ඔක්තෝබර් 24, 2025
Kids and Pets Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

සුරතල් සතුන් අපේ දරුවන්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද?

අද කාලයේ විශේෂයෙන්ම දෙමාපියන් සහ වැඩිහිටියන්ගේ රැකියාව සහ දෛනික ජීවිතයේ කාර්ය බහුලතාව නිසා ළමයින් සමග ගත කළ හැකි කාලය ඉතා සීමිත වෙල තිබෙනවා. එය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් වුවත් දරුවා කෙරෙහි ඉන් ඇතිවන බලපෑම යම් තරමකින් හෝ මගහරවා ගැනීමට එක් විසදුමක් තමයි සුරතල් සතෙකු හදා වඩා ගැනීම. සුරතල් සතෙක් ළමයෙකුට තවත් මිතුරෙක් වගේ. සෙල්ලම් කරන්න, කතාකරන්න වගේම අවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව ඉන්න බොහොමයක් මේ සුරතල් සතුන් සූදානම්. නිකමට කල්පනා කරල බලන්න අපි අතරෙ ඉන්න බල්ලන් පූසන් වැනි සතුන් එහෙම තමයි නේද? ඔවුන් හරිම කැමතියි කුඩා දරුවන් ඇසුරු කරන්න , දරුවන් සමග සෙල්ලම් කරන්න, වචන කතා නොකෙරුවත් අප කතා කරන විට ඔවුන් ඊට පුදුම සහගත ලෙස ප්‍රතිචාර දක්වනවා. ඉතින් එවැනි සුරතල් සතෙකුගේ ඇසුර දරුවකුගේ සිතෙහි තනිකම, පාලුව මගහරවන, උද්යෝගයක් සතුටක් දනවන විසදුමක් විය හැකියි.

එසේම දරුවන්ට සුරතල් සතෙකු බලාගැනීමේ වගකීම දීම ඔවුන්ගේ පෞර්ෂත්ව සංවර්ධනයටද උපකාරී වන අත්දැකීමක් වෙයි. කෑම දීම, නැහැවීම, නිදන තැන සූදානම් කිරීම, ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම ආදී රාජකාරී දරුවාහට පැවරූ විට, එය ඔහුට සරල කාරනාවක් නොවේ. තම සුරතලා පිළිබඳ වගකීම තමා මත බව එවිට ඔවුන්ට හැඟී යයි. තමාද “වගකිව යුතු පුද්ගලයෙක්” කියන හැඟීම ඒ තුලින් ගොඩනැගේ. ඒ වගකීමේ හැඟීම දරුවන්ගේ අනාගත ජීවිතයට අත්‍යවශ්‍ය පාඩමකි. ඔවුන්ගේ අනාගත රාජකාරී, සම්බන්ධතා, පවුල් ජීවිතය වැනි වගකීම් වඩා හොඳින් කළමනාකරණය කරගනීමට මෙම අත්දැකීම තුලින් ලබන ඉගෙනුම ප්‍රයොජනවත් වනු ඇත.

එසේම සුරතල් සතෙකු සමඟ ගත කරන විට, ළමයින්ට ඔවුන්ගේ හැසිරීමේ රටාව ඉවසිලිවන්ත බවෙන්, ආදරයෙන් සහ මුදු බවෙන් පිරවිය යුතු වෙනවා. සතෙකුගෙන් වුවත් තමාට පෙරලා ආදරය සහ ප්‍රතිචාර ලැබෙන්නේ නිසි අවධානය සහ සැබෑ ආදරය දුන් විට බව දරුවා තේරුම් ගන්නවා. ඇත්තටම එය දරුවෙකුගේ හදවත ගොඩනගන විශාල පාඩමක්.

“මම, මගේ සුරතලාට ආදරෙන් හැසිරුණාම ඔහු සතුටු වෙනවා, ඒ වගේම මම වෙනත් අයත් ආදරෙන් හැසිරුණොත් ඔවුනුත් සතුටු වෙනවා” මෙම අවබෝධය ඔවුන්ගේ ජීවිතයට ඇති කරන වෙනස කොතරම් විය හැකිද ?

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවෙකුගේ හිතට පාලුව, කාන්සිය ඇතිවන අවස්ථා එලැඹිය හැකියි. එවැනි අවස්ථාවලදී සුරතල් සතෙක් අසලින් සිටීම පවා හිත සැනසීමට පත් කරන ඔවුන්ගේ මනසට සාමය ගෙන හේතුවක් විය හැකියි. නොඑසේ නම් ඔවුන් නුසුදුසු ක්‍රම මගින් තම මානසික තෘප්තිය සොයාගැනීමට උත්සාහ කරනු ඇත. අනිසි ආහාර වැඩිපුර කෑම, ඉතා වැඩි කාලයක් වීඩියෝ ගේම්වල හෝ ෆෝන්/ටැබ්ලට් වල ගෙවීම. කාමර තුළ තනිව සිටීම. අලස බව සහ ක්‍රීඩා වැනි බාහිර ක්‍රියාකාරකම්වලින් තොරවීම, නුසුදුසු නිදාගැනීමේ රටාවන් ඇති කරගැනීම වැනි මෙවැනි දේ කිරීම මගින් අවසානයේ ළමයින්ගේ මානසික සෞඛ්‍යයත්, ශාරීරික සෞඛ්‍යයත් පිරිහෙන නිසා සුරතල් සතෙක් ඇසුරු කිරීමට ඉඩ සලසා දීම බොහෝ අනවශ්‍ය ගැටලු ඇති වීම වලක්වන සරල ක්‍රමයක් වනු ඇත.

තවත් අතකින් සුරතල් සතුන් එක්ක සෙල්ලම් කිරීම දරුවන්ගේ ශරීර සෞඛ්‍යයත්, මනෝ සෞඛ්‍යයත් දෙකම ගොඩනගනයි. ඔවුන්ගේ ඇවිදීම, දිවයාම, පන්දු යැවිම, චර්යාවන් නිරීක්ෂණය අදිය ශාරීරිකව උත්තේජනයක් සපයයි. ශක්තිමත් කරයි. එමෙන්ම මානසිකවද සිත සන්සුන් කරයි. ආතතිය අඩු කරයි.

සුරතල් සතෙකු සමීපයේ සිටින විට වැඩිහිටි අප පවා ඔවුන් සමග කතා කිරීමට පෙලඹෙනවා. සතුන් අපට පෙරලා පිලිතුරු නොදුන්නත්, කතා කරන විට අප දෙස බලා සිටීමෙන් සහ වෙනත් අහිංසක අංග චලනයන්ගෙන් ඔවුන් අපට ප්‍රතිචාර දක්වන නිසා ඔවුන් අපට සවන් දෙන බවක් අපට හැගී යනවා. මේ නිසා දරුවන් ද තමන්ගෙ දුක , සතුට, තරහව, අපේක්ශාවන් ආදිය සුරතලුන් සමග ප්‍රකාශ කිරීමට පෙලබෙනවා. දරුවන්ගේ ප්‍රකශන හැකියාවන් වර්ධනය වීමට එයද උපකරී විය හැකියි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ වචන ඉක්මවා ගිය හැගීම් සන්නිවේදනය පිළිබඳ අදහස මෙම ඇසුරෙදී දරුවාට උගත හැකි වීමයි.

මේ සියල්ල සලකා බලන විට සුරතල් සතෙකු සමඟ ළමයින්ගේ සම්බන්ධතාවය කුඩා මිතුරුකමකට සීමා නොවේ. ඒ සම්බන්ධතාවයේදී ඔවුන් සහෘදතාව, අවබෝධය සහ අන් අය ගැන සැලකිල්ල වැනි වටිනා මානුශීය ගුනාංග ඉගෙන ගන්නා අතර එය සම්බන්ධතා පැවත්වීම, වගකීම් දැරීම වැනි පෞරුෂත්ව ජීවිතයට එක් කරන සජීවී පාඩමක් ද වෙයි.


සටහන

චතුරිකා දසනායක

Leave feedback about this

  • Quality