Parent Pulse Blog කවි කථා මූනාරී පළමු කොටස
කවි කථා

මූනාරී පළමු කොටස

Munir Parent Pulse Article Featured Image

වාලපනම් මුදලාලිට දුවලා දෙන්නෙකුයි පුතෙකුයි හිටියා. වාලපනම්ගෙ ප්‍රියම්භිකාව පාර්වතී නැන්දා. නම වගේම තමයි ඉතින් පාර්වතී නැන්දගෙ ලස්සන. පාර්වතී නැන්දට තිබුණේ බටර් පාට හරිම පැහැපත් හමක්. වාලපනම් අංකල් නම් කලු මහත උස කෙනෙක්. ලොකු දුව ශාන්තා නම් පාර්වතී නැන්දගෙම කපාපු පලුව. සතීෂ් අයිය නම් ඔය පාට දෙක අතර වුණාට බාල දුව ලක්ෂ්මිට පාර්වතී නැන්දගෙ රූපෙ ලැබිලා තිබුණට වාලපලම්ගෙ පාට තමයි ලැබිලා තිබුණේ. ඔව් ලක්ෂ්මි කලු කෙල්ලෙක්. ආහ්…මට කියන්න අමතක වුණා වාලපනම්ගෙ නම සුබ්‍රමනියම්. සුබ්‍රමනියම් කළේ මහ පරිමාණයෙන් කෙසෙල් වෙළෙඳාම. ඒ නිසා මිනිස්සු හැමෝම වගේ කිව්වෙ වාලපනම් මුදලාලි කියලා නිසා සුබ්‍රමනියම්ටත් එයාගේ නම අමතක වෙලා ගිහින් තියෙන්න ඇති. අපේ ගෙදර තිබුණේ වාලපනම් ගෙදරට ඉස්සරහින්මයි. උදේ පාන්දර හතරට අපේ අම්මා පිරිත් දානවා. පහට විතර වාලපනම් ගෙදරින් බජන් දානවා. ඒ දවස් වල ඔය හඬ කරච්චලයක් කියලා හිතුනට ඇත්තටම දවසක පටන් ගැන්මට ඒ පිරිත් කොච්චර සුබයිද කියලයි දැන් හිතෙනවා. ඒ ගෙදර හැමෝම අපි එක්ක හිනා වෙලා කතා කළාට ලක්ෂ්මි නම් කවදාවත් මගේ මූණක් බැලුවේ නැහැ. මගේ විතරක් නෙමේ අපි කා එක්කවත් වැඩි කාතාවක් හිනාවක් වුණේ නැහැ. අඩුම තරමේ එයාලගෙ නෑයෝ එක්කවත් එයා හිනා වෙනවා කතා කරනව මං දැකලා නෑ.

පුහ්… තව පොත්ත රතට තිබ්බ නම් බැරියැ මේ ආඩම්බරේ ඉවසන්න මට කියලා මම හිතෙනව. ලක්ෂ්මි මට මොකුත් නොකළට මට ලක්ෂ්මිව පේන්න බෑ. දැක්කම හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නනෙ. සමහර එයාගේ ආඩම්බරකමට වටේ පිටේ ඉන්න හැමෝම එයාට බනින නිසා මගේ හිතේත් ඔය නොරිස්සුම තියෙන්න ඇති. අපේ අම්මත් කිව්වෙ වාලපනම් පොඩි එකී නළලට අරන් ඉන්නෙ කියලා. අපේ අක්කා වුණත් කිව්වෙ අපෝ ඔය වාලපනම් පොඩි හොල්මනගෙ අලි ඔලුව කියලා. අපිට අබ මල් රේණුවකවත් වැරැද්දක් නොකරපු මිනිස්සු ගැන අපිට මහා නොරිස්සුමක් තරහක් පේන්න බැරි හැඟීමක් ඇති වෙන වෙන්නෙ ඇයි මන්දා ? අපේ අක්කා තමයි ලක්ෂ්මිව මුනාරි කියලා රෙජිස්ටර් කළේ. දෙමළින් මුනාරි කියන්නෙ මොනරිට. පාර්වතී නැන්දා ලැජ්ජයි අහිංසකයි ඒ නිසා ආශ්‍රය කළේ අපේ ගෙදර උදවිය විතරයි. එයා ගෙදරින් එළියට ගියේ කෝවිල් යන්න විතරමයි. වාලපනම් ගෙදර හදන විශේෂ කෑම වගේම අපේ ගෙදර හදන විශේෂ කෑමත් ගෙවල් දෙක අතර හුවමාරු වුණා. සුරේෂ් අයියා ඒ දවස්වල කොම්පියුටර් කෝස් එකක් කරපු නිසා මමත් සුරේෂ් අයියා ඉන්න වෙලාවට එහෙ ගියා. ඒ ගියත් කවදාවත් මුනාරි මූණටම මුණ ගැහුනත් මාත් එක්ක හිනා වුණේ නැහැ. හැබැයි හිනා නොවීම මුණ බැලුවා. ඒ වෙනකොට මම හිටියේ දහය වසරේ මුනාරී හිටියේ ඒ ලෙවල් පන්තියේ. ශාන්තා අක්කගේ කසා‌දේ සිද්ධ වුණෙත් ඔය කාලෙමයි. ලස්සනම ලස්සන මනමාලියෙක් වෙච්ච ශාන්තක්කා ගෙදරින් ගියාට පස්සේ ඒ මුළු ගේ පුරාම මහා පාලුවක් හිස් බවකින් පිරිලා ගියා. එහෙන් ඇහෙන බජන් වල තිබුණෙත් මහා ඕලාරික හඬක්.

