බව ඔබට හැගෙනු ඇත. ඔබ සේවය කරන්නේ රෙදිපිළි කම්හලක නම් ඔබගේ නිෂ්පාදනය කිසියම් ඇඟලුම් ප්‍රමාණයක් විය හැකියි. නොඑසේනම් වෙනත් ක්ෂේත්රයක නම් කුමක් හෝ නිෂ්පාදනයක් හෝ සේවාවක් විය හැකියි. එය එසේ වුවද ඒ නිෂ්පාදනය කුඩා කමිසයක් වුවත්, ඒ විශාල රොකට්ටුවක් වුවත් ඒ කිසිවකට වඩා ඔබ නිසි මඟ පෙන්වීමක් යටතේ මේ ලෝකයට, සමාජයට තිළිණ කරන මිනිස් ජීවියා එනම් ඔබගේ දරුවා, ඒ සියල්ලට වඩා මෙලොවට වටිනාම සම්පතක් වනු ඇත.
මේ පෘථිවි තලය තුළ කොතෙකුත් ගහකොළ, සතා සිව්පාවන් පැවතුණත්, ඒ සියල්ලන්ගේම පෙරී ආ ශ්‍රේෂ්ඨතම විඤ්ඤාණය මිනිසායි. මිනිසා යනු සොබාදහමේ පැවැත්මේ උත්කර්ෂවත්ම අවස්ථාවයි. එහෙයින් මනුෂ්‍ය ප්‍රාණියෙකුගේ ජීවිතය ඉහළට ඔසවා තබන්නට ඔබ දෙන දායකත්වය, හුදු පරිභෝජන භාණ්ඩයක් නිර්මාණය කිරීමට ඔබට ලැබෙන දායකත්වයට වඩා උතුම් වේ, ශ්‍රේෂ්ඨ වේ.
සැබවින්ම, එම සේවාව අමිලය. අනාගතයේදීවත් එය කිසිදු ආර්ථික දර්ශකයකට නැගිය යුතු නොවේ. එම නිසා මවක,බිරිඳක, ගෘහණියක ලෙස තමාගේ කාර්යභාරයේ වටිනාකම ඔබට අමතක වී ඇත්නම්, ඔබ ඒ පිළිබඳව නැවත මොහොතක් ගැඹුරින් සිතා බැලිය යුතුමය.
හොඳම කාන්තා ව්‍යවසායකත්වය තෝරා ගැනීමට අපට නොයෙකුත් දර්ශක යොදාගත හැකිය. ඒ නිසාම ඒ වෙනුවෙන් සම්මාන ද පිදිය හැකිවේ. එහෙත් මවකගේ, බිරිඳකගේ ආත්මීය ආයෝජනයේ දිග පළල මැනීමට සමත් දර්ශක මෙලොව නැත. ඒ ආයෝජනයේ ප්‍රතිඵල මැනීමට ද දර්ශක නොමැත. මන්ද, ඇගේ ප්‍රතිඵලය යනු මනින්නට බැරි තරම් විශාල වටිනාකමකින් යුතු සාර්ථක මිනිස් ජීවිතයක් වන බැවිනි.
සටහන
චතුරිකා දහනායක
Leave feedback about this