ඔක්තෝබර් 23, 2025
විශේෂී ලිපි

සියදිවි නසා ගැනීම් ගණන අවම කරන්න කළ යුතු මොනවාද?

සිය දිවි නසා ගැනීම කාලාන්තරයක් පුරාම සමාජ විද්‍යාඥයනගේ අධ්‍යhනයන් වෙනුවෙන් යොමු වුන ප්‍රශ්නයක්. සිය දිවි නසා ගැනීම අපට තේරුම් ගත නොහැකි බොහොම සංකීර්ණ තත්වයක්. බොහෝ අවස්ථාවලදී තමන්ගේ ආත්මීය බන්ධන බිඳ වැටුනාම ඇති වෙන මානසික තත්වය සිය දිවි නසා ගැනීමට බලපානවා. විභාග ප්‍රතිඵල ලැබුනාම නිරන්තරව මේ විදිහට ඉච්ඡා භංගත්වයට පත් වීම නිසා සිදු වෙන මරණ ගැන අපට අසන්නට ලැබෙනවා.

  • විශාදය
  • මත්ද්‍රව්‍ය
  • මානසික රෝග – සයිකෝසියාව. බයිපෝල වැනි
  • කම්පනයෙන් පසුව ඇති වෙන මානසික රෝග කත්වය

ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ වෙනත් කුමන හෝ හේතුවක් මත මොළයේ ස්නායු සම්ප්‍රේෂණය වෙනස් වීම විශාදය විදිහට හැඳින්වෙනවා. මේ මානසිකත්වයේ සිය දිවි නසා ගැනීම වැරැද්දක් විදිහට ඔවුන් දකින්නේ නැහැ. ජීවිතේ විඳවිය යුතු නැති බව ඔවුන්ගේ අදහසයි.

ලෝකයේ සිය දිවි හානි කර ගැනීමේ පෙල ගැස්ම අනුව ලංකාව පස්වැනි තැනට පත්ව තිබෙනවා. ලෝකයේ සිය දිවි හානි කරගන්නා සංඛ්‍යාව වසරකට ලක්ෂ 8 – 10 අතර සංඛ්‍යාවක්. කාන්තාවන්ට සාපේක්ෂව බලන විට පිරිමින්ගේ සිය දිවි නසා ගැනීමට ඇති ප්‍රවනතාවය ඉහලයි. ඇතැම් උදවිය අවධානය ලබා ගැනීම, බිය ගැන්වීම වැනි කරුණු මුල් කර ගෙන තමා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කරන බව අඟවනවා. ඒත් ඔවුන් ඇත්තටම තමාගේ සිය දිවි හානි කර ගන්නේ නැහැ. මේ අතර තවත් පිරිසක් කිසිම සලකුණක්වත් නොතබා සිය දිවි හානි කර ගන්නවා. ඔවුන් තමාව බේරා ගනීවි යන අදහස නිසා ඒ වෙනුවෙන් තිබෙන සියලුම අවස්ථාවන් පවා අවුරා තබනවා.

  • මානසික පසුබෑම
  • ඉක්මනින් විඩාවට පත් වීම
  • කිසිම දෙයකින් සතුටු නොවීම
  • නින්ද යෑම/නොයෑම
  • ආහාර රුචි/අරුචිය
  • අධික කෝපය
  • සමහර අවස්ථාවන්හි සිය දිවි හානි කර ගැනීම පිලිබඳව අනතුරු ඇඟවීම

සිය දිවි හානි කර ගැනීමට තුඩු දෙන ඉහත ලක්ෂණ ඇත්තේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු අතරම සමහර විට හිතේ වද දෙන ගැටලු වැඩිහිටි ඔබ සමග බෙදා හදා ගෙන හෝ ඒ වෙනුවෙන් විකල්ප සොයා ගත හැකි වුනොත් මානසික තත්වය වෙනස් විය හැකියි. එහෙමත් නොහැකි නම් මානසික උපදේශන සේවාවක පිහිට පැතීම අවශ්‍යයි. ඒ සියල්ල සිදුකිරීමට ප්‍රථම දරුවන් සමග සමීපව කටයුතු කිරීම ඉතාම වැදගත් බව මතක තබාගන්න. එවිට දුක සතුට යන සියලු දේ මව/පියා සමග බෙදා හදාගන්නට මැලි වන්නේ නැත.