ඒ කාලේ වෙන කොට මගේ හිතේ මූනාරි බලන්න පුංචි කැමැත්තක් ඇති වෙලා තිබ්බා. කලු වුණාට මුනාරිගේ ඒ පාටේ ලස්සනක් මට දැනෙන්න පටන් අරන් තිබුණේ. මුනාරි කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා දැනගත්තම මට වචනයෙන් කියන්න බැරි මහා මොකද්දෝ හැඟීමක් ඇති වුණා. ඒත් ඇත්තටම මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒ කොල්ලා කෙට්ටුම කෙට්ටුයි, දැක්ක ගමන් මතක් වෙන්නෙ අර දෙමළ නලුවා ධනුෂ්ව. ධනුෂ්ව වුණත් අපිට ලස්සනට පේන්නේ එයා නලුවෙක් වෙච්ච නිසානේ. නැත්නම් ඉතින් ධනුෂ් පඟරනැට්ටෙක් නේ, අර කොල්ලා නලුවෙක් නෙමේනේ ඉතින් ඒ කොල්ලා පඟර නැට්ටෙක්. ඇත්තටම අර පිරිච්ච මුනාරිට ඒ කොල්ලා නම් කොහොමත් ගැලපුනේ නෑ කියලමයි මට හිතුනේ. මුනාරි ක්ලාස් ගියේ බම්බලපිටියේ ශාන්ති එකට. මගෙ ගණන් පන්තියත් තිබුණේ මුනාරිට පන්ති තිබ්බ දවසටමයි.

බස් එකට දෙන සල්ලි වලින් කඩචෝරුවක් කාලා අපි කොල්ලො සෙට් එක පයින්ම ගෙවල් වලට එනවා. ශාන්ති එකේ ඉඳලා මුනාරි ජෝඩුවත් එන්නෙ පයින් ඇවිදගෙන ඇවිත් දෙවන චැපල් ලේන් එක දිගේ කතා කරගෙන ඇවිල්ලා කේලම්කඩු ප්ලේස් එක පහු වෙලා චුට්ට දුරක් ගිහින් කොල්ලා නවතිනවා. නවතින්නෙ ඉතින් නිකම් නෙමේ මුනාරිගේ එක අතක් අල්ලගෙන එයාගේ පපුවට තියගෙන නළලට හාද්දක් දීලා. කේලංකඩු ප්ලේස් එක පහුවෙච්ච ගමන් තිබුණේ රංජිත් අංකල්ලගෙ ඉඩමේ වගා කරපු පොඩි බිම් තීරුවක්. ඒකෙ දෙල්,කොස්, අඹ වගේ ගස් තිබුණ නිසා කලුවරයි. එතන ඉඳන් මීටර් දෙසියක් විතර ගිහින් හැරුනට පස්සේ තියෙන්නේ අපේ ගෙවල් වලට එන පාර. ශාන්තියේ පන්ති තියෙන හැම සිකුරාදම මුනාරි ජෝඩුව දකින මගේ හිතේ අකුණු ගැහීමක් ඇති වෙනවා වගේ දැනෙන්න ගත්තා. ඒත් ඇත්තටම මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. හිත මහා නොසන්සුන් වුණත් කටක් ඇරලා කාටත් කියන්න යැ මේ අවනඩුව. මේ සම්බන්ධෙ කඩන්න තියෙන හොඳම ක්‍රමේ සුරේෂ් අයියට මේ පලහිගව්ව කියන එක කියලා හිතුවට අර කොල්ලා මුනාරිගෙන් සමුගන්න විදිහ මතක් වෙලා මම හැමදාම ඒ කේලම කියන එක පස්සට දැම්මා. කේලම කියන්න කට හදනකොටම කොල්ලෙක් විදිහට කේලම් කියන එක ගැලපෙන්නෙත් නෑනේ කියලා මගේ යටි හිතත් ඔලොක්කුවට හිනා වෙනවා.

