ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම සිද්ධ වෙන විපර්යාස ගැන අපි ඒ හැටි නිච්චියකට ගන්නෙ නැහැ. නැත්නම් ඒ ගැන හිතන්න අපිට ඒ හැටි තේරුමක්වත් වුවමනාවක්වත් නැහැ. ඒත් ජීවිතේ ගොඩනැගිලම තියෙන්නෙ, අපිට නොදැනෙන නොතේරෙන විපරියාස වල එකතුවනින්. දැනුවත්ව හෝ නොදැනුවත්වම මිනිස්සු තමන්ට වැඩියෙන්ම වාසී සැලසෙන තැන් බදා ගන්නවා. ඒ දේවල්වලින් පස්සෙන් පහු පසුතැවෙන්න සිද්ධ වෙයිද කියලවත් හිතන්න බලන්න පුලුවන් තරමටවත් හිත හීලෑ කරගන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගෙ හිතට දැනෙන දේවල් තෝරලා බේරලා වෙන් කරලා ගන්න බුද්ධියක් මිනිස්සුන්ට ලැබිලා තියෙන්නෙ ඒ නිසයි. ඒත් කීයෙන් කී දෙනා ද ඒ බව වටහාගෙන තවත් කෙනෙක් වෙනුවෙන් සංවේදීව තීරණ ගන්නෙ.
සියදෝරිස් පුරුදු විදිහටම කඩේ අරින්න දොර පොල්ල ගලවලා පැත්තකින් තිබ්බා. එකින් එක ලෑලි පැත්තක ගොඩ ගැහුණා. වෙසක් මාසේ වුණත් කහ සළුවක් ඇන්ද වගේ කහ පාට මල් වලින් සැරසිලා හිටිය ඇහැළ ගහ වටේම කහ පාට පෙති බිමත් බදාගෙන හිටියා. වෙනදට ඇහැළ ගහ පාමුල ලී බංකුව ළඟ ඉන්න තමන්ගෙ හිතවතී නැති දුකට වගේ ඇහැළ ගහ බුම්මගෙන වගේ හිටිය නිසාම වෙන්න ඇති දඟකාර හුළං ඒ අහු අස්සේ ඇවිත් ඇහැළ මල් බිමට කැන්දන් ගියේ. ඇහැළ ගහට විතරක් නෙමේ මොකද්දෝ පාලුවක් වගේ දෙයක් සියදෝරිස්ගේ පපුවටත් දැනෙන්න ගත්තා. පාලුවට හේතු වුණු කාරණව පැහැදිලිවම දැනගෙන හිටියත් ඒ සිතුවිල්ල හිතේ යටටම තල්ලු කරලා දාලා දවසේ වැඩ කටයුතු කරගෙන යන්න සියදෝරිස් උත්සහා කළා. කඩේ නිත්‍ය පාරිභෝගිකයෙක් වුණු සෝමවීර හිනා කටක් පුරෝගෙන කඩේට ගොඩ වුණේ ඇහැළ ගහ ළඟ බංකුව දිහා බලගෙන.
“ආ කෝ අද සුදු නෝනා නැද්ද මුදලාලි?”
සෝමවීර මහත්තයා ඇහුව්වේ ඇස් වලින් කඩේ අස්සක් මුල්ලක් නෑරම ඇවිදින ගමන්.
“ආහ්! කිව්වත් වගේ උදේ ඉඳන් හිටියේ නැහැ කොයි හරි යන්න ඇති”
සියදෝරිස් උත්තර බැන්දේ ඕනෑවට එපාවට. මොකද්දෝ බරපතල කාරණාවක් වසන් කරන චූදිතයෙක් වගේ හිතට දැනුන නිසා ඒ මූණේ තියෙන ලෙංගතු හිනාව අතුරුදහන් වෙලයි තිබුණේ. වෙනදා කඩේ තිබුණු සිරියාව එහෙම් පිටින්ම හොරු ගෙනිහිල්ලා වගෙයි කියලා සෝමවීරටත් හිතුනා.
“හ්ම්… ඒකත් එහෙමද, එහෙනම් සුදු නෝනා ආවම මේ පාර්සලේ මුදලාලිම දෙන්නකො. මටත් දැං ඒ මූණ නොදැක දවස පටන් ගැනිල්ලත් බෑ වගේ”
“මං දෙන්නං !!! අනික නාවොත් ? ආ හා එක්කො තියන්නකො.. ආවොත් මං දෙන්නම් සෝමවීර මහත්තයා”
සියදෝරිස් එවරද යම් නොසන්සුන් බවකින් පිළිතුරු දුන්නත් ඒ බවක් සෝමවීරට දැනුනෙ නැහැ. සෝමවීර රජයේ කන්තෝරු රස්සාවෙන්ව විශ්‍රාම ගත් දවසේ ඉඳලම සියදෝරිස්ගේ කඩේට එන එක පුරුද්දක් වුණා. දරුවෝ දෙන්නම ඉගෙන ගන්නත් රැකියා කරන්නත් ගෙදරින් පිටවෙලා ගිහින් නිසා ගෙදර තිබුණු පාලුව කොහොමටවත් දරා ගන්න සෝමවීරට පුලුවන් වුණේ නැහැ. කන්තෝරුවෙ දී මිනිස්සු එක්ක හරි හරියට ගැවසුනු නිසා ගෙදර නතර වුණාම පාලුවක් හිස් බවක් දැනෙන්න ගත්තා. බිරිඳ තිලකා මුදලට ඇඳුම් මහපු නිසාත් ගෙදර වැඩ කටයුතු නිසාත් ඇයට නම් පාලුව ගැන වගක් තිබ්බෙ නැහැ. මල් ගස් විතරක්ම සින්නකර අයිතිය ලබාගෙන හිටි ගෙවත්තේ එළවලු ගස් වලටත් නවාතැන් දෙන්න සෝමවීර හිතුවේ අඩුම තරමේ කාලය ගත කරන්න ඒක හොඳ ක්‍රමයක් කියලා තිලකා කියපු නිසයි. එළවළු ඇට තවාන් දාලා ඒ ඇට පස් බදාගෙන මුල් ඇදලා හීන් සීරූවට උස් වෙමින් දෙපත් විදහා ජීවයෙන් නැගී එමින් හැම දවසකම ඩිංග ඩිංග වර්ධනය වෙලා පැළ කාලයත් පහු කරගෙන නාඹර වෙලා මල් පිපිලා ඵලබර වෙන කොට හිත පුරාම ගලා යන සතුටට සෝමවීර ඇබ්බැහි වුණා. තිලකා සැමියාගේ ආදරයත් සත්කාරත් හොඳට අරගෙන වැඩෙන බෝග දිහා බලාගෙන සතුටු වූනේ ඒ නිහඬ ගස් කොළන් තමන්ගෙ සැමියාගේ හිත සුවපත් කරවන්න පුලුවන් මැජික්කාරයෝ නේද කියලා හිතන ගමන්.
දැන් මාස දෙකක් පුරාවට සෝමවීර ඇති කරගත්ත අලුත් ආදරණීය හාදකමට ජීවිතේ තවත් සතුටින් පුරවන්න පුලුවන් වුණා. ඒ හමුවීම දවස සතුටින් පටන් ගන්නත් ගෙවා ගන්නත් පුලුවන් වුණු සතුටු පෙත්තක් වුණා. ඒත් අද ඒ ආදරණිය මුහුණ නොදැක කඩෙන් පිටමං වෙන්න ඔහුට හිතුනෙම නෑ. වෙනදට වඩා හෝරාවක්ම බලා සිටියත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වුණෙ නැහැ. ඒ අහිංසක ඇස් වලින් කඩා හැලෙන ලෙංගතු ආදරණීය බව සිහි කරමින් හිස් බවින් පිරුණු හිතත් අරන් සෝමවීර මහත්තයා ගෙට ගොඩ වුණා.
“අද ඇයි පරක්කු වුණේ? කැඳ එක බීලා ගිය මනුස්සයා බෙහෙත් බොන්නත් ඕනේ කියලා අමතක වුණා ද? මං මේ කඩේ පැත්තට යන්න කියලා හිතුවා විතරයි”
සෝමවීර එනකල් මග බල බල හිටිය තිලකා ඔහු ඉදිරියට එමින් කිව්වා. කිසිම කතා බහක් නැතිව සෝමවීර මූනිච්චාවට තොල් ඈත් කරලා හිනා වෙන්න දරපු උත්සහය සාර්ථක වුණේ නැහැ. වෙනදාට සැමියගේ මුහුණේ තිබෙන සතුට අද අහලකවත් නැති බව දැක්ක තිලකාගෙ හිත ටිකක් තිගැස්සුණා.
“ඉතින් මොකෝ මේ දාහට අරගෙන නිකම්ම දීලා ඇවිත් වගේ? එවර ඇය දයාබර හඬකින් ඇහුව්වා.