තවද විද්‍යුත් මාධ්‍ය හරහා මෙවැනි සිදුවීම් පෙන්වීම ඉතා ප්‍රබල ලෙසින් දරුවෙකුගේ සිතට කාවැදීමට හේතු විය හැකිය. යම් තැනක සිය දිවි හානි කර ගැනීමක් වාර්තා වූ සැනින්ම එය මාධ්‍ය ඔස්සේ දිග හැරෙන විට බොහෝ දෙනා එම පුවත් පිලිබඳව දක්වන අවධානය සමග මෙම සිතුවිලි වෙනුවෙනුත් යොමු වීමේ ප්‍රවනතාවයක් පවතිනවා.

තවද මාධ්‍ය ඉදිරියේ දිග හැරෙන නාට්‍ය සහ චිත්‍රපට මගින් නිරූපනය කරන සිය දිවි හානි කර ගැනීමේ ක්‍රම පිළිබඳව සිදු කරන අත්හදා බැලීම් නිසාත් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නන් මෑතකාලයේදී සංඛ්‍යාත්මකව ඉහල නගිමින් පවතිනවා. මෙවැනි කරුණු දරුවන් සමග හිද නැරඹීම නොකළ හැකි නම් එය වඩාත් සුදුසුය.
සිය දිවි හානි කර ගැනීම අවම කිරීමට ගත හැකි පියවර

අපිට නානා ප්‍රකාර හේතු නිසා සිය දිවි හානි කර ගන්නා පුද්ගලයන් ගැන තොරතුරු හමුවෙනවා. එය පෙම් පැටලවිල්ලක්, ආර්ථිික ප්‍රශ්නයක්, රෝග වේදනාව දරා ගැනීමට අපහසු වීමක් හෝ බලාපොරොත්තු බිඳ වැටීමක් වෙන්න පුලුවන්. මේ මොන හේතුවක් වුනත් ඒ හැම එකකටම පොදු සාධකයක් තිබෙනවා. ඒ තමා මානසිකත්වය බිඳ වැටීම. මේ නිසා අපි සිය දිවි හානි කර ගැනීම අවම කරනවා නම් ඒ වෙනුවෙන් ගත හැකි පියවර කීපයක් තිබෙනවා.

අපි කායික රෝග වෙනුවෙන් ලබා දෙන දැණුවත් කිරීම් නිසා සමහර රෝග මුලින්ම නැති කරන්න තරම් සමර්ථ වුනා. එහෙම නම් මෙතැනදිත් අපිට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න පුලුවන්. ගම් මට්ටමින් ක්‍රිඩා සමාජය, තරුණ සමිති, සුබසාධක සමිති ඔස්සේ මේ දැනුවත් බව ලබා දෙන්න පුලුවන්. ඒ සමගම රෝහල, පොලිසියත් මේ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ කර ගැනීම වැදගත්.

මේ කණ්ඩායමට මානසික උපදේශනය ගැන ලබා දෙන දැනුවත් බව සමග මානසික ගැටුම් වෙනුවෙන් උපදේශන සේවාවක් ලබා දෙන්න පුලුවන්. එපමණක් නොව පවුල් උපදේශනය වැනි කටයුතුවලදී ගම් මට්ටමින් උපදෙස් ලබා ගත හැකි ආයතන අවශ්‍යයි.

සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ල පහල වීමත් සමග හැකි ඉක්මනින් එයින් නිදහස් වීමට නම් මේ කලකිරුන මානසිකත්වය ඇති අය වෙනුවෙන් කතා කරන්න ආයතනයක් වගේම හදවතට අමතන පුද්ගලයෙක් සිටීම වැදගත්. අද විද්‍යුත් සන්නිවේදන තාක්ෂනය ඔස්සේ මේ පහසුකම් පුලුල් කරන්න පුලුවනි. අන්තර්ජාලය, ස්කයිප්, ෆේස්බුක් හරහා මානසික උපදේශන ලබා ගත හැකි වැඩපිලිවෙලක් සලසා දුන්නොත් තත්වය අවම කර ගත හැකියි. ඒ වගේම දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ හිතේ සහනය වෙනුවෙන් ගැටලු ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality