මව් දෙමව්පියන් හිතන්නේ දරුවන්ගේ ජිවිතයේ භෞතික අවශ්‍යතාවයන් සියල්ල සම්පුර්ණ කිරිමෙන් තමන්ගේ යුතුකම් සියල්ලම දරුවන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ වුනා කියලයි. තමන්ගේ බාලකාලයේ නොලද සහ ඉටු නොවුන භෞතික අවශ්‍යතාවයන් දරුවන් වෙනුවෙන් නම් කෙසේ හෝ ලබා දෙන්න අවශ්‍යයි යන සාධාරණ සිතුවිල්ලෙන් දෙමව්පියන් පසු වෙනවා.
නමුත් ඔවුන් නොදැන සිටියට රැකියාව සහ ගෘහ ජිවිතය අතර වු සමබරතාවයක් නොවුනහොත් එයින් දරුවන්ගේ මානසිකත්වයට බෙහෙවින් බලපාන බව කැනඩාවේ බ්‍රිතාන්‍ය කොළම්බියාවේ පර්යේෂකයන් පිරිසක් සඳහන් කරනවා.
මේ තත්වය අපිට සාමාන්‍ය ජිවිතයේදි වුනත් බොහෝ සෙයින් සාධාරණයි. මේ තරම් උගත් වැදගත් පවුලක්…. නෑ කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඒත් මේ දරුවෙක් ….අනේ නැති නාස්ති වෙන හැටි… කියලා ඔබ අකම්පහල වුන අවස්ථාවන් ගැන අත්දැකිම් ඔබේ ජිවිතයේ මොන තරම් ඇත්දැයි ඔබම දන්නවා ඇති. ජිවත්වෙන්න මුදල් අවශ්‍ය බව ඇත්ත. නමුත් දරුවන්ට මානසික ලෙසිනුත් මව්පියන් සම්බන්ධ වු බන්ධනය අවශ්‍යයි.
ඉහළ වෘත්තිකයන්ට තමන්ගේ රැකියාවේ තිබෙන වගකීම් ඉතාම ඉහලයි. ශ්‍රමයෙන් නොවුනත් මේ රැකියාවේ වගකිම් සහ යුතුකම් සමග ඔවුන් ඉබේටම බද්ධව සිටිනවා. ඒ වගේම සමාජ ජිවිතය තුලත් ඔවුන්ට තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් ඉහලයි. දෙවියන්ගේ කාරියටත් වඩා රාජකාරිය ඉහළ බව ඇත්ත නමුත් මේ අතර ගෘහ ජිවිතයටත් කිසියම් වටිනාකමක් ලබා දිම අවශ්‍යයි.
පොඩි දුවගේ සිනා වැලයි – පොඩි පුතුගේ කතා පෙලයි
පිය බිරිඳගේ සෙනෙහ විලයි – මගේ නිවන මගේ පැල්පතයි
යන තැන අපිට නවතින්න පුලුවන් වෙන විදිහට රැකියාවයි ගෘහ ජිවිතයයි සම්බන්ධ කර ගැනිම අවශ්‍යයි.
අද බොහෝ දෙනා රැකියාවටත් වඩා රැකියාව තුළින් ලැබෙන අතුරු ආර්ථික වාසි පසුපස ඔවුන් හඹා යනවා. මේ නිසා සති අන්තය පවා නිවසේ රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. සතියේ දින පහම පාසල සහ අතිරේක පංති අතර යොමුන සිටින දරුවා නිවසේ සිටින්නේ සති අන්තයේ පමණක් විය හැකියි. මේ දින දෙකත් මව්පියන් තමන්ගෙන් දුරස්ථ වුනාම දරුවන් බොහෝ විට හුදෙකලා වෙනවා. මේ හුදෙකලාව ඔවුන්ගේ මානසිකත්වයටත් බලපානවා.
සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි වුනත් මුදල් කියන්නේ ජිවිතය නොවෙයි. එය ඔබට සිතන්නම වෙනවා. අද මත්ද්‍රව්‍ය සහ වෙනත් අකටයුතු වෙනුවෙන් යොමුව සිටින දරුවන් ගැන පසුවිපරමේ යෙදෙනෙ විට පෙනෙන්නේ මේ දරුවන් බොහොම වැදගත් සහ ධනවත් පවුල් පසුබිමක් ඇති අය බවයි. එහෙත් මේ දරුවන් කරන්නේ කුමක්ද ? දවස ගෙවෙන්නේ කෙසේද ? යන්න දෙමව්පියන් දැන නොසිටි නිසා සමාජ අකටයුතු වෙනුවෙන් යොමුව ඇති බවයි.
මෙම අධ්‍යයනයේ ප්‍රධානි මනෝවිද්‍යාඥ කොස්ටාඤුයන් කුෂ්ලෙව් සඳහන් කරන්නේ රැකියාව සහ ගෘහ ජිවිතය සමග අන්තර් සම්බනධතායක් නොමැති දෙමව්පියන් මුලිකත්වය දෙනු ලබන්නේ රැකියාවටයි. රැකියාවේ ස්වභාවය සමග දරුවන් ඔවුන්ට කරදරයක්. රැකියාවේ ඉලක්කයන් සමග හැල්මේ යන ගමන තුළ දරුවන් නොවැදගත් කොට්ඨාශයක් නිසා දරුවන් ඉබේටම ප්‍රතික්ෂේපිත කොටසක් බවට පත් වෙන බව ඔහු සඳහන් කරනවා. මේ තත්ත්වය ධනවත් පවුල්වල වඩාත් දැක ගන්නට ලැබෙන බව ඔහුගේ අදහසයි.
මිට පෙරාතුව සිද්ධ කරන ලද අධ්‍යයන මගින්ද පෙන්වා දුන්නේ රැකියාවක නිරත වෙන විටත් කාන්තාවන්ගේ අවශ්‍යතාවය ඒ අතර කැපී පෙනෙන චරිතයක් විමයි. මේ නිසා රැකිාවටම ඔවුන්ගේ කැපවිම නිසා දරුවන් මග හැරෙනවා. අනෙක් අතට රැකියාවේ ස්වභාවයට අනුව වගකිම් පවතින විටත් කාන්තාවට ඒවායෙන් මිදෙන්නටත් බැහැ. ඒ වගේම තමන්ගේ වටිනාකමට එයින් හානියක් සිදු වෙතැයි සිතන නිසාමත් රැකියාව ප්‍රමුඛත්වය තබා සලකනවා. මේ නිසා මවක , බිරිඳක ලෙසින් ඇගේ යුතුකම් ගිලිහීම සාමාන්‍ය සිද්ධියක් ලෙසින් සලකනු ලබනවා. නමුත් දරුවන්ට මව, පියා රැකියාව සහ සමාජයේ දරන තරාතිරම ගැන අවබෝධයක් නැහැ. මේ නිසා ඔවුන් තුළ මව්පිය බන්ධනයෙන් සහ සමිපතාවයෙන් වියුක්ත වු මානසිකත්වය නිසා ඇති වෙන හිස් බවට විකල්ප සොයනවා.
මෙහි අවසථා කිපයක් තිබෙනවා. ඇතැම් දරුවන් මෙම හිස්කම වෙනුවෙන් වැරැදි කටයුතු වෙනුවෙන් යොමු වෙනවා. එහිදී වැරදි මිතුරන් සහ පුද්ගලයන් වෙතට යොමු වෙනවා. තමන් වෙනුවෙන් කුමන හෝ තෘප්තියක් සොයමින් සිටින විට මත්ද්‍රව්‍ය හෝ මත්පැන්, දුම්පානය වැනි අහිතකර උත්තේජකයන් වෙතට යොමු වෙනවා. ෆේස් බුක්, අන්තර්ජාල වැනි සමාජ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ හුදෙකලා බව පිරිමසා ගැනිමට යොමු විමෙන්ද අහිතකර තත්වයන්ට නොදැනම යොමු වෙනවා.
මව්පියන් නිවසේ නැති වේලාවට දරුවා කාලය ගෙවන්නේ කොහොමද ?
ඒ පිළිබඳව මව්පියන් සොයා බැලිය යුතුමයි. ඔබ උදේට නිවසෙන් බැහැර ගිය පසු එතැන් පටන් දරුවාගේ චර්යාව සහ කාලය ගෙවෙන අන්දම ගැන දැන සිටිමත් අවශ්‍යයි. එවිට අම්මා, තාත්තා තමා ගැන විමසිල්ලේ සිටින බවට වු සහතිකය හෝ දරුවාට තිබෙනවා.
මේ කිසිම අනතුරු කටයුත්තකට යොමු නොවුත් තමන්ගේ මානසික හුදෙකලා බව නිසාම ඇති වෙන හිස්කම නිසා තරුණ වියට පත්විමත් සමග අවපිඩන තත්වයට හෝ සාංකාව, මානසික තෙහෙට්ටුව වැනි සුළු මානසික රෝග තත්වයන්ට පවා දරුවන් පත් වෙනවා. ඒ වගේම තමාගේ බාල කාලය තුළ කිසිදු ආදරයක්, සමිපතාවයක් හෝ ආරක්ෂාවක් ලබා නොදුනානය යන ආත්මිය පසුතැවිල්ල නිසා මව්පියන් සමග නොදැනම වෛරයක් ගොඩ නැගෙන තත්වයක්ද ඇති විමේ අවදානමක් තිබෙනවා.
නමුත් අද කාලයේ හැටියට රැකියාවකින් තොරව ජිවිතයේ ආර්ථික කටයුතු සපුරා ගැනිම අපහසුයි. රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම තුළ අපි සිටිය යුතුයි. මේ නිසා රැකියාවට සහ පවුලටත් වැදගත් බවක් ලබා දිම අවශ්‍යයි. ඔබට හැකි සෑම අවස්ථාවක්ම දරුවා සමග ගත කරන්න. රැකියාවේ ප්‍රශ්න සහ වැඩකටයුතු නිසා පවුල් ජිවිතය තුළ වෙහෙසක් ඇති කර ගන්න එපා. පවුලේ කටයුතු පවුල තුළත් රැකියාවේ කටයුතු කාර්යාලයේ භුමිකාවටත් සිමා කර ගන්න.
අද සෑම පවුල් ජිවිතයකම කාලය ජංගම දුරකථන, රූපවාහිනි, පරිගණක සහ වෙනත් සමාජ වෙබ් අඩවි සමග කාලය ගෙවෙන්නට යොමු වෙලා. මේ නිසා දරුවන් සහ මව්පියන් අතර සුහද කතාබහක් හෝ පිළිසඳරක් නැත්තේම නැති තරමට පත්ව තිබෙනවා. රැකියාවේ උසස්විම් වෙනුවෙන් අවශ්‍ය වෙතත් සුදුසුකම් සපුරා ගැනිම වෙනුවෙන් ඔබට පාඨමාලාවන්, වැඩසටහන් සහ වෙනත් වෘත්තිමය අවස්ථාවන් ඇති විටෙක දරුවන්ගේ ජිවිතය සමග එය ගලපා බලන්න. ආර්ථික වශයෙන් ලැබෙන වාසි සහගත බවට වඩා යම් හෙයකින් මේ කාලය තුළ ඔබේ දරුවාට ඔබගෙන් ලැබෙන ආරක්ෂාව සහ මානසික අවශ්‍යතාවය ඊට වඩා වැදගත් නම් එම අවස්ථාව අනාගතයට හෝ විකල්ප වෙනුවෙන් භාර කරන්න.
අදින් දශක තුන හතරකට එපිටදි අම්මාවරුන් හෝ අප්පච්චිලා රැකියාවේ යෙදුනේ නැත. ඒ තරමටම ඔවුන්ගේ ආර්ථිකත්වය ශක්තිමත්ව පැවැතුණි. අද ඉහළ තානාන්තරයන්හි සිටින බොහෝ පිරිස සිය දෙමව්පියන් ගැන කතා බහ කරන්නේ මයේ අම්මා ….අප්පච්චි මේ ලෝකයේ දෙවිවරුන් තරම් වූ ගෞරව අභිමානයෙන්ය. එහෙත් අද දරුවන් තමන්ගේ මව්පියන් ගැන කතා බහ කරන්නේ අම්මලාගේ කාලයේ වගේ නෙවෙයි.. අපේ අම්මලා තාත්තලා මොනවාද දන්නේ….? අන්දමට දෙමව්පියන් ගැන අවතක්සේරුවෙන්ය. තමන් ගැන නොසැලකිමෙන් ලද සියුම් වෛරයක් දරුවන්ගේ සිතේ ඇත. මේ තත්වයෙන් ඔබ මිදෙන්නට නම් රැකියාව සහ පවුල යන භුමිකාව තුළ ඔබේ හැසිරිම ඉතාමත් බුද්ධිමත් ලෙසින් පැවැතිය යුතු බව අමතක නොකරන්න.
සටහන,
පුන්‍යා චාන්දනී ද සිල්වා.
Leave feedback about this