“මුකුත් නෑ තිලකෝ”
පත්තරය ටීපෝව උඩට අත් හැරලා ගෙනා වණ්ඩු ආප්පයි, ලැවරියා පර්සලයයි තිලකාගෙ අතට දුන්න සෝමවීර හාන්සි පුටුවට බර දීලා මිදුල දිහාවට ඇස් විසී කෙරුවා. සමන් පිච්ච වැල උඩ උන්න පොල්කිච්චො දෙන්නා එක එකාට ගතු කියමින් උන්නා. ඊට ටිකක් එහාට වෙන්න තනි පොල් කිච්චෙක් බුම්මන් හිටියා. හුළඟට රැවටිලා ආපු වරා මලක් හොඳටෝම හති වැටිලා හුළඟ එක්ක අමනාප වෙලා බිමට පැනලා උණ පඳුර අස්සෙ නතර වුණා. සොබා දහමේ මේ පුංචි සිදුවීම අස්සෙත් මහා මොකද්දෝ හිස් තැනක් තියෙනවා කියලා සෝමවීරට හිතුනෙම තමන්ගෙ හිතේ මහා හිඩසැක් තිබුණු නිසා බව ඔහුට වැටහුණේ නැහැ.
“මුකුත් නැති වෙන්න බෑ, මොකෝ අද අර ප්‍රියම්බිකාව මුණ ගැහුණෙ නැද්ද?”
සැමියාගේ මේ හදිසි වෙනස් වීම තිලකාගේ ඇති කළේ කුතුහලයක්. එවර නම් සෝමවීරගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා තිලකා දැක්කා. පිළිතුරක් නොදුන් ඔහු තම බිරිඳ දෙස බැලුවේ ශෝකී බැල්මකින්. සැමියාගේ හිත තුල වේදනාවක් ඇති බව හඳුනාගත්ත තිලකා කතාව වෙනතකට යොමු කරන්නට සිතුවා.
“යමු යමු කුරක්කන් පිට්ටු ටිකක් හැදුවා. කාලා බෙහෙත් ටික බොන්න”
“බඩගින්නක් නෑ”
“දැං එහෙනම් මටත් වඩා ඒ උඩැක්කිය වටින්න පටන් අරගෙන වගේ, ඒකෙන් කාරියක් නෑ මහත්තයෝ යමු කන්න”
තිලකා සරදමට පැවසුයේ කට කොනකින් සිනාවක් අඳින ගමන්.
“තිලකෝ, තිලකෝ, මගෙ තිලකෝ ඔයාට ඉතින් මට කිවිසුමක් ගියත් තේරෙනවනේ”
තමන් අසල හිටගෙන සිටි බිරිඳගේ දෑතක් අල්වාගෙන සිප ගනිමින් සෝමවීර කිව්වා.
“මේං නාකී කෝලං”
“නාකී!!! නාකී කියන්නෙ නොහැකි, ආයේ මගේ අත පය වාරූ නැති වෙලා නැහැනේ, අනික වයස කියන්නෙ ඉලක්කමක්”
“අනේ සෝමේ ඔය හැටි කොල්ලෙක් නම් ඔහොම මූණ පුලුටු කරගෙන ඉන්නෙ නැතිව කන්න යමු, හිතේ අමාරුවක් නම් මට කියලා හිත නිදහස් කරගන්න”
යැයි කියමින්ම සැමියාගේ උරහිසට ආදරණිය තට්ටුවක් දැමු තිලකා කෑම මේසයට සෝමවීරව කැන්ද ගෙන ගියා. ආදරය කියන්නෙ ලේසි පාසු බැඳිමක් නෙමේ. ආදරය හැම සතුටකටම දුකකටම වගකිව යුතු භයානක සුන්දර මැවීමක්. ආදරයට නිර්වචනයක් පැහැදැලිවම කියන්නට බැරි වුණත් මිනිස්සු ජීවත් වෙන්න හුස්ම ගන්නවා වගේම, ජීවත් වන බව දැනෙන්නට නම් ආදරය ලැබෙන්නම ඹ්නී.
සෝමවීර තිලකාව විවාහ කරගත්තේ දෙමාපියන් ගෙන ආව යෝජනාවකටයි. විවාහ වුණු දවසේ ඉඳන්ම දෙන්නා දෙමහල්ලෝ අතර ඇති වෙන විරසකයන් තවත් දවසකට ගෙනියන්නෙ නැතිව ඉන්න දෙන්නම වග බලා ගත්තා. පුතුන් දෙදෙනෙක්ට දෙමාපියන් වූ ඔවුන් ගත කළේ සැහැල්ලු සුන්දර ජීවිතයක්. ලොකු පුතා විශ්ව විද්‍යාලයට යෑමට නිවසින් බැහැර වූ පසුත් දෙවන පුතා වැඩි දුර අධ්‍යාපනයට කියා විදේශගත වූ පසුත් නිවස තුල බිහි වුයේ පුදුමාකාර නිහඬ නිවුණු බවක්. ඒත් ඒ නිහඬ නිවුණු බව තුලින් ගෙට පැනපු පාලුව කාන්සිය මකා ගන්නට දෙමහල්ලො හැකිතාක් උත්සහ කළා. ජීවිතේ ජීවත් වන මොහොත තුල සතුට වපුරන්නට ඔවුන් පුරුදු පුහුණු වුණේ ඒ නිසයි. දෙන්නම පුලුවන් හැම වෙලාවකම අහල පහල උදවියට, නෑදෑයන්ට, මිතුරන්ට උදව් කළේ පෙරලා කිසිත් බලාපොරොත්තු නොවීමයි. කොහොම වුවත් රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සෙ සෝමවීරට වෙන කවදාවත් නැති පාලුවක් දැනෙන්නට පටන් ගත්තා. තිලකා නම් සුපුරුදු පරිදි අහල පහල උදවිය සමඟ දොඩමලුවීමෙන්, මැහුම් කටයුතු වල නියැලීමෙන්, මල් වගා කිරීමෙනුත් තමන්ගේ පාලුව තනිකම තරවට්ටු කරලා පළවා හරින්නට සමත් වුණා. සෝමවීර විශ්‍රාම ගත්තට පස්සෙ සියදෝරිස්ගේ කඩයට යන්නට එන්නට පටන් ගත්තෙ තම පාලුව තනිකම මකාගන්නටයි. ගමේ කඩේට එන යන වැඩිහිටියො එක්ක වගේම කොල්ලො එක්ක දාං අතක් අදින එක, කතා බහක පැටලෙන එකත් ජීවිතේ වෙනසක් කළා. කඩේ ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුදු නෝනා ඔහුට මුණ ගැසුණේ.
එදා හවසත් සියදෝරිස්ගේ කඩයට ගියත් සුදු නෝනා දවසම කඩයට ආවේ නැති බව සියදෝරිස් කිව්වා. රාත්‍රී ආහාරය ගෙන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ හිඳ ගත් සෝමවීර අහස දිහා බලාගෙන හිටියා. පහුවෙනිදට අහසේ පුරා හඳ වෙලා පායන්න සඳවතීයට සැරසෙන්නට තිබුනේ තව බොහෝම ඩිංගයි. සඳවතීව පිරිවරාගත් තරු මල් හිනාවෙනවා වගෙයි. ඒ අතරෙ ඉඳ හිට වළාසලුවකින් හැංඟෙන්නටත් සඳවතිය අමතක කළේ නැහැ. තම සැමියා උදේ ඉඳන් හිතේ විස්සෝපයෙන් ඉන්න බව දන්නා තිලකා පහුවදා වෙසක් පෝයට සිල් ගන්න පන්සල් ඇඳගෙන යන්නට ඇඳුම් පැලඳුම් ලෑස්ති කිරීම පැත්තකින් තියලා සෝමවීර ළඟම පුටුවට බර දුන්නෙ අහස දිහා බලගෙනමයි.
“ඇත්තටම මේ කෙල්ලට මොකක් වෙන්න ඇතිද තිලකෝ, සුදු නෝනා ගැබ්බර වෙලා හිටියවත් ද?”
හදිසියේම යමක් සිහිවුණාක් මෙන් සෝමවීර තිලකගෙන් ඇහුව්වා.
“මොනවා! ඔයා නිකමටවත් මට ඒ බවක් කිව්වෙ නැහැනේ, දවසින් දෙකින් ගැබ්බර වෙනවයැ” පුදුමයෙනුත් නෝක්කාඩුවෙනුත් කියමින් ඇය සෝමවීර දිහා බැලුවා.
“මටත් ඒක ඒ තරම් නිච්චියක් තිබ්බෙ නැහැ, අනික තාම පොඩියිනේ”
“අනේ දෙයියනේ වෙන කරදරයක්ද දන්නෙත් නැහැ”
“සියදෝරිස්කාරයා නම් ඔය සුදු නෝනා ඉන්නවට වැඩි කැමැත්තක් තිබ්බෙ නැහැ. ඒත් සියදෝරිස්ගේ පොඩි කොල්ලගෙ වදේ පොරේට තමයි තියාගෙන හිටියේ”
“ඔයාට තිබ්බෙ මෙහෙට එක්ක එන්න, ආව නම් මං බලා ගන්නවා”
“බලා ගනියි… සුදු නෝනට වඩා මට තිලකා වටිනවා”
“අපොයි ඔව්… ඒක හින්දා වෙන්න ඇති යාන්තම් ඉර අහසේ එල්ලෙද්දිම කඩේ දුවන්න තියා ගත්තේ”
“අනේ ඉතින් සුදු නෝනා මට දරුවෙක් වගේ තිලකෝ, මොනවා කියලා තේරෙනවයැ. ආදරේ කියලා දැනෙන කොට කවුරු වුණත් ලං වෙනවා”
“හෙට ගිහින් බලන්නකො සමහර විට හෙට ඒවිනේ”
ඒත් එක්කම සෝමවීරගේ ජංගම දුරකථනය නාද වෙන්න පටන් ගත්තා. තිලකා ඉක්මණින්ම ගිහින් දුරකථනය අරගෙන සෝමවීර ළඟට දුවගෙන ආවා.
“පුතාලා…”
සතුට දෝර ගලා දිලිසෙන තිලකගෙ ඇස් දැක්ක සේමවීරගේ හදවත තුල තම බිරිඳ පිළිබඳ මහත් සෙනෙහසක් ඉපදුනා. බිරිඳක් මවක් ලෙස ඇය සමඟ ගෙවූ අවුරුදු විසිපහ හිතේ සැහැල්ලුවෙන් ගත කරන්නට ඉඩ කඩ හදා දුන්නෙ කිසිම ලෝබකමක් නැතිවමයි. තාක්ෂණයේ දියුණුවට පින්සිදු වන්නට කොහේ කොතැනක හිටියත් කතා බහ කරන්නට දකින්නට පුලුවන් වීම කොතරම් භාග්‍යයක් ද? පුතුන් දෙදෙනාත් තාත්තාගේ අහිංසකාවිය ගැන හදවතින්ම දුක් වුණා. පවුලේ ආදර සමාගම අවසන් කරලා ගෙදර අනිත් කටයුතුත් එකලාසයක් කරපු දෙන්නා දෙමහල්ලන් නිදා ගන්නට ගියත් සෝමවීරගේ ඇස් වලට නම් නිදිමතක සේයාවක්වත් ආවේ නැහැ. යාන්තම් මධ්‍යම රාත්‍රියේ ඇහැ පියවීගෙන එන කොටම කවුරුන් හරි කුස්සිය පැත්තෙ කරක් ගහන බවක් සෝමවීරට ඇහුණා. කොයි එකටත් කියලා කාමරය මුල්ලේ තබා තිබුණු පොල්ලත් අරගෙනම සෝමවීර තවත් උනන්දුවෙන් ඇහුම්කන් දීගෙන හිටියා. තිලකා තද නින්දේ. ඇය අවදි කරවන්නට මැලි වුණු ඔහු හඬ ආපු පැත්තට ඇවිදගෙන ගියා. සෝමවීර අඩවන් කරලා ඇරපු කුස්සියේ දොරෙන් යාන්තමට ඔලුව දාලා එළිය විපරම් කරලා බැලුවා . මුලු පරිසරයම සඳවතුරෙන් නහවගෙන හිටිය සඳවතී කලු වළාකුලක් අස්සෙ හැංගිලා හිටිය නිසා අඳුර පරිසරය පුරාවට තමන්ගෙ අණසක පතුරවාගෙන හිටියා. ඒ අඳුර අතරින් ටීක් බෝල දෙකක් බබලනවා සෝමවීර දැක්කා.
සුදු නෝනා!!!
“මොකද්ද අනේ මේ රෑ ජාමේ කරන්නෙ, හෙට සිල් ගන්න යන්නත් ඹ්නේ ?”
නිදි මතේම කුස්සියට පැමිණි තිලකා නෝක්කාඩුවෙන් කිව්වා.
“මේ මේ සුදු නෝනා ඇවිත් තිලකෝ.. සුදු නෝනා ඇවිත්”
“මොකක්.. මේ රෑ!!!”
කුස්සියේ දොර හොඳට ඇරලා එළියට ගිය තිලකා දුටු සුදු නෝනා ගේට්ටු දෙසට දිව ගොස් නැවතී අඬන්න පටන් ගත්තා. ඒ හඬේ තිබුණේ අනතුරක සේයාවක්.
“සෝමේ සුදු නෝනාට කරදරයක් වගේ, මං හිතන්නේ අපේ උදව් ඕනේ වෙලා අපි ටිකක් ගිහින් බලමුද?”
“ඔව් ඔව් දොර වහලා යමු තිලකෝ”
කුස්සියේ දොර වසා විදුලි පන්දම ද පොල්ල ද අතට ගත් යුවල යුහුසුලුව සුදු නෝනාගේ පස්සෙන් යන්න පටන් ගත්තා. සුදු නෝන දුවගෙන දුවගෙන ගිහින් නතර වූණේ සියදෝරිස්ගේ කඩය ළඟයි. එතැන නතර වූ සුදු නෝනා කඩය දෙස බලාගෙන එක දිගට කෑගසන්න පටන් ගත්තා. සෝමවීර ටිකක් ඉදිරියට ගිහින් විපරම් කළා. හීන් කෙඳිරියක් ඇහෙද්දි ඔහු තම බිරිඳට ද ඒ හඬට ඇහුම්කන් දෙන්නට යැයි ඉඟි කළා. හිමින් හිමින් කඩය අසලට ගිය දෙදෙනා දුටුවේ ඇරලා දාලා තිබූණු කඩයයි. විමසුම් සහගතව කඩයට ඇතුල් වූ ඔවුන් අත තිබූ විදුලි පන්දම් එළියෙන් දැකපු දෙයින් බයටත් පුදුමයටත් පත් වුණා. තම අතේ තිබූණු පොල්ලයි විදුලි පන්දමයි බිරිඳ අත තබා වහා ඉදිරියට ගිය සෝමවීර පාන්කඩ කටේ ඔබා කණුවට තබා බැඳ සිටි සියදෝරිස්ට ලං වුණා. සුදු නෝනා සියදෝරිස් අභියසට වී කෙඳිරියක් නැගුවා. සෝමවීර මුලින්ම සියදෝරිස්ගේ කට නිදහස් කොට දෑත් වල බැමි ලිහා දැමුවා. ඒ අතර සුදු නෝනා එළියට දුවගෙන ගිහින් ආයෙමත් කෑ ගසන්නට පටන් ගත්තා. කඩය දිහාවට ඉක්මන් ගමනින් පිරිසක් එනවා දැක්ක සෝමවීර පොල්ල දැඩිව අල්වාගෙන බලා හිටියේ එන පුද්ගයන්ව අඳුර ගන්නට උත්සහ කරමින්. වළාකුළු අස්සෙ හැංගිලා හිටිය සඳවතී වළාකුලෙන් නිදහස් වෙලා හිටියේ. වැඩි වෙලාවක් ගත වූයේ නැත, සියදෝරිස්ගේ බිරිඳ පුතුන් දෙදෙනා සහ සියදෝරිස්ගේ මල්ලි සහ සිරිතුංග කඩයට ඇවිත් හතිලන්නට වුණා.
“කඩේට හොරු පැනලා වගේ… අපි ආවේ සුදු නෝනගේ අඳෝනාවට” තිලකා පැවසුවාය.
“සුදුනෝනා එක දිගට බුරනවා ඇහිලා තමයි අපිත් මේ දුවගෙන ආවේ නංගියේ”
ප්‍රේමා එසේ කියමින් සියදෝරිස් ළඟට ලං වුණා.
“මොකද අනේ වුණේ ?”
විඩාබර මුහුණින් ආතුරව තිලකා දුන් වතුර වීදුරුව හිස් කරන තම සැමියාගෙන් ප්‍රේමතී ඇහුව්වෙ කලබලයෙන්ය.
“කඩේට හොරු පැන්නා, උන් පුලු පුලුවන් හැමදේම අතගාගෙන ගියා”
“හත්දෙයියනේ!! මම කිව්වා මේ මිනිහට බල්ලා නැති එකේ කඩේ තනියම ලගින්න එපාය කියලා. කෝ ඇහුව්ව ද? අපොයි ඔහෙට හොඳටම ගහලා නේ… මේ ඔලුවත් පැලිලා, අනේ ඉස්පිරිතාලෙටවත් එක්ක යමු. මදැයි ජීවිත හානියක් නොකර ගියා. අර කුමාරලගේ තිරිවිල් එක කතා කරගෙන වරෙන් මල්ලියේ” ප්‍රේමා එක පෙලට කියාගෙන ගියේ සීඝ්‍රගාමී දුම්රියක් මෙන්ය.
“මට නින්ද ගිහින් තිබුණේ හොඳටෝම, උං පැනපු හැටියේ මාව අල්ලලා කටේ පාං කඩ ඔබලා කණුවේ ගැටගහලා තමයි බඩු මුට්ටු පටෝ ගත්තෙ, ඊට පස්සෙ තමයි සල්ලි ඉල්ලුවේ. මම සල්ලි නෑ කිව්වට පිළිගත්තෙම නෑ.. ඒ පාර තමයි මට එක දිගට ගැහුවේ. මගෙ වෙලාවට සුදු නෝනා ආවේ. ඒකී උන්ගේ ඇඟට කඩා පැන්නෙ කොටි දෙනක් වගේ. එකෙක්ව ලේ එන්නම හැපුව පාර තමයි උං පැනලා ගියේ”
“ඊට පස්සෙ එහෙනම් උදව් ඉල්ලන් අපේ ගෙදර ඇවිත් තියෙන්නෙ”
“සෝමවීර මහත්තයලව අවදි කොරගෙනද මේ ආවේ, තිරිසනෙක් වුණත් කළෙහි ගුණේ දැක්ක ද? අනේ මං කොච්චරවත් කිව්වා ඔය සතාට ඔය දරු බරින් හෑල්ලු වෙනකල් ඉන්ඩ දෙන්ඩ කියලා. කෝ ඇහුව්ව ද? අර මූකලානට ගිහින් ගහක බැඳලා ආවා කිව්වා, දිට්ඨ ධම්ම කියන්නෙ ඔන්න ඕකට. කලකම් ඒ මොහොතෙම පල දෙනවා. මේකී මේ ලණුපට කඩාගෙන ඇවිදින් තියෙන්නෙ ඔය ලණුව තාම කරේ”
සෝමවීරට ලං වූ සුදු නෝනා ඔහුගේ දෙපා ළඟ දණින් වැටී ඉදිරියට දිව ගොස් නැවත දිව විත් සරමෙන් අදින්නට විය.
“සෝමේ සුදු නෝනා එයත් එක්ක එන්න කියලා වගේ කියන්නෙ අපි යමු පස්සෙන්”
තිලකා සැමියා සමඟ සුදු නෝනා පසු පස යන්නට විට. කඩයට මීටර පන්සීයක් විතර එහායින් තිබෙන බෝක්කුව අසල නතර වූ සුදු නෝනා බෝක්කුවට බැස වරින් වර සිය දරුවන් තිදෙනා ව සෝමවීර හා තිලකා අසලින් තබා හිඳ ගත්තාය. සඳ එළිය සුදු නෝනාට උපකාර කරන්නට මෙන් හාත්පසම ආලෝක කරමින් බලා උන්නා.
“තිලකෝ සුදු නෝනාගෙ පැටවු”
පැටවු දෙදෙනෙකු හා හූවක් නැතිව උන්නා. එක පැටියෙක් සිය මවගේ තුරුලට පැනලා කිරි බොන්නට පටන් ගත්තා. තිලාකා නිසොල්මනේ හිටිය පැටවුන් දෙන්නා නිරීක්ෂණය කරලා දිගු හුස්මක් හෙලුවා.
තවත් දවසකට කටයුතු සම්පාදනය කරගෙන ඉර අහසේ පෑයුවා. අලුයම සිට සිදු වූ නොසිතූ දේවල් නිසාවෙන් දෙමහල්ලන් වෙසක් පෝයට සිල් සමාදන් වීම අතහැර දැම්මා .වත්තෙ පිටු පස්සේ අඹ ගහ යට සුදු නෝනගේ පැටවුන් දෙදෙනා භූමදානය කල තිලකාත් සෝමවීරත් සුදු නෝනා දෙස බලා උන්නෙ වේදනාවෙන්ය. තම දරුවන් මිහිකත තුල සඟවද්දි සුදු නෝනා හඬා වැටුණාය. කිරි බෝලයාට කිරි දෙන්නට පමණක් ගෙදර පැමිණි සුදු නෝනා දවසම වල මත වැතිර හිටියා. ඒ ඇස් වල කඳුලු කඩන් වැටෙද්දි සෝමවීරයි තිලකයි දෙන්නම හදවතින් අඬා වැටුණා. සුදු නෝනාව තනි කරලා ගෙයින් පිට අඩියක්වත් තියන්නට ඔවුන්ට සිත හදාගන්න බැරි නිසා දෙන්නම ගෙදරටම වෙලා ඉන්න තීරණය කළා. මිනිසුන්ගේ ලෝකයේ වගේම සත්තුන්ගෙ ලෝකයේත් අම්මා කෙනෙක්ගෙ හිතේ දරුවන් වෙනුවෙන් ජනිත වන දාරක ප්‍රේමයේ වෙනසක් නැහැ. මිනිස් මව්වරුන්ගේ වගේම ඇට මස් ලේ නහර විදගෙන දරුවන් නමින් සත්තුගෙ හදවතෙත් දාරක ස්නේහය දෝර ගලාගෙන යනවා.
හවස් වන විට සියදෝරිස් බිරිඳ සමඟ සෝමවීරගේ නිවසට ආවා. නළලට මැහුම් හතරක් දමා පැලැස්තර අලවා තිබුණු අතර මුහුනේ සහ ඇඟෙහි තැන් තැන් ඉදිමී නිල් පාට වෙලා තිබුණා.
“ලෙඩ්ඩු බලන්න අපි එනවා මිසක් ලෙඩ්ඩු මොකෝ මේ ගෙවල් ගානේ යන්නෙ”
තිලකා අමුත්තන්ට ඉඳ ගන්නට සලස්සමින් ඇහුව්වා.
