Parent Pulse Blog විශේෂී ලිපි ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් හමුවෙනවා ද?
විශේෂී ලිපි

ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් හමුවෙනවා ද?

මෙතැන් සිට කොටස් කීපයක් යටතේ මැලේරියාව ගැන ඔයාලත් එක්ක කතා කරන්නයි මේ සූදානම. මැලේරියාවට තමයි කැලෑ උණ කියලත් කියන්නේ. මැලේරියාව බොහොම ඓතිහාසික දෙයක් සහ මැලේරියාව නිසා ගම්පිටින් පාලු වෙච්ච වසංගතයක් වෙලා කරදරයක් වෙච්ච අතීතයක් ගම්වල මිනිස්සුත් එක්ක කතාබහ කරද්දි ඔයාලට දැනගන්න පුළුවන්. හුඟ දෙනෙක් හිතන්නේ මැලේරියාව කියලා කියන්නේ අතීතයේ තිබිච්ච දෙයක්‍, දැන් මැලේරියාව කියන එක නැහැ කියලයි.

“ලංකාවේ මැලේරියාව තියෙනවා.” මේක ටිකක් ආන්දෝලානාත්මක ප්‍රකාශයක්.

ලංකාවෙන් මැලේරියාව තුරන් කරලා තියෙන්නේ මැලේරියා පරපෝෂිතයා පමණයි. මැලේරියා වාහකයා සහ මැලේරියා වාහකයා ජීවත් වන ස්ථාන තවමත් ලංකාව තුළ තියෙනවා. දේශීය මැලේරියාව පමණක් 2016 සිට තුරන් කළ රටක් ලෙස ලංකාව ප්‍රකාශයට පත්වෙනවා. ලෝකයේ අනෙක් රටවල්වල මැලේරියාව තියෙනවා. එනිසා මැලේරියාව දේශසීමා හරහා ලංකාවට පැමිණ මැලේරියා රෝගය ඇති රෝගීන් අපට හමුවෙනවා. අපි එයාලට කියනවා ආනයනික මැලේරියා රෝගීන් කියලා. ලංකාව පුරා ඉන්න මදුරු වාහකයන් අතරින් මැලේරියාව පැතිරීම ලංකාව පුරා සිද්ධ වෙන්න පුළුවන්.

ඒ නිසා මැලේරියාව කියලා කියන්නේ ඉක්මනින් හඳුනා ගැනීම, සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කිරීම සහ මැලේරියාව නිසා සිදුවන මරණ වැළැක්වීම සහ එම රෝගියාගෙන් තවත් කෙනෙකුට පැතිර යාම වළක්වාලිය යුතු රෝගයක්. ලංකාව මැලේරියාව ආනයනය කරනවා. ඒක නතර කරන්න ඕන.

මැලේරියාව කියලා කියන්නේ ජීවිතයට හානි පමුණුවන පරපෝෂිත ලෙඩක්. ඒ රෝගය ගෙනියන පරපෝෂිතයට කියන්නේ ප්ලස්මෝඩියම් (Plasmodium) කියලා. ඇහැට පේන්නෙ නැති ඒ පරපෝෂිතයාව එක්කෙනෙක්ගේ රුධිරය හරහා අනෙක් කෙනාගේ රුධිරයට ඇතුළු වෙන්නේ මදුරුවන්ගේ විදීම් තුළින්. මැලේරියාව හදන මෙන්න මේ පරපෝෂිතයා ගෙනියන වාහකයා වෙන්නේ ඇනෝෆිලස් ගැහැණු මදුරුවා. මැලේරියා ආසාදිත පුද්ගලයෙක්ගේ ලේ උරා බොන ඇනෝෆිලස් ගැහැණු මදුරුවෙක්ගේ ඇඟ ඇතුලේ වැඩෙන ප්ලැස්මෝඩියම් කියන පරපෝෂිතයාව, මදුරුවාගේ ඊලඟ ලේ උරා බීමකදී අලුත් පුද්ගලයාගේ ඇඟ ඇතුලට ඇතුළු කිරීමෙන් මැලේරියා රෝගය හැදෙනවා.

මැලේරියාව ඕනෑම වයසක කෙනෙක්ව රෝගී කරන්න පුළුවන්. ඒ උනාට ලෝකය පුරාම මැලේරියාවට අධි අවධානම් කණ්ඩායම් කිහිපයක් හඳුනාගෙන තියෙනවා.

  • අවුරුදු පහට අඩු කුඩා ළමයි
  • ගර්භණී කාන්තාවන්
  • දේශසීමා හරහා නිතරම ගමන් කරන කම්කරුවන් සහ වැඩ කරන මිනිසුන්
  • මිලිටරි සේවයේ යෙදෙන පුද්ගලයන්
  • සංචාරකයන්
  • මැලේරියාව තවමත් ඇති රටවල් වල වෙසෙන්නන් සහ ඒ රටවල රැකියාවල නියුතු පුද්ගලයන්
  • සබ්සහරානු අප්‍රිකාව
  • දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල්
  • සමහර මැදපෙරදිග රටවල්
  • දකුනු ඇමරිකාව
  • ඕෂනියා රටවල්

අන්තර්ජාලය හරහා සොයා බැලුවොත් මේ රටවල් වල නම් වෙන වෙනම දැනගන්න ඔබටත් හැකියි. ඒ නිසාම මැලේරියාව කියලා කියන්නේ දේශසීමාවල බලපෑමක් තියෙන, අන්තර්ජාතික දේශසීමා හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන් රෝගයක්.

මැලේරියාව පටන් ගන්නේ සාමාන්‍ය උණක් විදිහටයි. ඒ හින්දා මුලින්ම කෙනෙක් හිතන්න පුළුවන් මේක වෛරස උණක් පමණයි කියලා. ඒ නිසා මැලේරියාව කියලා කියන්නේ ලංකාව වගේ “මැලේරියාව නෑ කියල හිතන් ඉන්න” රටකදී ඉක්මනින්ම අපිට මග ඇරෙන්න පුළුවන් රෝගයක්.

  • දිගටම පවතින හෝ කඩින් කඩ පවතින උණ
  • අධික සීතල සහ වෙව්ලීම
  • අධික ලෙස දහඩිය දැමීම
  • තද හිසරදය
  • හන්දි හා මස් පිඩුවල වේදනාවවමනය සහ ඔක්කාරය
  • අධික තෙහෙට්ටුව

මේ නිසා හුඟ දෙනෙක් හිතන්නේ මේක පහුගිය ටිකේ වැඩ කරපු හින්දා වුනු දෙයක්, ගමන් මහන්සිය හින්ද සිද්ධ වෙච්ච දෙයක්, උදේට ආපු සීතල හින්දා සිදු වෙච්ච දෙයක්, එහෙම නැත්නම් වයිරස් උණක් වෙන්න ඇති කියලමයි.

ඒ වගේම නරකම රෝග ලක්ෂණ හදන ෆැල්සිපාරම් මැලේරියා ප්‍රබේදය ඇතුලේ පහත ලක්ෂණ ඇති වෙන්න පුලුවන්

  • සිහි නැති වීම
  • වලිප්පුව
  • ලේ මදිකම
  • ඇස් කහ පාට වීම
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • මුත්‍ර පිටවීවේ මේ අපහසුතා
  • අවයව අඩපණවීම
  • මරණය

ඒ නිසා මැලේරියාව කියලා කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් ලෙඩක්වත්, නොසලකා හැර ඉන්න පුළුවන් ලෙඩක්වත් නෙමෙයි. ඔබ පිටරටක සිට පැමිණි ඉතිහාසයක් සමග උණ තියෙනවා නම් හැදුනු උණ “මැලේරියාව” වීමේ වැඩි අවධානමක් තියෙනවා.

උණ + පිටරටක සිට පැමිනීම = මැලේරියාව විය හැකිය.

එනිසා උණ සහ මැලේරියාවට නිදන්ගත රටකට පසුගිය වසර තුළ ගොස් ඇතිනම් වහාම මැලේරියාවට පරීක්ෂා කරගන්න.

රුධිර පටලයක් මගින් පරීක්ෂා කරන අතරම එහි වාර්තාව එදිනම ලබා ගත හැකියි.

ලංකාව පුරා තියෙන හැම වර්ගයේම රෝහලකම පාහේ මැලේරියා රෝග පරීක්ෂාව සිදු කරනවා සහ රුධිර පටල ගැනීම සිදුකරනවා.
ඒ වගේම ඔබට රෝහලකට යාමේ අපහසුවක් තියෙනවා නම් ඔබ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් ඔබ නිවසටම ඇවිල්ලා රුධිර පටල ගැනීම හා පරික්ශා කිරීම සිදු කරනවා. ඔබේ ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හරහා මේ පිළිබඳ විමසිය හැකියි.

ඔව්. පහසුවෙන්ම වැළැක්විය හැකි රෝගයක්.

  1. මදුරු දැල්, මදුරු විකර්ශක, මදුරු නාශක භාවිත කිරීම මෙන්ම ශරීරය ආවරණය වන ඇඳුම් අැඳීමෙන් මදුරුවන්ට ගොදුරු වීමෙන් වැලකීම.
  2. මැලේරියා නිදන්ගත රටකට ගමන් කරනවා ඒ කාලය තුළ ගැනීම සඳහා අවශ්‍ය ප්‍රොෆිලැක්සිස් හෙවත් පූර්ව ප්‍රතිකාරවලට යොමුවීම
  3. නැවත ලංකාවට පැමිණි වහාම රෝග ලක්ෂණ දුටු සැණින් රෝගය හදුනාගැනීම හා ප්‍රතිකාර වෙත යොමු වීම

ඔව්. මුල් අවස්තාවේ හදුනාගැනීම තුලින් සම්පූර්ණයෙන්ම සුව කල හැකිය.

  • ආසාදිත පරපෝෂිතයාගේ වර්ගය
  • රෝගයේ ස්වභාවය
  • රෝගියාගේ වයස සහ තත්ත්වය

දැනට පාවිච්චි කරන මැලේරියාව සඳහා නිකුත් කරන සියලුම බෙහෙත් නොමිලේ ලබා දීම සිදුවෙන අතර එය මැලේරියා මර්දන ව්‍යාපාරය AMC හරහා සිදු වෙනවා. දවසේ කුමන වේලාවකදී හෝ ඔබ කොතැන සිටියත් එය ඔබ වෙත ලබා දීම සිදු කරනවා . නිසි වේලාවට ඖෂධ ලබා ගැනීම මගින් මැලේරියාව නිසා සිදුවන ජීවිත අහිමිවීම් නතර කළ හැකිය

හඳුනා ගැනීමේ ප්‍රමාදයක් හෝ හඳුනා ගැනීමේ අපහසුවක් නිසා මැලේරියාවට ප්‍රතිකාර කිරීම ප්‍රමාද විය හැක. දිගු කාලයක් රෝහල් ගතව සිටීම, සදාකාලිකවම අවයව වල පූර්ණ ආබාධිතත්වයට පත්වීම සහ මරණය දක්වා මැලේරියාව භයානක තත්ත්වයක් ලෙස විකාශය විය හැක.

එසේ නොසලකා හැරෙන එක මැලේරියා ආසාදිත රෝගියෙකුගෙන් පිටවෙන පරපෝෂිතයෙක් ලංකාවේ ඉන්න මදුරුවෙක් ආසාදනය කිරීම හරහා ආපහු මැලේරියා ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන්.

අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙන්නේ දැනට දේශීය මැලේරියාව පමණයි. විදේශයේ සිට ආනයනය කරන ලද මැලේරියාව ලංකාව පුරා බෝ වීම වළක්වන්නට දැනුවත් වන්න.

මැලේරියාව,

  • නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නිරන්තර අවධානයෙන් සිටින්න
  • තුරන් කළ රටක් පවත්වාගැනීම අපේ වගකීමයි.
  • වළක්වා ගන්න
  • සුව කළ හැකිය
  • නොසලකා හැරීම මරණයට හේතුවිය හැක.

ඔබ, මැලේරියාව නිධන්ගත රටවල් අතර සංචාරය කර ඇති අයෙක් නම් ඔබට සෑදුණු උණ නිකම් උණක් නොවිය හැකි බව සැමවිටම සිතන්න. එය මැලේරියාවයි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න.


දැනුවත් කිරීම

කිලෝෂිනී හෙන්දවිතාරණ
ප්‍රාදේශීය මැලේරියා වෛද්‍ය නිලධාරී
ප්‍රාදේශීය මැලේරියා ඒකකය
අනුරාධපුර

Exit mobile version