Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය වයස අවුරුදු දාසයෙන් පස්සෙ සෙක්ස් කරාට කමක් නැද්ද?
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

වයස අවුරුදු දාසයෙන් පස්සෙ සෙක්ස් කරාට කමක් නැද්ද?

නවයොවුන් විය කියන්නේ ඉතාම වේගයෙන් කායික, මානසික සහ ආධ්‍යාත්මික වර්ධනයක් සිද්ධ වෙන කාලයක්. අවුරුදු දාසයේදි විතර ලිංගිකත්වය පිළිබඳ කුතුහලයක් එන එක මේ දරුවන්ගේ සාමාන්‍ය හා ස්වාභාවික දෙයක්. හැබැයි නිසි මඟ පෙන්වීමක් දුන්නේ නැත්නම්, මේ දරුවෝ ඉවර වෙන්නේ සෞඛ්‍යමය, නීතිමය හා සමාජයීය අවදානම් රාශියක් එක්ක.

මේ ලිපිය තුළින් කියන්නට උත්සාහ දරන්නේ නීතියට අනුව වයස දාසය සම්පූර්ණ දරුවෙකුට ලිංගිකව එකතු වීම සඳහා කැමැත්ත දිය හැකි වුවත් දෙමව්පියන්, වැඩිහිටියන් විදියට මේ කාරණාව විද්‍යාත්මකව තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

වැඩිවිය පත්වීමත් සමග නිපදවෙන ඊස්ට්‍රජන් හා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනවල ක්‍රියාකාරීත්වය සමග ලිංගික ආකර්ෂණය, ලිංගිකත්වය පිළිබඳ කුතුහලය සහ ලිංගික අත්දැකීම් පිළිබඳ සිතිවිලි මවන්න නව යෞවනයෝ පුරුදු වෙනවා. ඒ හින්දා මේ නව යොවුන් වයසේ දරුවෝ එයාලගේ ආදරණීය සිතුවිලි එක්ක එයාලා කවුද? තමන්ගෙ ලිංගික අනන්‍යතාවය මොකක්ද? වගේ කාරණා එක්ක එක එක විදියේ සම්බන්ධකම් අත්හදා බලන්න උත්සාහ කරනවා. තීන්දු තීරණ ගන්න, හොඳ නරක හොයලා බලන්න, හරියට තීරණයකට එළඹෙන්න හැකියාව ලබා දෙන අපේ මොළේ පූර්ව මස්තිෂක බාහිකය අවුරුදු විසිපහ පමණ වන තුරු වර්ධනය වී අවසන් නොවන අතර නව යොවුන් දරුවෙක් මේ හැඟීම් කළමනාකරණය කරගන්නේ මොළයෙන් කල්පනා කර නොව හදවතට දැනෙන ආකාරයටයි. ඒ නිසාම සාමාන්‍ය ලිංගික චර්යාව, කුතුහලයක් ලෙස අපි දුටුවත් ඒක තව කෙනෙකුට තියෙන ආකර්ෂණයක්, තව කෙනෙකුට විසුලු කිරීමක්, රැවටීමක් එසේත් නැතිනම් තව කෙනෙක් හමු වෙන්න යාමක්, ලිංගිකත්වය ගැන ප්‍රශ්න කිරීමක් දක්වා වෙනස් වෙනස් ආකාරවලින් අපිට දැකිය හැකියි.

මෙහිදී වැදගත්ම දේ වන්නේ ලිංගික ආසාවක් ඇති වෙනවා කියන එක සාමාන්‍ය තත්වයක් වගේම ලිංගික ආශාවක් ඇති වූ පමණින් ලිංගිකව හැසිරිය යුතුයි කියන දේ නොවන බව අප අවබෝධ කරගත යුතුය. ඒ කියන්නේ ලිංගික හැඟීමක් උද්දීපනය වන තැනැත්කෙන් ලිංගික හැසිරීමකට සූදානම් කියලා අපි හිතන එක නතර කළ යුතුයි.

ලංකාවේ නීතියට අනුව ලිංගික හැසිරීම සඳහා කැමැත්ත දෙන්න පුළුවන් වයස, අවුරුදු දහසයයි. අවුරුදු දාසයට අඩුවෙන් කරන මොනම ආකාරයේ හෝ ලිංගික ක්‍රියාකාරකමක් ව්‍යවස්ථාපිත දූෂණයක් යටතට වැටෙනවා. වයස දහසයට අඩු දරුවෙක් කැමැත්තෙන් ලිංගිකව හැසිරුණත් ඒ නිතියට අනුව එය දූෂණයක් ලෙස සැලකෙනවා. මේ නීතියට හේතුව දරුවන් ලිංගික සූරා කෑමට ලක්වීම වළක්වා ගැනීමයි. නීතියේදී වයස දාසය කියන්නේ ඒ සඳහා අපි හිතන්න ඕනේ අවම මිනුම් දණ්ඩ බව ඉතාම වැදගත් වෙනවා.

කෙසේ වුවත් සෞඛ්‍ය සම්පන්න ලිංගික ක්‍රියාකාරකමක් සඳහා අදාල පුද්ගලයාගේ මොළය පරණිත වීම, ඒ පිළිබඳව ඇති දැනුම සහ ඒ පිළිබඳ අදාල පුද්ගලයා දකින වටපිටාව වැනි සියලුම කරුණු වැදගත් වෙනවා. මේ තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඇතැම් පාසැල්වල හතේ දරුවන්ගේ සිටම මේ පිළිබඳව දැනුවත් කරන්න අවශ්‍ය බව පසැල්වලින් පවසනවා.

අවුරුදු දාසයේදී උනත් ලිංගිකව හැසිරීමෙන් නව යොවුන් දරුවකුට කායික, මානසික සහ සමාජයීය අවදානම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා එයා දැනුමෙන් සන්නද්ධ විය යුතුමයි. ඒ වගේම එවැනි ක්‍රියාකාරකම් මගින් ඇති විය හැකි ගැටලු වලක්වා ගන්නත් ක්‍රියාමාර්ග සැලැස්මක් තිබිය යුතුයි.

අවුරුදු විස්සට අඩුවෙන් දරුවෙක් ගැබ්බර වෙන එකට අපි කියනවා අඩු වයස් ගැබ් ගැනීමක් කියලා. මවකට එන මාතෘ සංකූලතා, මාතෘ මරණ, අඩු වයස්/අඩු බර දරුවන් බිහිවීම, මලදරු උපත් වැනි සියලු දේ එම සංකූලතාවලට අදාල වෙනවා.
අනාරක්ෂිත ලිංගික එක්වීම් හින්දා HIV ඇතුළු ලිංගිකව බෝවෙන ලෙඩ රෝග හැදීමේ අවදානමක් තියෙනවා.
එවැනි ලිංගික එක් වීමකින් පසු මානසිකව දැනෙන පීඩනය නිසා මානසික ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනව.

ඉතාම අඩු වයසක දී මව්පියන් බවට පත් වීම දරුවෙකුට සිය පාසැල් ජීවිතය අහිමි කරනවා. එපමණක් නොවෙයි අධ්‍යාපන සුදුසුකම් වගේම වෘත්තීය අත්දැකීම් වගේම සුදුුසුකම් අහිමි වෙනවා. මේ කරුණ ළමා මවකට මෙන්ම ළමා පියෙකුටත් පොදුයි.
අඩු වයස් ගැබ් ගැබ් ගැනීමක් නිසා එවැනි දරුවන් සමාජයෙන්, පවුලෙන් පිළිකුල් කිරීමට ලක් වෙන අතර ඔවුන් හුදකලා බවට පත් වෙනවා.
ඒ වගේම එවැනි දරුවන් නැවත නවත දූෂණයට ලක් වීමට වගේම ලිංගික සූරාකෑමට, ශ්‍රම සූරා කෑමට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිවෙනවා.

මේ වයස් සීමාවන්වල දරුවන්ගේ පෙර කී පරිදි මොළය වර්ධනය අවසන් වී නොමැති නිසා තීරණ ගැනීමේ නොහැකියාවත් සමග ඔවුන් එතනින් එහාට ඇති විය හැකි දීර්ගකාලීන ප්‍රතිඵල ගැන අවබෝධයකින් තොරයි.
දරුවන් කතාබහ කරන්නෙත් සමවයස් දරුවන් සමග නිසා යහළුවන් කරන දේම අත්හදා බැලීමෙන් එකම චර්යාවන්වල නිරත වීම් වැඩිවිය හැකියි.

මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා වැඩිහිටියන්, දෙමව්පියන් හා නීති සම්පාදකයන් ලෙස අප කළ යුත්තේ මොනවාද?

ඔබ මව/පියා නම්

නිතරම විවෘතව, එයා මත පෙර තීරණයක් නොගෙන දරුවා සමග එයාගේ ලිංගික හැඟීම්, ලිංගික සම්බන්ධකම්, ආදර සම්බන්ධකම් ගැන කතා කරන්න. හිටි හැටියේ දරුවන් ඒ පිළිබඳ කතා කරනවා. එවැනි අවස්ථාවලදී දරුවන්ට බැන වැදී කෑ නොගසා සවන් දෙන්න.
නිවස තුළින්ම වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අරඹන්න. ඒක වටිනා ආයෝජනයක්.
කැමැත්ත දෙනවා කියන එක, එයාලට තියෙන සීමාවන් මොනවද කියන එක, එකිනෙකාට ගරු කරනවා කියන එක ගැන කියල දෙන්න. සමාජ මාධ්‍ය ඇතුළෙ මොනවද කරන්නේ, යාළුවොන්ගෙන් එයාලට තියෙන බලපෑම මොකක්ද මේ වගේ දේවල් ගැන විමසිලිමත් වෙන්න. එය එසේ වුවත් දරුවාට පෞද්ගලිකත්වය නොමැති වන තරමටම හැසිරීමෙන් වළකින්න.

