මේ මොහොත වන විටත් අපේ රටේ දරුවන් කී දෙනෙක් ලිංගිකව අපයෝජයන් වල ගොදුරු බවට පත්ව සිටිනවා ඇති ද? බොහෝ විට දරුවන් ගොදුරක් වන්නේ පවුලේම සමීපතයන්ටම හෝ දෙමාපායන් විශ්වස කරන පුද්ගලයන්ටමය. වරතමානය වන විට ගැහුණු දරුවන් පමණක් නොව පිරිමි දරුවන් ද ලිංගිකව අපයෝජය වීම ඉහළ ගොස් ඇත. මෙවැනි අපයෝජනයකට ලක් වන දරුවන්ගේ පෞරුෂත්වය, ආත්මාභිමානය බිඳ වැටී ඔවුන් වැඩිහිටියන් වන්නෙ බිඳුණු මනසකින්ය. දරුවන් මෙම තත්ත්වයේ මුදවා ගන්නට දෙමාපියන් ලෙස අප පැවරී ඇත්තේ සුවිශාල වගකීමකි. දෙමාපියන් වන අපට අපේ ජීවිත වල වටිනාම සම්පත දරුවන්ය. ඒ වටිනා සම්පත් සුරක්ෂිත කරගන්නට දෙමාපියන් වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ දැනුවත් වෙමු.
දරුවකුගේ ජීවිතයේ සමීපතයන් වන්නේ නිවැසියන්ය. ඒ සමීප බව නිරායාසයෙන් ගොඩ නැගෙන්නෙ නැත. දරුවාට තමන්ගේ සිතුවිලි හා ගැටලු නිදහසේ පැවසිය හැකි පරිසරයක් ගොඩනැගිය යුත්තේ දෙමාපියන්ය.ඔවුන්ට ඇතිවන ඕනෑම ප්‍රශ්නකාරී තත්ත්වයක දී ඔවුන් සමඟ සිටිව බව දරුවාට දැනෙන්නට දෙමාපියන් ක්‍රියා කළ යුතුය. බාහිර ලෝකයේ දී ඇති විය හැකි අවදානම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න. සමාජයේ විවිධාකාර පුද්ගයන් සිටින බවත් ඔවුන්ගේ අදහස් ක්‍රියාවන් පමණට වඩා විශ්වාස නොකරන්නටත් කියාදෙන්න. දවස අවසානයේ දෙමාපියන් දරුවන් සමඟ එකට හිඳ එකිනෙකාගේ අදහස් සුහදව හුවමාරු කරගන්නට කාලයක් වෙන් කර තබා ගන්න.
ලිංගික අපචාර පිළිබඳ ඔවුනේගේ වයසට ඔබින් ලෙස සාකච්ජා කොට ඔවුන්ව දැනුවත් කරන්න. දරුවාට “ලිංගික අපයෝජනය” කියන්නෙ මොකක්ද කියලා සරලව කියා දෙන්න. කවුරුම පුද්ගලයෙක් තමන්ව අපහසුතාවයට පත් වෙන විදිහට තමන්ගේ ශරීරය ස්පර්ශ කරන විට, අසභ්‍ය වීඩීයෝවන් බලෙන් පෙන්වන්න උත්සහ කරන විට, තමන්ගේ අවසරයකි තොරව ශරීරයේ විවිධ ස්ථාන හෝ ශරීරයේ චායාරූප ගන්න උත්සහ කරන විට ඒක අපයෝජනයක් බව කියාදෙන්න.
කුඩා අවදියේ සිටම දරුවාට තම ශරීරයේ කොටස් පිළිබඳව, තම ශරීරයට ඇති අයිතිවාසිකම් සහ පුද්ගලිකත්වය පැහැදිලිව කියා දිය යුතුය. තමන්ගේ ශරීරය කිසිවෙකුටවත් තම කැමැත්තෙන් තොරව ස්පර්ශ කිරීමට හෝ බැලීමට අයිතියක් නැති බව ඔවුන්ට කුඩා අවදියේ සිටම අවධාරණය කරවන්න. අනවශ්‍ය ස්පර්ශයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න.තමන්ගේම පවුලේ කෙනෙකු වුවත් අනවශ්‍ය ලෙස සිපගැනීමට, ලිංගික අවයව ස්පර්ශ කරන්නට හා අනවශ්‍ය ලෙස ශරීරය ස්පර්ශ කරනවා නම් වහාම මව, පියා හෝ විශ්වාස වන්තම වැඩිහිටියකු දැනුවත් කරන්නට දරුවන්ව කියා දෙන්න. තමන්ගේ ජීවිතයේ වටිනාකම තමන් සතු බවත් එය රැක ගැනීමට බිය විය යුතු නැති බවත් ඔවුන්ට කුඩා අවදියේ සිට ඒත්තු ගන්වන්න.
දරුවාට මතක තැබිය යුතු වචන 3ක් උගන්වන්න
- එපා
- ඉවත්වෙන්න
- කියන්න
අනවශ්‍ය ලෙස තමන්ව ස්පර්ශ කරනවා නම් එපා කියන්නටත් එතැනින් වහාම ඉවත් වන්නටත් සුදුසු වැඩිහිටියෙකුට දැනුම් දිය යුතුබවත් දරුවාගේ මනසට කුඩා කළ සිටම අවධාරණය කරන්න. දරුවාට අවස්ථාව අනුව උපක්‍රම ශීලිව පලා යාමට හෝ කෑ ගසා හෝ අවදානමෙන් මිදී යන්නට කියා දෙන්න. ලිංගික අපචාරයක් සිදු වුවා නම් කිසිවිටෙකත් රහසක් විදියට තබා ගන්නට එපා යැයි දරුවන් දැනුවත් කරන්න.
දෙමාපියන් දරුවන්ව මොනතරම් දැනුවත් කොට ඔවුන් සමඟ සමීප බැඳිමක් ඇති කරගෙන තිබෙන අවස්ථා වල දී පවා දරුවන් දූෂකයාට ඇති බිය නිසා තොරතුරු සඟවන්නට ඉඩ ඇත. එම නිසා දෙමාපියන් නිරතුරුවම දරුවා හැසිරීම පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතුය. අපචාරයන්ට ගොදුරු වන දරුවාගේ සාමාන්‍ය හැසිරීමෙහි වෙනසක් ඇතිවේ. නින්ද නොයාම, නිතරම බියෙන් පසු වීම, නිතරම කල්පනා කිරීම, සුලු දෙයකට පවා කෝපයට පත්වීම, අධ්‍යාපන කටයුතු අඩාල වීම, පුද්ගලයන් සමඟ ගැවසීම ප්‍රතික්ෂේප කිරීම, තනිව සිටීමට උත්සහා කිරීම වැනි ලක්ෂණයන් ඇති විය හැකිය. දරුවා අපයෝජනයට ලක්වන ස්ථානයට යාමට ප්‍රතික්ෂේප කිරීම සිදු කළ හැකියි. උදාහරණයක් ලෙස පාසලේදී නෑ දෑ ගෙදරකදී දරුවා අපයෝජනයට ලක් වූ වා නම් එම ස්ථාන වලට යාමට දරුවා ප්‍රතික්ෂේප කරයි.
අවුරුදු දහඅටක් වනතුරුවත් දරුවාගේ අන්තර්ජාල භාවිතය දෙමාපියන් විසින් නිරීක්ෂණය කරන්න. ඔවුන්ට අනාරක්ෂිත වෙබ් අඩවි, අසභ්‍ය පණිවිඩ සහ නොදන්න පුද්ගලයන් ආරාධනාවන් ලැබීමට හැකි බව දැනුවත් කරන්න. කිසිඳු පුද්ගලයෙකුට තම නිරුවත් හෝ ශරීරයේ ජායාරූප හෝ වීඩියොවන් නොයවන ලෙස දැනුවත් කරන්න.
සමස්ථයක් වශයෙන් දරුවන් ගත් කළ ඔවුන් රටේ අපගේ අනාගතයයි. ඔවුන්ව ආරක්ෂා කොට රැක ගැනීම අප සියල්ලන්ගේ වගකීමකි. මග තොටක දරුවෙකුට අකටයුත්තක් සිදු වන් විට ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටින්න. කිසිවෙකුටත් මේ කැකුලු තලා පෙලන්නට ඉඩ නොදෙන්න.
සටහන
දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය


Leave feedback about this