මුනරිගෙ වෙඩින් එකට යන්න අපේ පවුලම ලෑස්ති වුණා. අපි ගියේ කෝවිලේ චාරිත්‍ර වාරිත්‍ර ඉවර කරලා අමුත්තන්ට සාදය තිබුණ වැල්ලවත්තේ සරස්වති උත්සව ශාලාවට. අපි ගිහින් වාඩිවුණා. මට ඕන වුණේ ඉක්මනින්ම මුනාරිව දකින්න. ඒත් මුනාරි පේන්නවත් හිටියේ නැහැ. ටික වෙලාවකින් එයා මගෙ ළඟ එයාගේ මනමාලයත් එක්ක හිටගෙන හිටියා. දෙයියනේ මුනාරිගෙ ලස්සසන. ඒත් මනමාලයව දැක්කම මට උන් හිටි තැන් අමතක වුනා. මගේ කට නිකම්ම ඇරුනා, ඉඳගෙන හිටිය පුටුවෙන් මාව ඉබේටම නැගිට්ටුනා. ඊ ළඟ තත්පරේ ඒකෙ අසාමාන්‍ය බව දැනිච්ච මං මනාමලයගේ අතට අත දී සුබ පතලා මුනාරිට අත දුන්නා. මූනාරි මගේ ඇස් දිහා එක එල්ලෙ බැලුවා. ඒ ඇස් වල මොකද්දෝ කතාවක් ලියවිලා තිබුණා. මම මුනාරිගේ අත අල්ලගෙනම ඉන්න කොටයි එයා මට එයාගේ මනමාළයව අඳුවන්වලා දුන්නෙ. එයාගේ අතින් දැනුන උණුසුම මගේ හිතේ ඇති කළේ මහා දුකක්.
“මේ අභීරාම්.. අභිරාම් මේ තමයි අපේ ඉස්සරහා ගෙදර සිංහල නෑයෝ, සුබලතා ආන්ටී, නිමල් අංකල්, සකුනි අක්කා, ශෂී මල්ලී”
අභිරාම් ලස්සනට හිනා වුණා. අපේ වචනයෙන් කිව්වොත් අභිරාම් සුදු උස මහත හොඳ පෙනුමක් තිබ්බ කොල්ලෙක්. හරියට ඒ දවස් වල හිටිය දෙමළ නලුවෙක් වෙච්ච අම්බාස් වගේ.
“ගෙවල් ඉස්සරහම නම් ඉතින් අපිට හම්බ වෙන් පුලුවන්නෙ නේද? අපි එන්නම්කො ආන්ටිලව බලන්න ගෙදර” කියලා අපෙ අම්මට කිව්ව අභිරාම් අපෙන් සමුගත්තා.
“සීදේවී කොල්ලෙක්, ලක්ෂ්මිට වඩා පාටයි නේ?”
“අපේ අම්මටත් ඕනෙ නැති දෙයක් නැහැ. ලක්ෂ්මිගේ පාට කොච්චර ලස්සනද අනික එයාගෙ මූණ කට ඇඟ වාත්තු කළා වගේ. තලෙලු කියන්නෙ ලෙඩ අඩු වයසට ගියත් පේන්නෙ නැති හමේ පාට. අම්මත් හිතන්නෙම අර ගංගොඩේ ඕප දූප හොයන ගෑනු වගේ නේ”
අක්කා එහෙම කියලා ඉවර වෙනවත් එක්කම
“ඒ දෙන්නට දෙන්නා කැමතියි නම් ඒ දෙන්නට ගැලපෙනව නම් අපිට මොකෝ, මුණේ පාටින් නෙමෙයි නේ කසාද ජීවිතේ තීරණය වෙන්නෙ ” තාත්තා එහෙම කිව්වෙ ටිකක් තදින්. අම්මගෙ මූණ රතු වුණා.
ඇත්තටම දෙන්නෙක්ගෙ කසාද ජීවිතේ සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර තියෙන අවබෝධය මත. ගෑනූ කියන්නෙම තමන්ගෙ සැමියගේ ආදරය, කරුණාව, ඇහුම්කන්දීම, අගය කිරීම වගේම ආරක්ෂාව හරි හරියට හොයන ජාතියක් බවත්, ඔය ටික දුන්නොත් ගෑනියෙක් මිනිහෙක්ට සුරපුරයක් මවලා දෙන බවත් මම කියවපු පොතක තිබුණා.
ඒ අතර තමයි පාර්වතී නැන්දයි වාලපනම් අංකලුයි අපේ ළඟට ආවේ. මම ඉඳගෙන හිටපු තැනට මුනාරිගේ මගුල් පුටුව කෙළින්ම පේනවා. අභිරාම් යාලුවො කට්ටියක් එක්ක කතා කර කර ඉද්දි මුනාරි ගිහින් පුටුවෙන් වාඩි වුණා. ඈතින් හිටියට අපි දෙන්නගෙ ඇස් එකට යා වුණා. මුනාරි මට ඔලුවෙන් අඬ ගැහුව්වා.
මේ මල්ලි, මුනාරි ඔයාට අඬගහනවා අපේ අක්කා හිමින් මට කිව්වා.
ශාන්තක්ක ආවද පාර්වතී ආන්ටී?