වැඩිහිටියන් හෝ ගුරුවරුන් විදියට

පාසැල තුළ නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න. ලිංගික පද්ධතිවල ව්‍යුහය, ළමයෙක් වැඩිවිය පත්වෙනවා කියන්නේ මොකක්ද, හෝමෝන වෙනස්කම් කියන්නේ මොනවද කියන එක පැහැදිලිව උගන්වන්න. ඒ අතරේ අවයවවල තියෙන ඉතාම වැදගත් හිතට කා වදින තොරතුරුවලින් අරගෙන දරුවන්ව සාකච්ඡාවකට යොමු කරවන්න.

වයසට ගැලපෙන්න වැඩසටහන් කරන්න. ලිංගිකව එකතුවීම, එහෙම නැත්නම් කොහොමද ගැබ් ගැනීම වලක්වා ගන්නේ කියන එක, එහෙම නැත්නම් කොහොමද ලිංගාශ්‍රිත රෝග නිවාරණය කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න.

ගැලපෙන වයසෙදි ස්වයන් වින්දනය, ආදර සම්බන්ධතා, නිල් චිත්‍රපටි වැනි හැමදේම පිළබඳව දරුවන් දැනුවත් කරන්න.

කැමැත්ත දෙන විදිය, කොහොමද මොලේ කල්පනා කරලා බෑ කියන්නෙ කියන එක, කාටවත් හිත රිදවන්නේ නැතුව ඔයා ඔයාගේ තීරණය පෙන්නන්න කොහොමද කියන එක මේ දේවල් ජීවන නිපුණතා හරහා දරුවොත් එක්ක කතාබහ කරන්න.
දරුවන්ට නිදහසේ ප්‍රශ්න අහන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න.

නීති සම්පාදකයන්ට

  • නවයොවුන් දරුවන්ට හිතකර ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා ඇති තරම් ලබා දෙන එක තහවුරු කරන්න.
  • මේ දරුවෝ දිගින් දිගටම දූෂණය වෙන එක සහ ලිංගික සූරා කෑම්වලට ලක් වෙන එක වළක්වන්න දැඩි නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න.
  • හැකි තරම් නව යොවුන් දරුවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන්වලට අවස්ථා ඇති කරන එක වර්ධනය කරනවා වගේම, ඒවා ගැන තියෙන මිත්‍යා මත පාසැල තුළ මේ මැතෘකා කතා කළොත් දරුවන් නරක් වෙයි වැනි අදහස් ඉවත් කරන්න.
  • මේ සඳහා කළ හැකි පර්යේෂණ හැකි නම් අදාල සමාජ මට්ටම් තුළ ක්‍රියාත්මක කරන්න
  • අවසානගේ අපි කවුරුත් මතකයේ රඳවා ගත් යුතුතේ,
  • අවුරුදු දාසයේදී ලිංගිකත්වය පිළිබඳ කුතුහලයේ එන එක සාමාන්‍යයි. හැබැයි අපි පිටිපස්සෙන් ඉන්න ඕන.
  • අවුරුදු දාසයේදී නීතිමය අවස්ථාවක් දීලා තිබුනට ලිංගිකව එක්වීම, පරිණතභාවය සහ ඒකට අපි කොච්චර සූදානම්ද කියන එක මත තියෙන දෙයක් බව මතක තියාගන්න ඕනේ. නීතියෙන් දහසය කියලා කියන්නේ අවම නිර්ණායකයක් පමණයි.

නවයොන් දරුවෝ කල්තියා ලිංගික එක්වීම්වල යෙදීම නිසා සිදු විය හැකි සෞඛ්‍ය තර්ජන, සාමාජීය තර්ජන සහ ආධ්‍යාත්මික ප්‍රශ්න ගැන සිහි තබාගත යුතුයි
නව යොවුන් වයස කියලා කියන්නේ ඕනෑම දෙයක් හොයාබලන කාලේ මිසක් ඒක අත්හදා බලන කාලෙ නෙමෙයි. බිත්තියෙ තියෙන ස්විච් එකකට ඇඟිල්ල ගැහුවොත් කරන්ට් වැදෙනවා කියන එක ඒ දරුවත් දැනගන්න ඕනේ. හැබැයි ඒක දැනගන්ඩ ඕනේ කරන්ට් වද්දගෙන නෙමෙයි.

අන්න ඒකට වැඩිහිටි, දෙමව්පිය සහ නීති සම්පාදක යන සැවොම එක්වෙලා මේ දරුවෝ හරි දිශාවට රැගෙන යා යුතුයි. හරි මග පෙන්විය යුතුයි. එවිට නීතිගරුක, සෞඛ්‍ය සම්පන්න, වගකීම් සහගත, අතාම විශ්වාසයෙන් යුතු පිරිපුන් දරුවෙක් සමාජයට දායාද කළ හැකියි. ඒ සඳහා වයස අවුරුදු දහසය සම්පූර්ණ කළ විගස ලිංගිකව එකතු වීම ගැටලුවක් නොවේය යන අදහස සමාජගත කිරීමට වඩා යෝග්‍ය වන්නේ ඊට පෙර කළ යුතු බොහෝ දේ සඳහා මග පෙන්වීමයි.


සටහන

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය

Exit mobile version