මම ඕලෙවල් කරන කොට තමයි සුරේෂ් අයියා එයාලගේ කැනඩාවේ මාමා කෙනෙක් ළඟට ගියේ එහෙ රස්සාවක් ලැබුණා කියලා. ඒ වෙනකොට මුනාරිත් ඒ ලෙවල් කරලා රස්සාවකට යන්න පටන් අරන් තිබුණා. ඉස්සර මුනාරියි, ශාන්තා අක්කයි දෙන්නම ඇන්දෙම සල්වාරි විතරමයි. ඒත් රස්සාවට යන්න ගත්තට පස්සෙ මූනාරි සල්වාරි ඇන්දෙ ඉඳහිට. අත්දිග, බ්ලවුස් එක්ක ටයිට් ස්කර්ට් එක හරි කලිසම හරි තමයි ඇන්දේ. ඇත්තටම කිව්වොත් මූනාරිගේ ඇඟ හරිම හැඩයි. අර ටයිට් ස්කර්ට් වලට කලිසම් වලට ඇගේ හැඩය හරි ලස්සනට ගැලපුණා.

මගේ හිතේ මුනාරි ගැන තිබ්බ නොරිස්සුම ටිකෙන් ටික නැති වෙලා යනවා කියලා මට දැනෙන්න පටන් අරන් තිබුණා. මට ඕනේ වුණේ මුනාරි එක්ක කතා කරන්න. ඒ නිසා මූනාරීව මූණට මුණ ගැහුණම මම මුනාරි එක්ක හිනා වුණා මුල දවස් වල එයා හිනා නොවුණට පස්සෙ පස්සෙ හිනා වුණා. ඔව් අන්තිමට මුනාරි උදේට දැක්කොත් ගුඩ් මොර්නිග් කියන්නත් රෑට දැක්කම ගුඩ් නයිට් කියන්නත් පුරුදු වුණා. මුනාරි හිනා වෙන කොට එළියට පනින නලදත ඒ මූණට ගෙනාවේ පුදුම ලස්සනක්. ඇත්තටම හිනාවක් කියන්නෙ හිතක් සනසන්න පුලුවන් ඔසුවක්. මමත් හැමදාම මුනාරි ඔෆිස් යන ටයිම් එකටම පන්ති යන්න එළියට බැස්සා. හවසටත් එයා ඔෆිස් ඇරිලා එනවා උඩ තට්ටුවට හරි වෙලා බලා හිටියා. මුනාරි මගේ මොනරී මම මගේ හිතට කියද්දි ඒ හිතම පිස්සුද කියලා මගෙන්ම ඇහුව්වා. කොහොම හරි මුනාරිගෙයි මගේ ජීවිත වෙන වෙනම අවුරුදු තුනක් ගෙවිලා යද්දි මම මොරටුව කැම්පස් ඒකට තේරිලා හිටියේ. මල් වත්තක් මැද හිටියත් ඒ එක මලකවත් විශේෂත්වයක් මට දැනුනේ නැහැ. මගේ හිතේ හැම වෙලේම මුනාරිගේ හිනාවෙන මූණ නතර වෙලා තිබුණා. ඒත් ඇත්තටම මම දන්නෙ නෑ ඒ ඇයි කියලා.

“මේ අර වාලපම්ලගේ පොඩි කෙල්ල කසාද බඳිනවාලු.”
අපේ අම්මා තාත්තට එහෙම කියද්දි මගේ ඇස් ලොකු වෙලා කටත් ඇරුණා. හිතට කවුරු හරි කලු ගල් හොන්ඩර දහයක් විතර දැම්මා වගේ චප්පම වෙලා ගියාම දැනෙන වේදනාකාරී සිතුවිලි වලින් මාව මිරිකිලා ගියා. ඒත් ඇත්තටම ඒ් ඇයි කියලා මං දන්නෙ නැහැ.
“මේ හදිසියේම ඒ කෙල්ල තාම පුංචියිනේ ? තාත්තා එහෙම ඇහුව්වෙ කියව කියව හිටපු පත්තරෙන් ඔලුව අරන්.”
“ඔව් ලබන මාසේ හත්වෙනි දා සෙනසුරාදාවක්නේ. තව සතියක් තියෙනවා. ඔයාට පුළුවන්නෙ යන්න. පාර්වතී ගෙදර හැමෝටම එන්න කියල මගින් මගට කිව්වා.”
ඇත්තම කිව්වොතින් එදා රෑ මට නින්ද ගියේම නැහැ. හරියට තරු පිරිච්ච අහසක පුර හඳ අයින් කරලා වගේ මහා පාලු හිස් දැනෙද්දි ජීවිතේ වැඩියෙන්ම පරිස්සම් කරපු දෙයක් නැති වුණාම හිතට දැනෙන හැඟිම් වලින් මගේ හිත පහුරු ගෑවා. අර ඩුප්ලිකේට් ධනුෂය ගැන මට දැනුනෙ පුදුමාකාර තරහවක් ඉරිසියාවක්. අම්මපා ඌ වාහනයකටවත් හැප්පිලා මැරිලා ගියොත් නියමයි වගේ සාහසික කෲර සිතුවිලි මගේ හිතේ කරක් ගහන්න ගත්තා. ඒ සතිය කොහොම ගෙවුනද කියල මට නිච්චියක් නැහැ. කාක්කා වගේ සැරින් සැරේට කන්න හොයපු මට තුන් වේලත් අමතක වුණා.
“තමුසෙ මොකද අමුතු වෙලා? යකෝ මගේ අයිස්ක්‍රීම ගැන මම බලාපොරොත්තු අත්ඇරගෙන තිබ්බෙ. මේක නම් පුදුම අශ්චර්යයක්”
සෙනසුරාදට දවස් දෙකකට කලින් අපේ අක්කා ඔලොක්කුවට වගේ අහද්දි මට ලැජ්ජ හිතුනා අපේ අක්කට මගේ වෙනසක් දැනිලද කියලා.
“අනේ මේ අක්කෙ යනවකෝ වාත නොවී පාඩම් කරන්න දීලා”
“මේ හලෝ කාට කොළෙ වැහුව්වත් මේ අක්කාට තමුසෙට බොරු කරන්න බෑ. ඇත්ත කියනවා මේ දවස වල මල්සරා දුන්න දුන්නා නේද තමුසෙගෙ අතට”
“මේ අක්කේ ඇත්තටම තමුසෙට වැඩ නැද්ද? ”
මගෙ වන් ඇන්ඩ් ඔන්ලි මල්ලි මෙහෙම හාමතේ අහස පොළව ගැටලන කොට අක්කා කෙනෙක් විදිහට මම කොහොමද ඇස් කන් පියාගෙන ඉන්නෙ. විහිලු නෙමේ මට ඇත්ත කියනවකො මල්ලි”
“එහෙම එකක් නෑ හලෝ”
“මේ පොත් පෙරලන්න එපා, මාව එච්චරම ෂුවර් නෑ නේ, හරි මම කියන්නම් ද මගේ මල්ලි පොඩ්ඩට වෙලා තියෙන අකරතැබ්බය ? ”
“ආ කියනවකො බලන්න”
“තමුසේ ලක්ෂ්මිත් එක්ක අ… ”
“පිස්සුද හලෝ ? මුනාරි මට වඩා අවුරුදු දෙකක්ම වැඩිමල්. ”
“ආදරයට කොහෙද මල්ලි වයස බලපෑවේ. මං දන්නෙ නැහැ මං කොයිතරම් දුරට හරිද කියලා, ඒත් ලක්ෂ්මිගෙ වෙඩිම කියපු වෙලේ ඉඳන් ඔයා අවුල් වෙලා කියලා මට තේරුණා. ලක්ෂ්මිට ඒ ලෙවල් කරද්දි කොල්ලෙක් හිටියනේ අනික මල්ලි එයාලා දෙමළ. අපිට කොහොමත් ගැලපෙන්නෙ නැහැ”
“ආදරේට කොහෙන්ද ජාතියක් හලෝ”
“ආ… එහෙනම් මං කිව්වා හරි. ”
“නෑ…නෑ… ඒත් ඇත්තටම ඒ ඇයි කියලා මං දන්නෙ නැහැ. ”
“හරි හරි මුහුදෙ ඉන්නෙ එක මාලුව ද මල්ලි, දිය කිඳුරියක්වත් හම්බ වුණොත්. කොහොම වුණත් ඔයා ෆිට් එකේ නම් මට ඒ ඇති. ”

අපේ අක්කා මට කිව්වෙ ඉඳගෙන හිටිය මගේ පිටිපස්සෙන් ඇවිත් බෙල්ල බදාගෙන. ඇත්තටම මට අක්කා ගැන දැනුනේ ආදරයක්. මගේ පුංචි වෙනසක් දැනෙන්න තරම් සංවේදී සහෝදර ප්‍රේමයක් ලැබෙන්න මං කොච්චර වාසනාවන්තද කියලා මට හිතුනා. මට මුනාරිව දැක ගන්න පුදුම වුවමනාවක් තිබුණේ. ඒත් සෙනසුරාදා උදා වෙනතුරු මට මුනාරිගෙ මූණ දකින්න ලැබුණෙ නැහැ.


දිශාන්ති වෙදගේ

Exit mobile version