සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගෙන යෑමේදී ශාක ප්‍රෝටීන් ප්‍රභවයන් අතර මාෂ භෝග සඳහා හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මේවා රනිල කුලයට අයත් වන අතර, ද්විපියලි ඇට ලෙසද හැඳින්වේ. මේවා විවිධාකාරයේ හැඩයන්ගෙන්, ප්‍රභේදයන්ගෙන්, ප්‍රමාණවලින් සහ වර්ණවලින් යුක්ත වීම විශේෂත්වයකි.
එමෙන්ම කාබෝහයිඩ්‍රේට්, තන්තු, කැල්සියම්, යකඩ සහ ක්ෂුද්‍ර පෝෂක රැසකින් අනූනය. සංතෘප්ත මේදය නොමැති වීම හේතුවෙන්, බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට මාෂ භෝග අත්‍යවශ්‍ය ආහාරයක් බවට පත්ව ඇත.
දේශීයව වගා කරන මාෂ භෝග අතර මුං ඇට, කවුපි, සෝයා, උඳු, තෝර පරිප්පු, සහ කොල්ලු ප්‍රධාන වේ. ඊට අමතරව කඩල, පරිප්පු, වටානා සහ කඩල පරිප්පු වැනි භෝග විදේශීය වශයෙන් මෙරටට ලැබෙන ඒවා වේ. මෙම සියලු මාෂ භෝගවල ඉහළ වටිනාකමක් පවතින බව සඳහන් කළ හැකිය.
නිරෝගී දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා, මාෂ බෝගමය ආහාරයකින් මේස හැඳි තුනක් වත් එක් ආහාර වේලකට එක් කර ගැනීම ඉතා වැදගත් වේ. සතියකට ආහාර වේල් තුනකට හෝ වැඩියෙන් මාෂ භෝගමය ආහාර එක් කර ගැනීම අනිවාර්යයෙන්ම නිර්දේශ කෙරේ. එනම්, දිනකට වේල් තුන සඳහාම (උදේ, දවල්, රාත්‍රී) මේස හැඳි 3 බැගින්, මුළු දවසටම මේස හැඳි නවයක් සතියේ දින හතේම ආහාරයට එක් කර ගැනීම ශරීරයට හිතකරය.
මාෂ භෝගවල ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වන අතර, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ ලවණ, සහ තන්තු වලින්ද ඉතා පොහොසත්ය. ශරීරයට අවශ්‍ය වන කැල්සියම්, යකඩ ඇතුළු ක්ෂුද්‍ර පෝෂක (සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක්, ෆෝලේට් ආදී) බහුලව මෙහි අඩංගු වේ. විශේෂයෙන්ම, මාෂ භෝගවල සංතෘප්ත මේදය නොමැති බැවින්, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, සහ පිළිකා වැනි බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට මෙය මහඟු පිටිවහලක් සපයයි.
මාංස ආහාරවල (මස්, මාළු, බිත්තර) ප්‍රෝටීන සහ සංතෘප්ත මේදය (ශරීරයට අහිතකර මේදය) වැඩියෙන් අඩංගු වේ. කෙසේ වෙතත්, ශරීරයට අත්‍යවශ්‍ය විටමින් B12 අඩංගු වන්නේ සත්ව ප්‍රෝටීනවල පමණක් බව සැලකිය යුතුයි. ශාක ප්‍රෝටීනවල (මාෂ භෝගවල) විටමින් B සංකීර්ණය ඇතුළු අනෙකුත් විටමින් වර්ග අඩංගු වේ. එසේම, මාෂ භෝග ආහාරයට එක් කර ගැනීමෙන් සිරුරට අවශ්‍ය වන ප්‍රමාණවත් තරම් කාබෝහයිඩ්‍රේට් ද පහසුවෙන් ලබා ගත හැකිය.
- මුං ඇට, කඩල, සහ කව්පි වැනි මාෂ භෝග තම්බා, පොල් සමඟ හෝ ලුණු මිරිසක් සමඟ හෝ තෙම්පරාදුවක් ලෙසට සකස් කර ගත හැකිය. එමෙන්ම, ව්‍යංජන, සලාද, කටගැස්ම, හෝ කෙටි ආහාර ලෙසටද මේවා සකස් කර ගත හැකිය.
- කොල්ලු තැම්බූ වතුර, මුං ඇට, හෝ කව්පි කැඳ ලෙස පානය කිරීම ඉතා ඉහළ ඖෂධීය ගුණයක් ගෙන එයි.
- මාෂ ඇට හොඳින් සෝදා, පිරිසුදු කර වේලා, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පිටි වන තුරු කුඩු කර ගත හැකිය. මෙම මාෂ පිටි භාවිතයෙන් රසවත් රොටි, පිට්ටු, ඉඳිආප්ප, සහ ආප්ප වැනි ආහාර සකස් කර ගත හැකිය.
- මුං ඇට කැවුම් සහ උඳු වළලු වැනි රසකැවිලි වර්ග මෙන්ම, උඳු පිටිවලින් සෑදූ තෝසේ, රොටි, සහ වඩේ
- පිටිකරගත් මාෂ බෝග පොල්, සීනි, සහ අවශ්‍ය නම් කිරි හෝ බටර් එකතු කර ගුණදායී ගුළි ඉතා පහසුවෙන් සකස් කර ගත හැකිය.
- ඇට කබලේ බැද කුඩු කර (හෝ පිටි බවට පත්කර කබලේ බැද) හෝ කබලේ බැදගත් ධාන්‍ය වර්ග කිහිපයක් එකට මුසු කොටද සකස් කර ගත හැකිය.
- නිවසේදී සැකසූ මෙම පිටිවලට කෘත්‍රිම රසකාරක යොදා නැති බැවින්, නරක් නොවී සතියක පමණ කාලයක් තබා ගැනීමට හැකියාව ඇත.
රාත්‍රියක් දියේ දමා පොඟවා ගත් මුං පියලිවල ජලය පෙරා, පිරිසිදු රෙදි කඩක හෝ කඩදාසියක අතුරා තැබීමෙන් ඒවා පැළ වී මුල් අදිනු (ප්‍රරෝහණය වනු) ලබයි. මෙසේ මුල් අද්දාගත් මුං පියලිවලින් රසවත් වෑංජන, අධික උෂ්ණත්වයෙන් නොපිසූ තෙම්පරාදු බත්, අමු සලාද, සහ සැන්ඩ්විච් සෑදිය හැකිය. ප්‍රරෝහණය වූ මුං පියලිවල යකඩ, විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, සහ කැල්සියම් බහුලව ඇත.
මාෂ භෝග යනු අපගේ ආහාර වේලට එකතු කර ගත හැකි අගනා පෝෂණ නිධානයකි. දිනපතාම මේස හැඳි නවයක් හෝ සතියකට අවම වශයෙන් වේල් තුනක්වත් මාෂ භෝගමය ආහාර (තැම්බූ ඇට, වෑංජන, හෝ කැඳ ලෙස) ඔබේ ආහාරයට එක් කර ගැනීමෙන්, ශරීරයට අවශ්‍ය වන උසස් ගණයේ ප්‍රෝටීන්, තන්තු සහ යකඩ පහසුවෙන් ලබා ගත හැකියි.
සංතෘප්ත මේදය රහිත මෙම ආහාර නිරතුරුව භාවිත කිරීම, බෝ නොවන රෝගවලින් ආරක්ෂා වී සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට ඔබ ගන්නා වැදගත්ම තීරණය වනු ඇත. නිරෝගී දිවි පෙවෙතක් වෙනුවෙන් අදම මාෂ භෝග ඔබේ ආහාරයට එක්කර ගන්න.
සටහන
උදානි ජයසේන
Leave feedback about this