Parent Pulse Blog සුව දිවිය පෝෂණීය සුව දිවිය විටමින් D අඩු වුණොත් මොකද වෙන්නේ?
පෝෂණීය සුව දිවිය සුව දිවිය

විටමින් D අඩු වුණොත් මොකද වෙන්නේ?

නොසලකා හරින්නම බැරි පුංචි විටමිනයක් ගැන දැනගනිමු

අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ගැන කතා කරන විට විටමින් D ගැන ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති. බොහෝ දෙනා විටමින් D කියන්නේ “හිරු එළියෙන් ලැබෙන විටමින් එකක්” ලෙස පමණක් සිතුවත්, ඇත්තටම එහි කාර්යභාරය ඊට වඩා පුළුල්ය.

විශේෂයෙන්ම අස්ථි සහ දත් නිරෝගීව තබා ගැනීම, කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගැනීම සහ මාංශපේශී ක්‍රියාකාරිත්වය සඳහා විටමින් D වැදගත් වේ. දරුවන්ගේ සහ යෞවනයන්ගේ වර්ධනයේදීත් එය විශේෂ වැදගත්කමක් ගනී.

එය එසේ වුවද විටමින් D මට්ටම අඩු වුණා කියලා හැමෝටම එකම රෝග ලක්ෂණ පෙනෙන්නේ නැහැ. සමහරවිට කිසිදු පැහැදිලි ලක්ෂණයක් නොපෙන්වා තිබිය හැකියි. ඒ නිසාම “මට කිසිම අමාරුවක් නැහැ, එහෙනම් විටමින් D ගැන බලන්න අවශ්‍ය නැහැ” කියලා සිතීම සුදුසු නැහැ.

කෙසේ වෙතත් විටමින් D ගැන අවබෝධයෙන් සිටීම, අවදානම් සාධක හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බව අපි කවුරුත් මතක තබා ගත යුතුයි.

විටමින් D කියන්නේ මොකක්ද?

විටමින් D ශරීරයේ ක්‍රියාකාරිත්වයට වැදගත් පෝෂකයකි. එය ආහාර මඟින් ලබාගත හැකි අතර, සමට හිරු එළිය ලැබෙන විට ශරීරයටම විටමින් D නිපදවාගත හැකිය. විටමින් D හි ප්‍රධාන කාර්යයක් වන්නේ කැල්සියම් සහ පොස්පේට් ශරීරයට නිසි ලෙස භාවිතා කිරීමට උපකාර කිරීමයි. මේ දෙකම අස්ථි සහ දත් වර්ධනයට හා ශක්තිමත්ව පවත්වා ගැනීමට වැදගත්ය. ඒ නිසා විටමින් D අඩුවීම කියන්නේ හුදෙක් “එක් විටමින් එකක් අඩු වීමක්” පමණක් ලෙස නොසලකා හැරිය යුතු දෙයක් නොවේ.

විටමින් D අඩු වුණොත් ඇතිවිය හැකි ප්‍රධාන බලපෑම් මොනවාද?

  • අස්ථි දුර්වල වීම – විටමින් D අඩුවීමේදී වඩාත්ම පැහැදිලිව සම්බන්ධ වන ප්‍රධාන කරුණක් වන්නේ අස්ථි සෞඛ්‍යයයි. විටමින් D ප්‍රමාණවත් නොවූ විට ශරීරයට ආහාරයෙන් ලැබෙන කැල්සියම් නිසි ලෙස අවශෝෂණය කරගැනීමට අපහසු විය හැකිය. දිගු කාලයක් පුරා දැඩි ඌනතාවක් පැවතුණහොත් අස්ථි දුර්වල වීමට ඉඩ තිබේ. දරුවන් තුළ දැඩි විටමින් D ඌනතාවය rickets නම් තත්ත්වයට හේතු විය හැකිය. මෙහිදී අස්ථි මෘදු හා දුර්වල විය හැකි අතර, වර්ධනය වන අස්ථිවල නිසි ව්‍යුහයට බලපෑම් ඇති විය හැකිය. යෞවනයන් සහ වැඩිහිටියන් තුළ දැඩි ඌනතාවය osteomalacia සමඟ සම්බන්ධ විය හැකි අතර, අස්ථි වේදනාව සහ මාංශපේශී දුර්වලතාව ඇති විය හැකිය.
  • අස්ථි හෝ ශරීරයේ වේදනාව – විටමින් D ඉතා අඩු මට්ටමක පවතින විට සමහර පුද්ගලයන්ට අස්ථි වේදනාව හෝ මාංශපේශී වේදනාව ඇති විය හැකිය. එහෙත් මෙහිදී වැදගත් දෙයක් තිබෙනවා. ශරීරයේ වේදනාවක් තිබුණා කියලා එය විටමින් D අඩුවීම නිසාම ඇති වූවක් යැයි කියන්න බැහැ. ශරීර වේදනාවට වෙනත් හේතු රාශියක් තිබිය හැකි නිසා, දිගින් දිගටම පවතින හෝ පැහැදිලි නොවන වේදනාවක් තිබේ නම් වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසුය.
  • මාංශපේශී දුර්වලතාව – විටමින් D ප්‍රමාණවත් නොවීම මාංශපේශී ශක්තියටත් බලපෑම් කළ හැකිය. විශේෂයෙන් දැඩි ඌනතාවයකදී මාංශපේශී දුර්වලතාව සහ මාංශපේශී වේදනාව ඇති විය හැකි බව වෛද්‍ය මූලාශ්‍ර පෙන්වා දෙයි. ඒ නිසා දරුවෙකු හෝ වැඩිහිටියෙකු පෙරට වඩා පහසුවෙන් වෙහෙසට පත්වන බවක්, මාංශපේශී ශක්තිය අඩු බවක් හෝ ශාරීරික ක්‍රියාකාරකම්වලදී වෙනසක් නිරීක්ෂණය කරන්නේ නම්, එය සරලව නොසලකා හැරීම වෙනුවට සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගැනීම හොඳ පුරුද්දකි.

දරුවන්ට සහ යෞවනයන්ට විටමින් D වැදගත් ඇයි?

දරුවන්ගේ අස්ථි වර්ධනයට සහ අස්ථිවලට අවශ්‍ය ඛනිජ එකතු වී ඒවා ශක්තිමත් වීම සඳහා විටමින් D වැදගත් වේ. දරුවෙකුගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ගැන කතා කරන විට අපි සාමාන්‍යයෙන් ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ සහ අනෙකුත් පෝෂක ගැන අවධානය යොමු කරනවා. ඒ අතර විටමින් D ද අමතක නොකළ යුතු පෝෂකයකි. දැඩි විටමින් D ඌනතාවයකදී දරුවන් තුළ rickets ඇතිවිය හැකි අතර, එය අස්ථි මෘදු වීම සහ ව්‍යුහයට බලපෑම් ඇති කිරීම සමඟ සම්බන්ධ වේ. ඒ නිසා දරුවන්ගේ ආහාර රටාව, එළිමහන් ක්‍රියාකාරකම් සහ සමස්ත පෝෂණය පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කිරීම වැදගත්ය.

විටමින් D අඩුවෙන්න හේතු මොනවාද?

විටමින් D අඩුවීමට එක් හේතුවක් පමණක් දැක්විය නොහැකියි.

  • හිරු එළියට නිරාවරණය අඩුවීම – ශරීරයට හිරු එළිය ලැබීමෙන් විටමින් D නිපදවන නිසා, එළිමහනේ ගත කරන කාලය ඉතා අඩු පුද්ගලයන්ට ප්‍රමාණවත් විටමින් D ලබාගැනීම අපහසු විය හැකිය. වර්තමානයේ දරුවන් සහ වැඩිහිටියන් බොහෝ කාලයක් ගෘහස්ථව ගත කිරීම, පාසල්/රැකියා කටයුතු සහ තිර කාලය වැඩි වීම වැනි හේතු නිසා එළිමහන් කාලය අඩුවිය හැකිය.
  • ආහාරයෙන් ප්‍රමාණවත් විටමින් D නොලැබීම – විටමින් D ස්වභාවිකව අඩංගු ආහාර ප්‍රමාණය සාපේක්ෂව සීමිතය. මේද සහිත මාළු වැනි ආහාර, බිත්තර කහ මදය සහ සමහර සහ විටමින්/ඛනිජ ලවණ එකතු කළ ආහාර විටමින් D ලබාදිය හැකි ආහාර අතරට ඇතුළත් වේ. ඒ නිසා සමබර ආහාර වේලක් පවත්වා ගැනීම වැදගත් වේ.
  • ශරීරයට අවශෝෂණය කිරීමේ ගැටලු – සමහර ආහාර ජීර්ණ පද්ධතියේ තත්ත්වයන් නිසා ශරීරයට විටමින් D නිසි ලෙස අවශෝෂණය කරගැනීමට අපහසු විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති පුද්ගලයෙකුට වෛද්‍ය උපදෙස් අනුව පෝෂණ අවශ්‍යතා තක්සේරු කිරීම වැදගත්ය.

විටමින් D අඩුද? කියලා දැනගන්නේ කොහොමද?

විටමින් D මට්ටම තක්සේරු කිරීම රුධිරය පරීක්ෂණයක් හරහා සිදුකරයි.

විටමින් D අඩු නම් අනිවාර්යයෙන්ම බාහිරව ලබාගත යුතුද?

විටමින් D අඩු බව තහවුරු වූ විට වෛද්‍යවරයා පුද්ගලයාගේ වයස, මට්ටම සහ සෞඛ්‍ය තත්ත්වය අනුව සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කරනු ඇත. සමහර අවස්ථාවලදී බාහිරව ලබා ගත යුතු විය හැකි අතර, තවත් අවස්ථාවලදී ආහාර සහ ජීවන රටාව පිළිබඳ උපදෙස් ප්‍රමාණවත් විය හැකිය. කිසිදු ආකාරයකින් තම මතය අනුව වැඩි මාත්‍රාවක් ගැනීම නොකල යුතුය.

හිරු එළියෙන් විටමින් D ලබාගන්න පුළුවන්ද?

ඔව්. සමට හිරු එළිය ලැබීමේදී ශරීරයට විටමින් D නිපදවිය හැකිය. සමේ වර්ණය, වයස, දවසේ වේලාව, භූගෝලීය පිහිටීම, ඇඳුම් සහ වෙනත් සාධක අනුව ශරීරය නිපදවන විටමින් D ප්‍රමාණය වෙනස් විය හැකිය. එමෙන්ම හිරු එළියට නිරාවරනය වන විට සමේ ආරක්ෂාවත් අමතක නොකළ යුතුය. විටමින් D ලබාගැනීමට කියා අනවශ්‍ය ලෙස දිගු වේලාවක් තද හිරු එළියට නිරාවරණය වීම සුදුසු පුරුද්දක් නොවේ.

විටමින් D සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය

විටමින් D ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට සම්බන්ධ බව පර්යේෂණවලින් පෙන්වා දෙයි. අඩු විටමින් D මට්ටම් සහ ඇතැම් ආසාදන අතර සම්බන්ධතා පිළිබඳ අධ්‍යයන තිබුණත්, විටමින් D බාහිරව ගැනීමෙන් සියලුම ආසාදන වළක්වාගත හැකි බවට ප්‍රමාණවත් සාක්ෂි නැති බැවින් විටමින් D නිසි මට්ටම පැවතිම සියලු රෝගවලට විසඳුමක් ලෙස සිතිය නොහැකියි.

සමබර ආහාර වේලක්, ප්‍රමාණවත් නින්ද, ශාරීරික ක්‍රියාකාරකම් සහ සමස්ත සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සමඟ විටමින් D ද ශරීරයට අවශ්‍ය පෝෂණයේ එක් කොටසක් ලෙස සලකන්න.

විටමින් D සම්බන්දව අපි කල යුතු මොනවද?

විටමින් D ගැන අධික බියක් ඇති කරගැනීම නොව දැනුවත් වීම ඉතාම වැදගත්.

  • සමබර ආහාර වේලක් පවත්වා ගන්න – විටමින් D සහ කැල්සියම් ඇතුළු විවිධ පෝෂක අඩංගු ආහාර ආහාර වේලට එක් කරගන්න.
  • එළිමහන් ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරන්න – දරුවන්ට වයසට සුදුසු එළිමහන් ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා සඳහා අවස්ථාව ලබාදීම හොඳ පුරුද්දකි.
  • රෝග ලක්ෂණ දිගටම පවතිනවා නම් අවධානය යොමු කරන්න – අස්ථි වේදනාව, මාංශපේශී දුර්වලතාව වැනි පැහැදිලි ගැටලු දිගටම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.
  • අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂාවක් කරන්න – විටමින් D මට්ටම පිළිබඳ සැකයක් තිබේ නම්, වෛද්‍යවරයකුට ඔබට පරීක්ෂණයක් අවශ්‍යද යන්න තීරණය කළ හැකිය.
  • වෛද්‍ය උපදෙස් අනුව පමනක් පෝෂණ අතිරේක ලබාගන්න. විශේෂයෙන් වැඩි මාත්‍රාවල විටමින් D පෙත හෝ වෙනත් පෝෂණ අතිරේකය තමන්ගේ කැමැත්තට ගැනීමෙන් වළකින්න.

විටමින් D යනු ශරීරයට අවශ්‍ය කුඩා ප්‍රමාණයකින් ලැබුණත් විශාල කාර්යයක් ඉටු කරන පෝෂකයක්. විටමින් D අඩු වුණා කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. බොහෝ අවස්ථාවලදී එය නිසි ලෙස හඳුනාගෙන, වෛද්‍ය උපදෙස් අනුව ආහාර, ජීවන රටාව හෝ අවශ්‍ය ප්‍රතිකාර මඟින් කළමනාකරණය කළ හැකිය. නමුත් නොසලකා හැරීම නුසුදුසුයි. විශේෂයෙන් දරුවන් සහ යෞවනයන් වර්ධනය වන අවධියේ සිටින නිසා, ඔවුන්ගේ සමස්ත පෝෂණය ගැන දෙමාපියන් අවධානයෙන් සිටීම වැදගත්ය.

බය වෙන්න එපා. නොසලකා හරින්නත් එපා. දැනුවත් වෙන්න, සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගන්න, අවශ්‍ය විට විශේෂඥ උපදෙස් ලබාගන්න. සෞඛ්‍යය කියන්නේ එක විටමින් එකක කතාවක් නොවෙයි. නමුත් සෑම වැදගත් පෝෂකයක් ගැනම දැනුවත්ව සිටීම, නිරෝගී ජීවිතයකට හොඳ ආරම්භයක්.

මූලික අදහස සහ උපදෙස්

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකර – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)

සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි

නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය

ශික්ෂණ රෝහල, කුරුණැගල

Exit mobile version