කාන්තාවක් ලෙස සමාජයේ නම් ලබන ඔබගේ ආදරණීය බැඳීම සුන්දර වූ විවාහයයි. විවාහක කාන්තාවක් ලෙස ඔබේ ජීවිතයේ ලැබිය හැකි සුන්දරම අත්දැකීම මව් පදවිය ලැබීමයි. මේ සා විශාල වූ භාරදූර වගකීමකට, ජීවිතයේ සොඳුරු පරිවර්තනයකට මුහුණ දීමට ඔබ සූදානම්ද? පවුල තුළ වඩා සාර්ථක භූමිකාවක් ගෙනහැර පෑමට ඔබට හැකියාවක් පවතීද?
සැබවින්ම මව්පදවිය ලැබූ ඔබ ඒ සඳහා ඕනෑවටත් වඩා සූදානම් වීම වැදගත් වනවා. මන්ද යත් පවුල තුළ මවක ලෙස ඔබට ඔබේ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට සිදු වෙන නිසයි. සිතුවිලි වගේම ශාරීරිකව ඇතිවන වෙනස්කම් ද සමගින් ගැහැණු දරුවකු ලෙස ඔබ පරිවර්තනයකට ලක්වෙනවා. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ඔබ ආදරණීය පෙම්වතියක් ලෙසත් ඉන් අනතුරුව ආදරණීය බිරිඳක ලෙසත් සමාජයට මුසු වෙනවා. සැබවින්ම පවුල තුළ ඔබගේ භූමිකාව ආරම්භ වන්නේ ඔබ ආදරණීය බිරිඳක ලෙස සැමියා වෙත දක්වන ආදරණීය බව, කාරුණික බව, මිත්‍රශීලි බව මෙන්ම බුද්ධිමත්ව ගැටලු නිරාකරණය කරගැනීම යන කරුණු කාරණාත් සමගයි. කාන්තාව මවක් වීමත් සමගම ඇයගේ කාර්යබහුලත්වය වර්ධනය වනවා සේම ඇය වෙත වගකීම් පැවරීම ද වඩා පුළුල් වෙනවා. එය යම් අවස්ථාවක ඇයව විඩාවට පත් කරන්නක් ද විය හැකියි. නමුත් ඔබ කාන්තාවක් ලෙස සියලුම අභියෝගවලට මුහුණදී එම අභියෝග සාර්ථකව ජයගත යුතු වෙනවා.
කාන්තාව එසේත් නැත්නම් ‘මව’ කියන චරිතය සුවිශේෂීයි. පිරිමියෙකුට වගේ නෙවෙයි, විවිධ පැතිකඩ ඔස්සේ ඇයට තම මවගේ භූමිකාව තුළ කටයුතු කරන්නට සිදුවෙනවා. තමන්ගේ පවුල් ජීවිතය, රැකියාව, තම දරුවන්ගේ අවශ්‍යතා, දරුවන්ගේ පෝෂණය, පවුලේ නිරෝගී පැවැත්ම, දරුවන් ආරක්‍ෂා කිරීම් මෙන්ම කාන්තාවක් ලෙස තමා පිළිබදවත් අවධානය යොමු කිරීමත් ඒ අතර වෙනවා. නමුත් කාන්තාවක් ලෙස ඔබ වඩා ශක්තිමත්. සැබවින්ම එය අතිශයෝක්තියක් නොවන නමුත් සියලු දෙනා හොඳින් දන්නා කාරණයක්. සැබවින්ම ඔබ මවක් නම් මේ සියලුම අභියෝග ජය ගැනීමේ බලයක් ශක්තියක් ඔබ සතු වෙනවා. නමුත් එය කාන්තාවක් ලෙස ඔබට ඇති ජවය සහ අධිෂ්ටානය එකට මුසුවීමක් මිස අදෘශ්‍යමාන බලවේගයක් නොවෙයි.
- දරුවන් වෙත වගකීම් ඉටු කිරීම
- දරුවන්ගේ හොඳම ගුරුවරිය වීම
- දරුවන්ගේ හොඳම මිතුරිය වීම
- දරුවන්ගේ පෝෂණය
- යහපත් ආකල්ප, කල් ක්‍රියා ඇති දරුවෙකු සමාජගත කිරීම
- දරුවාගේ අධ්‍යාපනයට රැකුලක් වීමයි.
ආදර්ශමත් මවක් වන්න. දරුවන් හැමවිටම තවත් කෙනෙකු අනුකරණය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. එය දරුවන්ගේ ස්වභාවය. මේ නිසා ඔබගේ හැසිරීම ඉතා නිවැරදිව මෙහෙයවන්නට ඔබ වගබලා ගත යුතුයි. දරුවන්ට අවවාද කිරීමට ප්‍රථමයෙන් ඔබ නිවැරදි විය යුතුයි. ඔබ නිවැරදි මඟ පෙන්වන්නෙකු වීම තුළ දරුවා ද එම මාවතෙහිම ගමන් කිරීම ඉබේම සිදුවේ. වැඩිහිටියන්ට ගරු කිරීම, අන් අයට උදව් කිරීම, සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය ඔබේ දරුවාට කියා දීමට ඔබට හැකියාවක් තිබිය යුතුයි.
ඔබේ දරුවා ඔබේ සෙවණේ වැඩෙන වටිනා පැලෑටියකි. එයට හොඳින් අතුපතරලා වැඩෙන්නට අවැසි වටපිටාව ඔබ සකසන්න. අනාගතයේ රූස්ස ගසක් වන ඒ පැලෑටිය මුළු ලෝකයම සුවඳවත් කරන බවට සැක නැත.
සටහන
චමිලා සෙනෙවිරත්න
Leave feedback about this