ඔව් සකුණි දුව, එයාල ඉන්දියාවෙ ඉඳලා ඊයේ තමයි ආවා. ඒ පුතාට නිවාඩු ගන්ඩ තමයි අමාරු වෙලා තියෙනවා. යේක නිසා තමා පරක්කු වුණා. සුරේෂ් අද තමයි ආවා. ඇමදේම හදිසියෙන් තමයිනේ වුණේ
පාර්වතී නැන්දා කැඩුණු සිංහලෙන් කිව්වම මගේ හිතට අමුත්තක් දැනුණා. මං දැක්කා ගිය සතියෙත් ධනුෂයා එක්ක මුනාරි කතා කර කර ඉන්නවා. ඒත් එ්ක වෙනදා වගේ ආදරණීය කතාවක් නෙමෙයි.
අක්කා ආයෙමත් මගේ මූණ දිහා බැලුවා. අපොයි දැන් මොන ගිනි ගෙඩියක් පත්තු වෙන්න යනවද දන්නේ නෑ කියලා මට හිතුනා.
ගිහින් බලනවා… අක්කා මට තදින් කියද්දි මම මුනාරි ළඟට ගියා. මං එයා දිහාට යද්දිම එයාගේ ඇස් දිලිසුණා.
ශෂී මල්ලි මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
උදව්වක් මගෙන්. මගේ හිතේ තියෙන දේ දැනිලා මුනාරි මාත් එක්ක පැනලා යන්න අහයිද දන්නෙ නෑ. එහෙම වුණොත් මං මොකද්ද කරන්නෙ? මං හිතන්නේ මං මුනාරිට ආදරේ කරනවා. එහෙම ඇහුව්වොත් මං…..
මගේ උගුර කට වේලිලා කටින් වචන එළියට ආවෙත් නැහැ. බොහොම අමාරුවෙන් උගුර පාද ගත්ත මං මුලින්ම හිනා වුණා.
මොකද්ද උදව්ව, මට පුලුවන් එකක් නම් අනිවාර්යෙන් කරලා දෙන්නම්
ශෂි මල්ලි මෙන්න මේ ලියුම් කවරේ රොක්සි එක කිට්ටුව තියෙන හාඩ්වෙහාර් එකේ කැශියර් එකේ ඉන්න අජිත්ට දෙන්න. ඔයා අජිත්ව දන්නවනේ. මගේ හිටපු බෝයි ෆෙරෙන්ඩ්…
මුනාරි එහෙම කියද්දි මම ඔලුව හෙල්ලුවා, ඔව් කියන්නයි හා කියන්නයි දෙකටම. මගේ කැත හිතට මම දෝස් මුරේ තිබ්බා. ලැජ්ජාව මගෙ ඉහෙන් කනින් ගලාගෙන යනවා වගේ මට දැනුනා.
අදම පුලුවන්න නම් දෙන්න මල්ලි. මගේ ඇස් දිහා එක එල්ලෙ බලපු ආයාචනාත්මක මුනාරිගේ ලොකු ඇස් දෙක අස්සෙ කඳුලු තෙරපුණා. ඒත් එක්කම අභිරාම් එක්කම සතිෂ් අයියත් අපේ දිහාවට ආවා නිසා මුනාරී කාටත් නොපෙන්න ඒ කඳුලු ඇස් අස්සෙම බොඳ කරලා දානවා මං දැක්කා.
පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් කියලා අක්කට දැනුම් දීපු මම ලියුම් කවරෙත් අරන් අජිත්ව හොයාගෙන ගියා. ලියුම් කවරය අතට ගත්ත අජිත් මං දිහා පුදුමයෙන් බලලා, තෑන්ක්ස් ශෂී කිව්වා.
ඇයි යකෝ මම ධනුෂයගේ නමවත් නොදැන හිටියට ධනුෂ් හෙවත් අජිත් මගේ නමත් දන්නවා. ආපහු මගුල් ගෙදරට ගිහින් මම ඈත ඉඳලම වැඩේ කරපු බව මුනාරිට දැනුම් දුන්නා. ඒ මොහොතේ ඉඳලම මුනාරිගේ ඇස්වල තිබුණේ හරිම කලබලකාරී, බලාපොරොත්තු සහගතබවක්. මනාල යුවල පිටත් වෙන්න කලින් අපි ගෙදර ආවා. හිත පුරාම මුනාරිගේ කලබල ඇස් සක්මන් කරද්දි ඇත්තටම ඒ ඇයි කියාලා මම තේරුම් ගත්තා. ඔව් මං මටත් නොදැනිම මුනාරිට ආදරේ කරන්න පටන් අරගෙන තිබිලා. ජීවිතේ අපිට තියෙන සමහර දේවල් නැත්තටම නැති වෙලා යන කල් අපිට ඒ දේවල් වල අගය එක අංශුමාත්‍රයක් දැනෙන්නෙ නැහැ. එ්ත් අපිට ඒ දේ නැත්තටම නැති වෙලා ගියාම වටිනාකම දැනුනත් ආයේ කිසි දවසක ඒ දේවල් අත්පත් කරගන්න බැහැ. ඔව් මං මුනාරිට ආදරෙයි.
නෙලා ගැනුමට නොහැකි වූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හිර කිරීම ය
සුනීර ගෙ ඒ හඬ මගේ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා. නාරද විජේසූරිය මහත්තයා මේ වචන කොහොම ගැලපුවද මටම ගැලපෙන්න.
ඇස් පනාපිට බිඳුණු හීනෙක
ලොවට රහසෙන් සැරිසැරීමය
සිත් පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය.
ඇත්තටම ඔව් එදා ඉඳන් දවස් තුන හතරක් යන තුරුම මගේ හිත මටම අකීකරු වෙලයි හිටියෙ. එදා හවස අම්මා පාර්වතී නැන්දට දෙන්න කියාලා දුන්න පොළොස් මාලුව අරන් ගියාම ගේට්ටුව ඇරියේ මුනාරි. ඇත්තටම අලුත් මනමාළියෝ ලස්සනයි කියන එක නම් සහතික ඇත්ත. නළලේ මොට්ටුව තියලා නළලත් ඔලුවත් අතර සින්දූර් තියාලා තිබුණා. ඒ ඇස් වල තිබුණේ සාමකාමී බවක්.
