ජූනි 9, 2025
Happy family Parent Pulse Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

මානසික සුවතාවය රැකගන්න මේ කරුණු ගැනත් තව වරක් සිතන්න

මොන දේ තිබුණතු හිතේ සතුට නැත්නම් වැඩක් නැහැ.. අපි නිතර අහන දෙයක් තමයි ඒ. අපේ මානසික සිවතාවය රැක ගන්න උනන්දු වෙන්න ඕනේ අපිමයි. අන්න ඒ නිසාම මානසික සුවතාව රැකගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා කිහිපයක් මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් මේ කරුණු ගැල සැලකිලිමත් ද ?

  • ආහාර රටාව

අපේ ආහාර රටාවත් මානසික සෞඛ්‍යයට බලපානවා. අද බොහෝ දෙනාගේ ආහාර රටාව ක්ෂනික ආහාර රටාව සමග මුසු වෙලා. එහෙම නැත්නම් සකස් කළ ආහාර වලින් සමන්විත වෙනවා. අලුත් එළවලු ,පළතුරු ආහාර වේලට ඇතුලත් වෙන්නේ නැහැ. කොළ පැහැති එළවළු, මත්ස්‍ය ආහාර සහ පළතුරු මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම යෝග්‍යයි.

  • ව්‍යායාම

ව්‍යායාම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතා යෝග්‍යයි. ව්‍යායාම නිසා මොළයට ඔක්සිජන් පරිවහනය ඉතාම යහපත් අන්දමින් සිදු වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුනත් ඇවිදිම, පිහිනීම, ස්වායු ව්‍යායාම , සුම්බා වැනි ව්‍යායාම මානසික සුවතාවය පවත්වා ගැනීමට ඉතාම වැදගත්.

  • ජලය

හොඳින් ජලය පානය කළොත් කිසිදු වැය ශීර්ෂයක් නොමැතිව මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. පුද්ගලයෙක් විසින් දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීම අවශ්‍ය වෙනවා. ඒත් අපි බොහෝ දෙනා විසින් මේ තත්වය ගැන සැලකීමක් කරන්නේ නැහැ. සිරුරේ විජලන තත්වය වලක්වා ගැනීමට වගේම මානසික ප්‍රබෝධයටත් ජලය ඉතාම වැදගත්.

  • විනෝදාංශ

අපේ ජීවිතයේ රටාව සමග හිතටත් යම් සතුටක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් විනෝදාංශයක් තෝරා ගන්න. විනෝදාංශයක් වෙනුවෙන් මුදල් අවශ්‍ය නැහැ. ඔබේ පුංචි ගෙවත්තේ එහෙම නැත්නම් කොන්ක්‍රිට් ස්ලැබ් එක මත පුංචි පැලයක් හදන්න. පොහොර උරයක වුනත් කමක් නැහැ. එළවළු පැලයේ අස්වැන්න ලැබෙන විට එහෙම නැත්නම් මල් පැලයේ මලක් පිපෙන විට එය ඔබ සතුටට පත් වේවි.

  • සුරතල් සතුන්

ඔබේ නිවසේ සුරතල් සතෙකු ඇති කරනවා නම් දවසේ යම් කාලයක් නිවසේ සුරතලාගේ කටයුතු වෙනුවෙන් වැය වෙනවා. ඒ වගේම සුරතලාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂනය කිරීමත් මානසිකව විශාල සතුටක් ලබා දෙන සිදුවීමක් බැව් අපි අත්දැකීමෙන්ම දන්නා දෙයක්.

  • සංචාරය, විනෝද චාරිකා

සංචාරයේ යෙදීම වගේම විනෝද චාරිකාවන් මගින් අපේ මනසට නැවුම් අත්දැකීම් ලබා ගන්න පුලුවනි. අද බොහෝ ආයතන විසින් තම ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවය වෙනුවෙන් සේවකයන්ගේ මානසික සතුට ගැන වැඩි අවධානයක් දක්වනවා. ඒ නිසාම ආයතනයේ සුබසාධක සංගමය මගින් වාර්ෂිකව චාරිකා සැලසුම් කිරීම ආයතනයේ වාර්සික සැලසුමේ කොටසක්. චාරිකාවන් නිසා සේවකයන්ගේ සතුට, සමගිය වගේම අලුත් අත්දැකීම් ලබා ගන්නවා. ආයතනගත එකාකරි පරිසරයෙන් මිදී සිතට සතුටක් ලැබෙන මෙවැනි කටයුතු නිසා සේවකයන්ගේ මානසික සතුට ආයතනයේ නිෂ්පාදන ඵලදායිතාවයට වැඩි වටිනාකමක් ලබා දෙනවා.
වියපත් අයගේ මානසික සෞඛ්‍ය ගැනත් වැඩි අවධානයක් ලබා දෙන්න..

ජෛව විද්‍යාත්මකව අපේ මනස වයසට නොගියත් කය වයසට යනවා. අද න්‍යෂ්ටික පවුලක් තුළ කාලයත් සමග වැඩිහිටියන් හුදෙකලා වෙනවා. ඔවුන්ගේ දරු මුනුපුරන් දුරස් වීම කාලය සමග සිදු වෙන සාමාන්‍ය සිදුවීමක් වුනත් ඒ නිසාම වියපත් මව්පියන්ගේ ශක්තිය නැති වෙනවා. ඇතැම් දෙමව්පියන් ආර්ථික ලෙසින් අසරණ වෙනවා. තවත් විටෙක ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙක් නැති වෙන්න පුලුවනි.

පරිගණක ක්‍රිඩා වැඩිහිටියන්ට හොඳයි. දරුවන් විද්‍යුත් උපාංඟ සමග නිරත වීම සුදුසු නැති වුනත් වේගවත් පරිගණක ක්‍රිඩා නිසා වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජය වෙනවා.

වැඩිහිටියන් රැකබලා ගැනීමේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීමත් වැදගත් වෙනවා. දරුවන් වගේම වැඩිහිටියන්ටත් යම් වයසකදී ඔවුන් රැකබලා ගැනීමට පිළිසරණක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක්. ඒත් අපේ රටේ සංස්කෘතිය තුළ වැඩිහිටියන් ජීවිතාන්තය දක්වාම දරුවන්ගේ නිවෙස් තුළ සිටින ගතානුගතික සංකල්පයක් තිබෙනවා. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් පුංචි සමාජයක් අවශ්‍යයි. එවිට ඔවුන්ට පොත් පත් කියවීම, කතා කරන්න, විනෝදාංශයක යෙදෙන්න වගේම තමන්ගේ කායික සෞඛ්‍ය ගැනත් විවිධ අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව සැලසෙනවා.

සමිති සමාගම් අවශ්‍යයි. මිනිසා කියන්නේ සමාජ ජීවියෙක්. ඔවුන් සමාජය සමග ජීවත් විය යුතුයි. අද සමාජා ඔස්සේ අතාත්වික (virtual) මිතුරන් සිටියාටම ප්‍රමාණවත් නැහැ. අපට සෘජු වශයෙන් ඇස් (eye contact) සම්බන්ධතාවයෙන් සම්බන්ධ විය හැකි මිතුරන් අවශ්‍යයි. එතැන අමුතුම ප්‍රාණවත් බවක් තිබෙනවා. virtual සමග සම්බන්ධතාවය නිසා අපේ ජීවිතයේ දුක සැප අවංකවම බෙදා ගැනීමට හැකියාවක් නැහැ.

  • හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි

අපේ හැම දෙයකටම මනස බලපානවා. නමුත් එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. පරිසරය, රැකියාව, අධ්‍යාපනය වැනි කරුණු මත එක් එක් අය ඒවාට මුහණ දෙන පිළිවෙල වෙනස්. පුද්ගලයෙකුට යම් ගැටළුවක් ඇති වුනාම එය දරා ගෙන සිටීම එතරම් සුදුසු නැහැ. හිතේ පීඩනය නිදහස් කර ගැනීමට හොඳ සවන් දෙන්නෙක් අවශ්‍යයි. අපේ රටේ මානසික උපදේශන සේවාව ගැන ජනතාව දැණුවත් නැහැ. ඒ නිසා බොහෝ දෙනා මනෝවෛද්‍යවරුන් ගේ සේවාව ලබා ගන්නවා. මානසික සුවතාවය පිරිහිනු පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් වෙත යෑමටත් එතරම් උනන්දුවක් නැහැ. ඒ නිසාම ඔවුන් ගැටලු හිතේ තබා ගෙන විඳවනවා. නමුත් සක්‍රිය සවන්දීමක් නිසා පුද්ගලයාගේ මානසික ගැටුමට විසඳුම ඔවුන්ගෙන්ම ලබා ගන්නවා. කිසිම කෙනෙක් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ නැහැ.

  • ජීවන කුසලතාවයන් ගැන අවබෝධය

අපේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාදක වෙලා තියෙන්නේ විභාග මුල් කර ගෙන මිසක ජීවත්වෙන කලාව ගැන දරුවන් දැනුවත් කරන්න නොවෙයි. ගණිතයේදී දෙකයි දෙකයි එකතු කළාම හතර බව ඇත්ත. නමුත් ජීවිතයේදී ඇති වෙන ප්‍රශ්නවලට මෙවැනි පොදු උත්තර නැහැ. ඒ නිසා නිවරැදි වේලාවට නිවරැදි තීරණය ගැනීමේ හැකියාව සහ ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන ආකල්ප ගොඩ නැගීම මගින් මානසිකව නිරෝගි පරපුරක් බිහි කරන්න හැකියාව ලැබේවි.


සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality