ජූනි 6, 2025
Parent Pulse Happy Marriage Article Featured Imageg
මානසික සුව දිවිය සුව දිවිය

සාර්ථක යුගදිවියක බැඳීම සවිමත් කරමු

සතුට හා ප්‍රීතිය විවාහ දිවියක අර්ථයයි. අඹු සැමියන් ලෙස ප්‍රීතිමත් විවාහ දිවියකට උරුමකම් කීමට ඔබට ද හැකියාව ඇත. මේ වන විට අද සමාජයේ නිරන්තරයෙන් දකින්නට අසන්නට ලැබෙන දික්කසාදය අනවබෝධය තුළින්ම නිර්මාණය වූවක් බව පෙනේ.

අලුත විවාපත් වූ යුවළකට හෝ විවාහ වී කාලයක් ගත වී සිටින්නන්ට වුව මෙම කරුණ වැදගත් වනවාට කිසිදු සැකයක් නැත. ප්‍රීතිමත් විවාහ දිවියකට අනිවාර්යෙන්ම දෙදෙනාගේ එකිනෙකා පිළිබඳ පවතින අන්‍යොන්‍ය අවබෝධය හා සුහදතාවය ඉතා වැදගත් වේ. නිරන්තරයෙන් පොර කුකුළන් මෙන් කා කොටා ගැනීමට වඩා සුහදතාවයෙන් සාමකාමී ලෙස පවුල් ජීවිතයේ කටයුතු සිදු කිරීම වඩා වැදගත් වේ.

අද වන විට සැමියාත් බිරිඳත් දෙදෙනාම බොහෝ විට රැකියාවන්හි නිරත වේ. එවිට දෙදෙනාම කාර්යබහුල දිවියක් ගත කරන අතර දෙදෙනාම නිවසේ කටයුතු වෙනුවෙන් මුදල් ඉපයීම සිදු කරනු ලබයි. අතීතයේදී නම් නිවසේ ස්වාමිපුරුෂයා බත සරිකරන පුද්ගලයා විය. නමුත් අද බිරිඳද කරට කර බත සරි කරන්නට වෙහෙස වෙයි. මෙම වෙහෙස දෙදෙනා සමානව විඳ දරා ගන්නා අතරතුර නිවසේ කටයුතු සිදු කිරීමද සමානව සහයෝගයෙන් සිදු කර ගත යුතු වේ. ස්වාමිපුරුෂයෙකු ලෙසත් බිරිඳක ලෙසත් මේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම නිවසේ සාමකාමී බවට ඉවහල් වේ. ස්වාමිපුරුෂයකු ලෙස බිරිඳගේ අතින් සිදු වන කටයුතුවලට උදව් දීම මෙවැනි විටකදී ඉතා වැදගත් වේ. මෙය බිරිඳට අයිති වැඩක් ලෙස නොසිතා ඇය හා එක්ව කාර්යයන් සිදු කිරීම ඇයට ද සතුටට හේතු වේ. එමෙන්ම ඇය ද රාජකාරී නිමාවී නිවසට පැමිණෙන බැවින් ඔබට මෙන්ම වෙහෙසක් මහන්සියක් ඇයටද ඇත. රාත්‍රියට පිළියෙළ කර දෙන එක ව්‍යාංජනයක් හෝ රසමසවුලක් සේ භුක්ති විඳීමට/අගය කිරීමට ඔබට හැකිනම් එයට වඩා වටිනාකමක් එක් කරයි. ඇය සතුටට පත් වේ. එමෙන්ම සැමියකු ලෙස ඔහු ඔබට උදව් වන්නේ යම් සේද ඔහුගේ එම උදව්වට වචනයකින් හෝ ඇගයීමක් එක් කිරීමට ඔබටද බිරිඳක් ලෙස පුළුවන.

සමහර බිරින්දැවරු සැමියන් උදව් කළද එහි ඇද කුද කියති. එසේ නොවී ඒ කළ කාර්යය ඇගයීම කළේ නම් නැවත වරක් ඔහුට උදව්වක් කිරීමට සිතෙනු ඇත. එය එසේ නොවී නිරන්තරයෙන් විවේචනය කිරීම පමණක් ඔබ කරයිද ඔහුගේ උදව් ඔබට නොලැබී යයි. ඒ අනුව මෙලෙසින් දියවී යනුයේ ඔබගේ පවුලේ ප්‍රීතියයි.

ස්වාමිපුරුෂයකු ලෙස ඔබද බිරිඳට ඔබගෙන් විය යුත්තේ කුමක්ද? ඇයට ඔබගෙන් අවැසි උදව්ව කවරේද යන්න නිරන්තරයෙන් සොයා බැලිය යුතුය. සමහරවිට ඔබ යම් කාර්යයක් නොකළද ඇය අසළ ගැවසීම ඇයට ප්‍රිය උපදවන්නක් විය හැකියි. විවාහ දිවියක පැවැත්ම උදෙසා මෙවැනි සුළු දෙයක් කිරීම ඔබට කිසිසේත්ම අපහසු නොවනු ඇත. නිරන්තරයෙන් ඇයගේ මහන්සිය වෙනුවෙන් දුක් වෙමින් ඇය කරන සුළු හෝ කටයුත්තක් අගය කිරීමට ඔබ නිරන්තරයෙන් හුරුවන්න. එය සාර්ථක පවුල් ජීවිතයක බැඳීමට මහත් රුකුලක් වනු ඇත.

තම බිරිඳව අගය කරනු වෙනුවට සමච්චලයට ලක් කරන ස්වාමිපුරුෂයන් අප කොතෙකුත් දැක ඇත්තෙමු. විවාහ වූ පසු ඇය රැකබලා ගැනීම ඔබගේ යුතුකම මෙන්ම වගකීමක්ද වෙයි. රැකබලාගැනීම යනු කන්නට බොන්නට දීම පමණක් නොවේ. ඇතැම් ස්වාමිපුරුෂයින් සිතනුයේ “කන්න, බොන්න, අඳින්න අඩුපාඩුවක් නැතිව තියෙනවා නම් වෙන මොනවද” කියාය. නමුත් එය එසේ නොවේ. මන්ද සුන්දර දියණියක ලෙස උපත ලද ඇය නිවසේ තම මව්පියන්ගේ සුරතලය, ආදරය මැද හැදී වැඩී ඒ සියලු දෙනා අතහැර ඔබ සමග පැමිණෙන්නේ කෑම, බීම, ඇඳුම් පැළදුම් යන භෞතික වස්තු පමණක් ඔබ වෙතින් බලාපොරොත්තුව නොවේ. ඒ ලද ආදරය, සෙනෙහස, රැකවරණය ඔබ වෙතින්ද අපේක්‍ෂාවෙනි. සමහර විටකදී නිවසේදීටත් වඩා වැඩිපුර අපේක්‍ෂාවෙනි. එනිසා ඇය හොඳින් තේරුම් ගැනීම කළ යුත්තේ ඔබයි. ඇයව හොඳින් තේරුම් ගෙන ඇයට යහපත් පවුල් දිවියක් ඔබ හා ගත කිරීමට අවශ්‍ය උදව්ව ලබා දිය යුත්තේ ඔබයි. ඇය කරන සියලු කාර්යයන් ඔබගේ ඇගයීමට ලක් කරන්නේ නම් නිතැතින්ම ඇයගේ සහ ඔබේ විවාහ දිවියේ සතුට සහ ප්‍රීතිය රැකේ. බිරිඳ සැමියාට මෙන්ම සැමියා බිරිඳටත් ගෞරව කිරීමද මෙහිදී වැදගත් වේ. යහපත් සම්බන්ධතා පවුලේ සතුට හා ප්‍රීතිය පැවැත්වීමට ඉවහල් වෙයි.

සමහරවිට බිරිඳ රැකියාවක් නොකරන්නේ නම් තත්ත්වය මීට වඩා තරමක වෙනස් මුහුණුවරක් ගනී. රැකියාවට ගොස් ස්වාමිපුරුෂයා මුදල් ඉපයීම සහ කාන්තාවක නිවසක තනිව ඉටු කරනු ලබන කටයුතුත් සමාන කළ නොහැකියි. මන්ද සමහරවිට ඇය නිවස තුළ සිදු කරනු අපමණ වූ කාර්යයන් ලැයිස්තුගත කිරීමට පවා නොහැකි බැවිනි. ඇය තනිව සියලු කටයුතු උදේ සිට රාත්‍රී වනතුරු ඉටු කරනු ලබයි. සමහර විට නිවසේ සිටින බිරිඳට සැමියාගෙන් උදව් නොලැබෙන්නේ “ඔයා ඉතින් ගෙදරනේ ඉන්නේ. මොන අමාරුවක්ද ඔය වැඩ ටික කරන එක” යනුවෙන් පවසමිනි.

මෙසේ පැවසීම කෙතරම් දුරට සාධාරණ වේදැයි සිතීම ඔබට පවරමි. උදැසන අවදි වී තේ එක සාදා ආහාර සකස් කර ඉනිබික්තිව හුස්මක් කටක් නොගෙන රෑ දහය එකොළහ පමණ වන තෙක් ඇය කාර්යයන්හි නිරත වේ. සමහර විට ස්වාමිපුරුෂයාගේ කිසිදු සහනයක් ඇයට නොලැබේ. මෙවැනි විටකදී අවම වශයෙන් ස්වාමිපුරුෂයන් තම බිරිය ඇගයීමක් හෝ සිදු කරන්නේ නම් ඇයට සිතේ සතුටක් හෝ ඇති වේ. වචනවලින් සිදු කරන ඇගයීමට අමතරව තව බොහෝ ආකාරවලින් ඔබට ඔබේ බිරිඳව අගය කිරීමට හැකියි.

■ ඇය කැමතිම කෑමක් ඇයට රැගෙනවිත් දීම
■ මාසයකට වරක් හෝ නිවසෙන් පිට නිදහස් එළිමහන් තැනකට කෑමකට ඇය සමඟ යාම
■ ඔබට හැකි ලෙස ඔබ අත ඇති ප්‍රමාණයෙන් සුළු මුදලක් වියදම් කොට ඇයට ඉඳහිට යමක් ගෙනවිත් දීම.
■ හැම දිනකම නින්දට යාමට ප්‍රථම ඇය සමඟ දවසේ සිදුවීම් කථාබහ කිරීමට වේලාවක් වෙන් කර ගැනීම
■ ඇය සමඟ එක්ව එකට තේ කෝප්පයක් රස විඳීම
■ ඇය නිතරම සතුටින් තියන්න
■ ඇයව වර්ණනා කරන්න
■ ඇය වේදනාවට පත් වූ විට ඇය කෙරෙහි ඔබගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න
■ ඇය සකස් කර දෙන කෑම පිළිබඳව අගය කරන්න

දැනුමෙන්, අවබෝධයෙන්, සතුටින් ජීවත් වීම යනු යහපත් පවුල් සබඳතාවයක මනා බැඳීමක් වේ. ඔබ දෙපළගේ මානසික ශක්තිය සතු සහ ප්‍රීතිය උදෙසා අත්‍යාවශ්‍ය සාධකයන් වන අතර අවබෝධය හා එකිනෙකාට ගරු කිරීම තුළින් ප්‍රීතිමත් විවාහ දිවියකට උරුමකම් කීමට ඔබට හැකි වේ.


Leave feedback about this

  • Quality