ශෂි මල්ලි එන්න… එදා උදව්වට ගොඩක් ස්තූතියි.. මුනාරි හරි ලස්සනට හිනා වෙලා කිව්වා.
ඒක මහ වැඩක් නෙමේ මුනාරි
මොකද්ද මුනාරි!!!
න්නැහැ නැහැ…
අයියෝ සාමී ඔයාලා මට මුනාරි කියලද කියන්නෙ? මං ලස්සන නිසාද? ආඩම්බර කියලා ඉතාගෙනද?
නැහැ නැහැ ලක්ෂ්මි ලස්සනයි ආඩම්බරයි දෙකම නිසා.
මුනාරිගේ ඇස් දිලිසෙනවා මම දැක්කා. මම නිකමට වගේ ඒ ඇස් දිහා කෙලින්ම බැලුවා. අපේ ඇස් එකට ගැටුනා.
ඔයා හොඳින් ද?
එයා මොකුත්ම නොකියා මගේ ඇස් වලින් ගැලවිලා පිච්ච වැල ළඟට ගියා.
තාම නම් කිසිම ප්‍රශ්නයක් නෑ මල්ලි. මල්ලී දන්නවානේ අජිත් එක්ක මං අවුරුදු හතරකට වැඩිය යාළුවෙලා හිටියා කියලා. ඒ සම්බන්දෙ අප්පයි අම්මයි දැන ගත්තෙ දැන් මාස තුනකට කලින්. අජිත්ලා ගොඩක් දුප්පත් නිසා අපිට ගැලපෙන්නෙ නැහැල්ලු. ගඟේ මුහුදෙ දැම්මත් දෙන්නෙ නැහැ කිව්වා අජිත්ට. අභිරාම් අපේ මස්සිනා කෙනෙක්. එයාම තමයි අප්පගෙන් මං ගැන අහලා තියෙන්නෙ. මං අජිත්ට කිව්වා මට රස්සාවක් තියෙන නිසා මාව එක්ක යන්න කියලා. එයාගෙ පවුලෙ වගකීම තියෙන්නෙ එයාටලු. එයා රස්සාවක් හොයා ගන්න කල් පොඩ්ඩක් ඉන්න කිය කිය හැමදාම මාව එක්ක යන එක කල් දැම්මා. එයා කිව්වෙම තව ටික දවසක් ඉවසගෙන ඉන්න කියලා. මම ඉවසුවට අප්පා ඉක්මණ් වුණා. මම අපේ අප්පට ගොඩක් ආදරෙයි. ඊටත් වඩා අප්පා මට ආදරෙයි. මට අකමැත්තෙන් හරි අජිත්ව අත් අරින්න සිද්ධ වුණෙ එයාගේ තීරණ වල ශක්තියක් නැති නිසා.
දිගම දිග හුස්මක් අත ඇරපු ලක්ෂ්මි අහස දිහා බලාගෙන හිටියා. මට තේරෙන දවසෙ ඉඳලා මට ආදරේ ලැබුණෙ අප්පගෙන් විතරයි. මං ඔයාට රහසක් කියන්න ද ශෂී මල්ලි
ඔව් කියන්න.
මගේ අම්මයි අප්පයි නෑ
එහෙම කියපු මුනාරිගේ ඇස් වලට කඳුළු උනද්දිම ඒ හඬත් ඇඬුම්බර වෙද්දි එයා දිග හුස්මක් අරන් ඈත අහස දිහා බැලුවා. අහසේ හුඟක් උසට ගිය උකුස්සෙක් උගෙ නිදහස භුක්ති වින්දිමින් අහසේ පියාසර කරමින් හිටියා. මේ මොන හතර බීරි කතාවක්ද? එතකොට වාලපනම් පාර්වතී කවුද? මගේ හිතේ ප්‍රශ්න අහන්නා ඇහුව්වා. ටික වෙලාවක් නිහඬව හිටපු මුනාරි ආයෙත් මගේ දිහා බැලුවා.
මේ මගේ අම්මගෙ අයියා. මගේ තාත්තා කවුද කියලා කවුරුත්ම දන්නෙ නැහැ. අම්මා මට අවුරුදු තුනේදී විතර තමයි මැරුණේ. අම්මා මැරිලා තියෙන්නෙ වස බීලා.
වස බීලා… ඒ ඇයි?