“මේං මෙයාට සුදු නෝනා බලන්න ඕනෙමයි කිව්වා නංගීයේ”
“ඇත්තටම මම මහා පවුකාර වැඩක් කළේ සෝමවීර මහත්තයා, මම සුදු නෝනව මූකලානේ තනි නොකරන්න මේකී කඩේම පැටවු ටික බිහි කරනවා කිසිම ආන්තරාවක් නැතිව. ඇත්තට මේකී නොහිටින්න මං ඊයේ මැරුම් කනවා”
“ඒ ගැන මොකට කියනව ද? අනෙ අප්පෙ පැටවු දෙන්නම මළාම කොහොම වාව ගන්න ද? ඔය ඉන්නෙත් අම්මෙක්නේ, මේ මිනිහගේ නපුරුකම තමයි මේ සේරෝටම මුල. සුදු නෝනා නැහැ කියලා දැනගෙනම තමයි හොරු එන්ඩ ඇත්තෙ. තිරිසනෙක්ට කන්න ඩීංගක් දෙන එකේ ගුණෙ බලන්ඩකො ඉතින්”
“දැං ඉතින් වෙච්ච දේ වුණා. මිනිස්සුන්ට නැති කලෙහිගුණයක් මේ සතා ළඟ තියෙනවා. මිනිස්සු විදිහට අපි තේරුම් ගන්න ඕනේ මේ මුලු ලෝකෙම අයිති අපිට විතරක් නෙමේ කියලා. සත්තුන්ටත් මේ ලෝකේ අයිතියි. අපි අන්න ඒ දේවල් ටික තේරුම් ගත්තොත් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙනවා. බුදු හාමුදුරුවො දේශනා කළෙත් ගහට, කොළට, සතා සීපාවට උන්ට උන්ගෙ තැන දෙන්න කියලා. දැන් වෙලා තියෙන්නෙ මිනිස්සු මේ මුලු ලෝකෙම අයිතිය අපිට විතරක් කියලා හිතාගෙන ඉන්න එක. අලි ඇත්තුන්ට වඳුරන්ට බැන්නට මොකෝ අපි ඒ සත්තුන්ට උන් හිටි තැන් නැති කරලා. ඉතින් උං ගම් වදිනවා. බුද්ධිමත්ම සතා වෙච්ච මිනිහා ආත්මාර්ථකාමීම සතා වෙලා”
සෝමවීර වෙසක් කූඩුව එල්ලන ගමන් කිව්වා.
ඉස්තෝප්පුවෙ අයිනක සුදු බෝලයට කිරි දෙන ගමන් සුදු නෝනා ඇස් වල කඳුලු පුරෝගෙන ඈත බලාගෙන හිටියා.
“අපි යමං සුදු නෝනේ ගෙදර”
කියමින් සියදෝරිස් සුදු නෝනාට ලං වෙන කොටම සුදු නෝනා කවම කවදාවත් නැති විදිහට නපුරු විදිහට දත් විලිස්සා ගෙන ගොරවන්න පටන් ගත්තා. අම්මාගේ හදිසි වෙනස් වීමට බය වුණු සුදු බෝලයා තවත් ටිකක් අම්මාට තුරුල වෙලා බයෙන් බලාගෙන හිටියා. වෙසක් පුර සඳ වහ වහා තමන් සඟවා සිටි වළා සලුව ඉවත් කරලා සෝමවීරලගෙ සාලය දිහා බලාගෙන හිටියා. සුදු නෝනාගෙ ඇස් වල කඳුලු දිලිසෙද්දි ඒ මුණේ දරුවන් අහිමි වීමේ වේදනාවෙන් මිරිකෙන බව දැක්ක සියදෝරිස් සිතින් තමන්ටම සාප කරගනිමින් පසු තැවෙමින් ඉදිරියට තැබූ අඩියට පසු පසට ගත්තාය.
න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති
යස්ස අස්සමුබො රොදං විපාකං පටිසෙවති
යම් කර්මයක් කොට සිහිවන සෑම විටම තැවෙයි ද යම් කර්මයක අනිටු විපාක කඳුලු සලමින් සිහි කොට තැවෙයි ද එබඳු අකුසල් නොකළ මැනවි.
ධම්ම පදය- බාල වග්ගය.
අත්තිඩිය මහජන පුස්තකාලය විසින් වෛශාඛ්‍ය මංගල්ලය නිමිති කොට ගෙන පැවැත් වූ කෙටි කතා තරගයේ පළමු ස්ථානය හිමි වූ කෙටි කතාව
Leave feedback about this