මං දන්නෙ නෑ ශෂී, ඒත් අපෙ අම්මා කොයි තරම් ආත්මාර්ථකාමී ද? ඇත්තටම මගේ හිතේ එයා ගැන තියෙන්නෙ තරහක්. තාත්තෙකුත් නැතිව මාව මේ ලෝකෙට උපද්දලා, ඒ මදිවට මාව මේ ලෝකේ තනිකරලා යන්න ගියා. ගොඩක් මිනිස්සු හිතන්නෙ පුංචි ළමයින්ට කියන කරන දේවල් මතක හිටින්නෙ නැහැ, අමතක වෙනවා කියලා. එහෙම වෙන්නෙ නැහැ. ලොකු මිනිස්සුන්ගෙ සමහර වචන වලින් මුලු ජීවිත කාලේම තුවාල වෙලා විඳවන ළමයි ඉන්නවා. මාත් එහෙම ළමයෙක්. පාර්වතී සුබ්‍රමනියම් මාව හොඳට බලා ගත්තා. එයාලා නීතියෙන්ම මාව එයාලගේ දරුවෙක් කරගත්තා. ඒත් අම්මා තාත්තගෙ අඩුව පුරවන්න මේ ලෝකේ කාටවත්ම බෑ. පාර්වතී අම්මගේ අම්මා ලෙච්චමී වගේම නෑයෝ ආවමත් කියන්නෙම මං තංගමනීගේ පාට නෙමේ.. තංගමනී නම් කිරිගරුඩ වගේ කියලා. අප්පා කවුද කියලවත් දන්නෙ නැති අවුරුදු හතේ පොඩි එකෙක්ට එහෙම කියද්දි දැනෙන අසරණකම මට කියන්න වචන නෑ. හරියට කාත් කවුරුත්ම දන්නෙ නැති සභාවක් මැද්දට ගිහින් දැම්මා වගේ ලොකු තනිකමක් අසරණකමක් ලැජ්ජාවක් එක්ක ගිනි ගන්නවා වගේ හැඟීමකින් මාව පිරිලා යනවා.
මං මගේ අප්පගෙ පාට, එහෙම නොවී වෙන කාගේ පාට වෙන්න ද? කියලා මම එක දවසක් පාර්වතී අම්මගේ අම්මට හරි සැරෙන් කිව්වා.
අවාසනාවන්ත කෙල්ල. අම්මන්ඩි නන්නත්තාරේ ගිහින් හදන් ආවේ, ඒ මදිවට ඒ ගෑනිව මරාගත්තා පොඩිකමට කටේ සැර, උඹ නිසා මේ ගෙදරටත් මූසලයි, මූ දේවී කියලා මගේ කට මිරිකුවා. එදා රෑ මං හොඳටම ඇඬුවා. මං තීරණය කළා ඒ ගෙදරින් යන්න. මං ඉස්කෝලේ ගියේ ආවේ ශාන්තා අක්කා එක්ක. එයා මට වඩා අවුරුදු පහක් වැඩිමල්නේ. පහුවදා ඉස්කෝලෙ යද්දි බෑග් එකට ඇඳුම් දෙක තුනකුයි, අප්පා දෙන සල්ලි දාන කැටේ කඩලා ඒකේ සල්ලියි අරගෙන ගියා. ඉස්කෝලේ ඇරුණු ගමන් ශාන්තා අක්කට පේන්නෙ නැති වෙන්න මම ඉස්කෝලෙන් එළියට ගියා. බස් පාරට ගිය මං ආපු බස් එකට නැග්ගා. ඒක කොළඹ යන බස් එකක්. කවුරුත් මං ගැන උනන්නදුවක් දැක්කුවෙ නෑ. අවුරුදු හතේ පොඩි කෙල්ලෙක් නිසා කාත් එක්ක හරි එන්න ඇති කියලා හිතන්න ඇති. ඒත් කොළඹට ළං වෙද්දි මිනිස්සු බැහැලා යද්දි කලුවර වැටීගෙන එද්දි මට හොඳටම බය හිතුනා. අපේ අප්පා එහෙදි කලෙත් වාලපනම් බිස්නස්. සුබ්‍රමනියම් කියපු ගමන් ඒ පැත්තෙ හැමෝම දන්නවා. මං අඬ අඬ කොන්දොස්තර අංකල්ට කිව්වා අප්පා ගැන විස්තර. එයා අප්පට පණිවිඩේ දීලා මම කොළඹ කියලා. ඒ වෙනකොටත් අප්පයි අම්මයි මාව හොයන්න හැම තැනම ගිහින් බැරිම තැන පොලිසිත් ගිහින්. කොන්දොස්තර අංකල් මාව පොලිසියට භාර දුන්නා. එදා රෑම අම්මයි අප්පයි ලොරියේ පොලිසියට ආවා. මාව දැකපු ගමන් පාර්වතී කෑ ගහගෙන මාව තුරුල් කරගත්තා. අඬලා අඬලම එයාගේ ඇස් ඉදිමිලා තිබුණා. එදා තමයි මං පළවෙනි වතාවට එයාට අම්මා කිව්වෙ. එයා ශාන්තා අක්කටත් වඩා මට ආදරෙන් සලකනවා.
ඒ සිද්ධියෙන් පස්සෙ මං ගෙදරට කවුරු ආවත් හැංගෙනවා. කාත් එක්කවත් කතා කරන්න සෙල්ලම් කරන්න ගියේ නැහැ, ඉස්කෝලේ යන්න වෙයි කියලා හැම තිස්සෙම ගබඩා කාමරේ හැංගිලා හිටියා. සුබ්‍රමනියමුයි පාර්වතියි කොච්චර මට ආදරෙයිද කිව්වොත් එයාලා තීරණය කළා නෑදෑයන්ගෙන් වෙන් වෙලා මං නිසා මෙහෙ පදිංචියට එන්න. ඔව් අම්මයි අප්පයි මාව එයාලගෙම දරුවෙක් වගේ බලා ගත්තෙ. ඒත් ලෙච්චමී පාට්ටි (ආච්චි) කිව්ව මම අවාසනාවන්ත අම්මා මරාගත්ත මූ දේවී කියලා කියපු වචන වලින් මගෙ හිත මිදුනෙම නෑ. ඒ හින්දම මම ගොඩක් වෙලාවට තනියම ඉන්න පුරුදු වුණා. අම්මයි අප්පයි මට පුදුම විදිහට ආදරේ දුන්නා. අක්කයි අයියයි වුණත් මට හරිම ආදරෙයි. ඒ ආදරේ විඳින හැම මොහොතකම ලෙච්චමී පාට්ටිගේ නපුරු ඇස් මට මතක් වෙනවා. මං මිනිස්සුන්ට බයයි. මං ආඩම්බර මුනාරියෙක් වුණේ මගේ වැරැද්දෙන් නෙමෙයි කියලා මුනාරි දිග හුස්මක තියලා එයාගේ හිතේ බර නිදහස් කළා.
මිනිස්සුන්ගෙ ජීවිත වල අපි පිටින් දකින දේවල් වලට වඩා කොච්චර නම් කතා හැංගිලා තියෙනවද? තමන්ගෙම ලෙයින් ඉපදුනේ නැති දරුවෙක්ව අබමල් රේණුවකවත් වෙනසක් කරන්නෙ නැතිව උස්මහත් කරන්නත් පාර්වතියි වාලපනමුයි කොයි තරම් මනසින් උසස් මිනිස්සු වෙන්න ඇද්ද කියලා හිතද්දි මගේ හිතේ ඒ දෙන්නා ගැන ඇති වුණේ ගෞරවයක්.
ඇයි ඔච්චර මුලු ගැන්විලා හිටිය නම් අජිත් එක්ක යාලු වුණේ?
මං දන්නෙ නැහැ. එයා එක වසරේ ඉඳලා හිටියේ මගේ පන්ති වලමයි. මට හිටිය එකම යාලුවා. දන්නෙම නැතුව එයා මටත් මම එයාටත් ගොඩක් ආදරේ කළා. ඒත් එයාට කොන්ද පණ තිබ්බෙ නැහැ මාව එක්කන් යන්න. ආදරේ කියන්නෙ අනිත් කෙනා වෙනුවෙන් කැපකිරීමක් දරාගැනීමක් කරන්න පුලුවන් සම්බන්ධයකට. ඇත්තටම අභිරාම් මට ගොඩක් ආදරෙයි. ඒත් අපි කාටවත් අපි පළවෙනි ආදරේ අමතක කරන්න බෑ.
ඕවා ඔහොම තමයි ලක්ෂ්මි අක්කා, අතීතය කියන්නෙ ගෙවිලා ගිය දෙයක්. වර්තමානයෙ ඉඳගෙන ජීවිතේට මූණ දෙන්න ඕනේ….
ඒක ඇත්ත… ඒත් කියන තරම් ලේසි නැහැ.. ජීවිතේට මූණ දෙන කොට, පුංචි කාලෙම මම බිඳුන ළමයෙක්. ඒ වගේම මිනිස්සු වැඩියෙන්ම බැඳෙන්නෙ තමන්ට නොලැබුණු අත්හැරුණු දේවල් වලටමයි.
එහෙම කියලා මුනාරි එයාගෙ ලස්සන හිනාව මූණේ ඇන්දා.
මං ගිහින් එන්නම් අක්කා
අක්කා නෙමේ මුනාරි කියන්න කියලා එයා හයියෙන් හිනා වුණා.
කාලය කියන්නෙ අපේ ජීවිත වලට සෘතු මාරූ කරන රිමෝට් එක. මුනාරි ඊලඟ සතියෙ ඉඳලා ආයෙමත් ඔෆිස් ගියා. ඉස්සර වගේ නෙවෙයි මූනාරි ලස්සනට සාරිය ඇඳලා තමයි ඔෆිස් යන්න පටන් ගත්තේ. ඇත්තටම මූනාරි සාරියට ගොඩක් ලස්සනට පෙනුනා. උදේට හවසට අභිරාම්ගේ බයිසිකලේ තමයි මුනාරි ඔෆිස් ගියේ. අභිරාම්, මූනාරි, මම හොඳම යාළුවො බවට පත්වුණා. එහෙම උනේ අපේ අක්කගේ මගුල් ගෙදරත් ඔය අහු අස්සෙම සිද්ධ වෙච්ච නිසා. මුනාරිත් අභිරාමුත් අපේ ගෙදර උදව් වෙන්න ආවා. ඉතිං ඒ හින්දා අපේ හිතවත්කම් ගොඩක් වැඩි වුණා. අපේ අක්කා මනමාළියෙක් වෙලා ගෙදරින් පිටවෙලා ගියාට පස්සෙ අපේ ගෙදරත් පරිප්පු නැති හෝටලේ වගේ වුණා. මිනිස්සුන්ට සමහර දේවල් නැති වෙන්න ඕනේ ඒවයේ අගය දැනෙන්න. ඉතින් අක්කා නැතිවුණාම තමයි මට එයා නැති පාලුව තනිකම දැනෙන්න ගත්තේ. ඒ පාලුව නැති කරගන්න අභිරාමුයි මුනාරියි එක්ක එයාලගේ උඩම තට්ටුවට වෙලා කතා බහ කරන එක පුරුද්දක් වුණේ පාර්වතී නැන්දයි වාලපනම් අංකලුයි ඉන්දියාවේ ඉන්න ශාන්තා අක්කා බලන්න ගියාට පස්සෙයි.
එතකොට මුනාරිලා බැඳලා මාස තුනක් විතර ඇති. එදා සෙනසුරාදා මුනාරි හිටියේ හිතේ කලබලෙන් කියලා මට හිතුනා. අභිරාම් එහෙට මෙහෙට වෙන කල් ඉඳලා මම ඒ ගැන ඇහුව්වා.
අජිත් මට කරදර කරන්න පටන් අරගෙන එයත් එක්ක යන්න එන්න කියනවා.
ඇයි ඒ ගැන අභීට කියන්නෙ නැත්තෙ?
මට බයයි මල්ලි.. අභීට මොන වගේ තීරණයක් ගනියිද කියලා. මට තේරෙන්නෙ නැහැ මොකද්ද කරන්නෙ කියලා. මම අජිත්ට ආදරේ කළා තමයි, ඒත් එයාට ඕනේ වුණේ මාව එයාගේ නීතිය ඇතුලේ කොටු කරගෙන ඉන්න. අජිත් කසාද බැන්දට පස්සෙ මට රස්සාවකට යන්න දෙන්නෙ නැහැ කිව්වා. හැම තිස්සෙම එයා කියන දේවල් විතරයි මම කරන්න සිද්ධ වුණේ. ඇත්තටම මම අද සතුටු වෙනවා අප්පා මාව අජිත්ගෙන් බේර ගත්තට. අභී මට හොඳ නිදහසක් දීලා තියෙනවා. ඉගෙන ගත්තා නම් ඔයා ඉස්සරහට යන්න ඕනේ කියලා තමයි අභි නිතරම කියන්නෙ. ඇත්තටම ආදරේ අන්ධයි කියන්නෙ බොරුවක් නෙමේ. ජීවිතේ සමහර දේවල් අපිට නැති වෙනව නම් නැති වෙන්නෙ ඊටත් වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්නයි කියලා මට හිතෙනවා.
ඔයා අජිත්ගෙ නම්බර් එක බ්ලොක් කරන්න. ඔෆිස් එකටත් කියන්න විසිටර්ස්ලා ආවට එවන්න එපා කියලා. අභි එක්ක ඇරෙන්න තනියම එළියට යන්න එපා.
මම ඒ වෙලාවේ ගන්න තියෙන හොඳම විකල්ප ටික මුනාරිට කිව්වා. ඒ වෙනකොට මගේ හිතේ මුනාරිට තිබුණේ විශේෂ තැනක්. සමහර බැඳීම් වලට කියන්න පැහැදිලි නමක් නැහැ. ඊට සති දෙකකට විතර පස්සෙ අභී කිව්වෙ එයාට කැනඩාවේ ජොබ් එක හරි ගියා තව සති දෙකකින් කැනඩා යනවා කියලා. මුනාරිව ගන්න වෙන්නෙ අභිරාම් ගියාට පස්සෙ බවත් කිව්වා. නෑකම් ඇති වෙන්න ලේ ඥාතියොම වෙන්න ඕනේ නැහැ. අභිරාම් එයාර්පොර්ට් එකට ගිහින් කිව්වෙත් මුනාරි පරිස්සමින් බලාගන්න කියලා. අභිරාම් රට ගියාට පස්සේ මම මුනාරිලගෙ ගෙදර යන එන එක අඩු වුණා. ජොබ් එකේ වැඩයි ඉගෙන ගන්න එකයි සේරම නිසා මම හිටියේ පුදුම කාර්යය බහුල කාලෙක. ඒත් දවසට එක වතාවක්වත් මුනාරිට කෝල් කරලා දුක සැප බැලුවා. අපේ අම්මා කොහොමටවත්ම කැමති වුණේ නෑ එහෙමවත් මුනාරි ගැන හොයනවට. ඔය බැඳපු ගෑනු ගැන හොයන්න ගිහින් උඹ කතාවක් හදාගන්නෙ එහෙම නෑ කියලා නිතරම තරවට්ටු කළා. ඒකත් ඉතින් ඇත්ත තමයි. කොහොම හරි දවසක් මම ටිකක් කලින් ගෙදර එන ගමන් හිටියේ. මුනාරි කේලන්කඩු ප්ලේස් ඒකේ නතර වෙලා ඉන්නවා මං ඈතදීම දැක්කා. ඔව් මුනාරි හිටියේ අජිත් එක්ක. මම බයික් එක නතර කරලා එයාලට නොපෙන්න බලාගෙන හිටියා. අජිත් හිටියේ මුනාරිගේ අත් දෙකම අල්ලගෙන. මට මුනාරිත් එක්ක ආවේ පුදුමාකාර කේන්තියක්. ඉස්සරම දවස් වල වගේ අජිත් මුනාරිගේ නළල ඉඹින්න හදද්දිම මුනාරි අජිත්ව තල්ලු කරලා දාලා වේගයෙන් ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා. මුනරි යනකල්ම බලා ගෙන හිටපු අජිත් පරාජිත බවකින් එතනින් පිටත් වුණා.
මම හිටිය තැනම ඉඳගෙන මුනාරිට කෝල් එකක් ගත්තා. එයා කිව්වෙ දැන් දවස් තුන හතරක්ම අජිත් පස්සෙන් ආව බවක්. මල්ලි මම අද රෙසිග්නේෂන් දීලා ආවා. මට ඕනේ අභී මාව එහාට ගන්න කල් අජිත්ගෙන් බේරිලා ඉන්න. තව සති දෙකකින් මම ගෙදර කියලා මුනාරි කිව්වා. ආදරේ කියන්නෙ අත්පත් කරගැනීමම නෙමෙයි කියලා අජිත් තේරුම් ගන්නෙ නැහැ.
එදායින් පස්සෙ මුනාරි ගෙදරින් පිට වෙන හැම වාරයකදීම මාව දැනුවත් කරන්නත් පික්මී වල විතරක් ගමන් බිමන් යන්න කියලත් මම කිව්වා. ඒ නිසා අජිත්ට මුනාරිව කොහෙත්ම හම්බ වෙන්න අවස්ථාවක් තිබ්බේ නෑ. ඉරිදා දවසක අජිත් අපේ ගෙදර ආවා. එයා ඇවිත් තිබ්බෙ මුනාරිගෙ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන. මේ වගේ ප්‍රශ්නයක් අපේ ගෙදර කතා කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. මොකද අපේ ගෙදර බිත්ති වලටත් කන් තිබ්බා. ඒ නිසා අපි වැල්ලවත්තෙ බීච් එකට ගියා. ඒ වෙලාවේ අජිත්‍ගේ මූණේ තිබ්බේ පුදුමාකාර අසරණ, පරාජිත බවක් වගේම පශ්චාත්තාපය වගේම වෛරයක හැඟීම්. ගල්පරයක් උඩ වාඩිවෙලා විනාඩි දහයක් පහළොවක් එක දිගටම බලාගෙන හිටියා මුකුත්ම කතා කළේ නැහැ. අජිත්ගේ ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා මන් දැක්කා.
අජිත් කියලා මං කතා කළාම මගේ දිහා බලපු අජිත් ස්ථිර හඬින් කිව්වෙ මට ලක්ෂ්මි ඕනේ…
අජිත්ට දැන් ලක්ෂ්මි හරියන්නේ නෑ නේද එයා බැඳපු ගෑනියෙක්
මම එහෙම කියද්දි අජිත් සමච්චලයට හිනා වුණා.
ලක්ෂ්මි කියන්නේ දැන් බැඳපු ගෑනියෙක් වුනාට එයා ගෑනියෙක් වුණේ මගේ අතින්. අජිත් මුහුද දිහා බලාගෙනම කිව්වා.මට ඇති වුණේ ඒ මිනිහා ගැන කියන්න බැරි පිළිකුලක්. තමන් ඇත්තටම ආදරේ කරපු කෙනෙකුට පිට මිනිහෙක් ඉස්සරහා ඒ කෙනාගේ ආත්මගරුත්වය නැතිවෙන විදිහට මෙහෙම කතා කියන්න පුලුවන් ද?
ඒක මම දන්නෙ නැහැ ඒත් දැන් නිත්‍යානුකූලව ලක්ෂ්මි අයිති අභිරාම්ට එයාලා සතුටින් ඉන්නවා. ඒ ගැන හිතලවත් අජිත් හිත හදාගෙන ලක්ෂ්මිට පාඩුවේ ඉන්න දෙන්න.
මට ලක්ෂ්මිගෙන් තොරව කිසිම දෙයක් හිතන්න බෑ මල්ලි. මට ලක්ෂ්මිව මගෙ ළඟට ගන්න උදව් කරන්න. බඳින්න කලින් මට එයාව අරගෙන යන්න කියලා එයා කිව්වා. ඒත් ඒ වෙනකොට මම ඒකට සූදානම් නෑ. අප්පටත් අසනීප වෙලා තිබ්බ හොඳටම, අක්කගේ වෙඩින් එකක් තිබ්බේ ඒ ළඟමයි. ඉතින් මේ හැමදේත් එක්කම මට ලක්ෂ්මිව අරන් යන්න එපා පුළුවන් කමක් තිබ්බෙ නෑ. මං එයාට කිව්වා පුලුවන් තරම් ඉවසලා මේ වැඩේ පස්සට දාගන්න ට්‍රයි කරන්න කියලා.
එයා අන්තිම මොහොතේ ඔයාට කිව්ව නේද එයාව එක්කන් යන්න කියලා. දැන් මං හිතන්න ඔයා ලක්ෂ්මිට පාඩුවේ ඉන්න දුන්නොත් හොඳයි කියලා.
මං එහෙම කියද්දි අජිත් මගේ දිහාවට හැරුණා. ඒ ඇස් වල තිබ්බෙ තරහක් ද දුකක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා.
එහෙම කොහොමද අමතක කරන්නේ මම හිතුවේ මට එක් කරන්න පුළුවන් වෙයි කියලා. මිනිස්සු මිනිස්සුන්ට ඇබ්බැහිවීම කියන්නේ භයානක දෙයක්. මිනිස්සු මිනිස්සුන්ට ඇබ්බැහි වුණාම තමන්ට තමන්වත් නැතිව යනවා.
හිත අපේ නම් ජීවිතෙත් අපේ නම් අපේ හැඟීම් වල පාලනය අපිම කරගන්න ඕනෙ බවත් ජීවිතය අලුතින් පටන් ගන්න අලුත් දේවල් කරන්නත් පුළුවන් තරම් වැඩ වල යෙදිලා අතීතය අමතක කරන්නත් කියලා මම අජිත්ට කිව්වා. අජිත් මං කිව්ව දේවල් වලට එකඟ බව පෙන්නුවා.. ඇත්තටම මම හිතුවේ වෙලාවේ අජිත් හිත හදාගත්තා කියලා. එදා ගෙදර එනකොට රෑ නමයත් පහුවෙලා.. දැන් රෑ වෙලා රෝන්ද ගහන්නත් යන්න පුරුදු උනාද කියලා අපෙ අම්මා දෝස් මුරේ තිබ්බා. අම්මල කියන්නෙම දරුවන්ගේ ජීවිතවලට නරකක් වෙයි කියාලා හැමතිස්සෙම ඉන්නේ විමසිල්ලෙන් ඉන්න කොටසක්..
මම නම් කැමති නෑ ඔයා ඔය කොල්ලත් එක්ක වැඩි ඇයි හොඳයි තියාගන්නවට. ඔය කොල්ලත් එක්කනේ ඔය වලපනම්ගේ කෙල්ල කලින් යාලු වෙලා හිටියේ. අපේ අම්මා රොයිටර් සේවය වගේ, ගොඩක් දේවල් දැනගෙන ඉඳලා. ඔය කොල්ලා ආයෙ යන්න එන්න තියාගත්තේ මොකක්ම හරි හිතේ තියාගෙන කියලා මට හිතෙනවා. මොකක් හරි අනතුරක් වෙයි කියලා මට හිතෙනවා.. අපේ අම්මා එහෙම කිව්වා.
මල්ලි මොකද උනේ මල්ලි.. හවස අජිත් ඔයාලගෙ ගෙවල් පැත්තට එනවා මම දැක්කා..
අජිත් අයියා ගෙදර ආව තමයි. අපි ටිකක් කතා කරන්න ගියා. මම මිනිහට පැහැදිලි කරලා දුන්නා. ඔයාගේ පස්සෙන් තවත් එන එක තේරුමක් නැහැ කියලා. එයා තේරුම් ගත්තද නැද්ද දන්නෙ නෑ. ඒත් මං එයාට පැහැදිලි කරලා කිව්වා. ඒත් මම හිතන්නේ ඔයාට පරිස්සම් වෙන එක හොඳයි කියලා.
අභිරාම් ගිහින් මාස තුනකට විතර පස්සෙ මුනාරිවත් කැනඩාවට ගන්න සේරම ලෑස්ති කරලා තිබ්බා. මුනාරි ඒ බව කියද්දි මට දැනුනේ පුදුම සතුටක් වගේ නිදහස් බවක්. මුනාරිට රට යන්න තිබ්බෙ හරියටම දවස් තුනයි. හවස හයට විතර මුනාරී මට කෝල් කළා. මම ඒ වෙලාවේ හිටියේ පහුවදාට දෙන්න තිබුණු වැදගත් ප්‍රොජෙක්ට් එකක අවසාන ටික කරන ගමන්. ඒ නිසා පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් යැව්වා. පැයක් යන්න කලින් අපේ ගෙදරින් කෝල් එකක් ආවා.
පුතා…
මට ඇහුනේ අපේ අම්මගේ වෙව්ලන කට හඬ.
කියන්න අම්මෙ ඇයි? මම මේ හදිසි වැඩක ඉන්නෙ.
පුතා…ලක්ෂ්මි දුව…
ඔව් ඉතින්
ඔයා ඉක්මණට කලුබෝවිලට යන්න. එතන තාත්තයි වාලපනම් අංකලුයි ඇති. ඔයා කලබල නොවී පරිස්සටමට යන්න. මේ වෙලාවේ එයාලට අපේ උදව් ඕනේ.
මට මොනවත්ම හිතා ගන්න බැරි වුණා. මම පුලුවන් තරම් ඉක්මණින් කලුබෝවිලට ගියා. මම යන කොටම වාලපනම් අංකල් ඉස්සරහට දුවගෙන ඇවිත් මාව බදාගත්තා.
අර මිනිහා මගෙ කෙල්ලට පිහියෙන් ඇණලා පුතා… ඉකිය අතරින් වාලපනම් අංකල් එහෙම කියද්දි මගේ දෙපතුලේ ඉඳලා ඉස්මුදුන දක්වා විදුලියක් ගියා.
අපි ගෙදර කවුරුත් හිටියෙ නෑ, රංජිත්ලගේ වත්ත ළඟදි තමයි පිහියෙන් ඇණලා තියෙන්නෙ. මේ කෙල්ල මොකට එතන ගියාද කඩවනේ…
තාත්තාලගේ පපුව අස්සෙ දරුවො වෙනුවෙන් පොදි ගැහිලා තියෙන ආදරේ මහමෙරක් කියලා මම එදා තේරුම් ගත්තා. මුනාරිට සිහිය ඇවිත් පැයකින් විතර අපිට කතා කරන්න ලැබුණා. මුනාරි මගේ අත අල්ල ගත්තා.
මං වැරැද්දක් කළේ නෑ ශෂී මල්ලි. අන්තිම වතාවට මුණ ගැහෙන්න එන්න කිව්වා. හෙට එයා බඳිනවා.. මම දීපූ තෑගී සේරම අරගන්න එන්න කියලා තමයි කිව්වෙ. යන්න කලින් තමයි ඔයාට කෝල් කළේ, මොකද්ද කරන්නෙ අහන්න. නොයා ඉන්න හිටියට එක දිගටම කෝල් කළා, ගේ ළඟටම ඇවිත් කතා කරගෙන ගියේ, අම්මයි අප්පයි ගෙදර හිටියා. මම එයාලට හොරෙන් ගියා. ඒත් මම හිතුවෙ නෑ. මුනාරි අමාරුවෙන් කියද්දි මගේ පිරිමි ඇස් වල කඳුලු පිරුණා.
මට තව එකම එක දෙයක් කියන්න තියෙනවා, ටිකක් පාත් වෙන්න පුලුවන්ද?
එයා අමාරුවෙන් හිනාවෙන්න උත්සහ කරන ගමන් කිව්වා.
මම එයාගේ මුණට පාත් වුණා. එයා ඇස් මගේ ඇස් වල නැවතුනා. එයා ඇස් වලින් හිනා වුණා.
මගේ පළවෙනි ආදරේ ඔයා, මං ඔයාව දැකපු දවසෙ ඒ කියන්නෙ පුංචිම කාලේ ඉඳලා ඔයාට ආදරේ කළා. ඔව් මම ඔයාට ආදරෙයි ශෂී… මගේ අතක් තදින් අල්ලන් අමාරුවෙන් කියපු එයා සදහටම ඇස් දෙක පියා ගත්තා.
දිශාන්ති වෙදගේ
Leave feedback about this