පාට පාට සෙල්ලම් බඩුවලට පුංචි පැටව් හරිම ආසයි. ඇත්තටම කිව්වොත් වැඩිහිට අපි වුණත් ලස්සන සෙල්ලම් බඩුවලට කැමැත්තක් දක්වනවා. ඒත් අනාරක්ෂිත සෙල්ලම් බඩු නිසා සිදුවන හදිසි අනතුරු අපිට නිතර නිතර අසන්නට ලැබීම වේදනවාක්. අපේ පුංචි දරුවන් එලෙස අනතුර භාජනය වෙන්නේ එයාලා ආදරෙන් ආසාවෙන් තුරුු කරගන්නා සෙල්ලම් බඩු නිසා වීම හරිම ඛේදනීයයි. අන්න ඒ නිසාම පුංචි පැටවුන්ට සෙල්ලම් බඩු තෝරගන්නා විට සොයා බැලිය යුතු කරුණු කීපයක්ම තිබෙනවා.
දරුවාට වයස අවුරුදු 3ක් වන තුරු ලබා දෙන සෙල්ලම් බඩු දරුවාගේ මුඛයේ ප්‍රමාණයට වඩා විශාල විය යුතුයි. එවිට ඒවා මුව තුළට දමාගැනීම අපහසු වන අතර හුස්ම සිරිවීමේ අවදානමක් නෑ. ඒ සඳහා ටොයිලට් පේපර් රෝලක් ගෙන එහි මැද සිලින්ඩරාකාර කොටසට සෙල්ලම් බඩුව ඇතුළු කරන්න. සෙල්ලම් බඩුව ඒ තුළ සිරවේ නම් එය දරුවාට ලබා දීමෙන් වළකින්න. අවදානමක් ඇති සෙල්ලම් බඩුවක් දැයි නිශ්චය කරගැනීම සඳහා එසේ පරීක්ෂා කිරීමට ඔබට හැකියි. අවුරුදු 3ක් වයසැති ඔබේ දරුවා අතට හසුවන සියලු දෑ මුව තුළට දමා ගනී නම් කුඩා කොටස් හා උපංග සහිත සෙල්ලම් බඩු දරුවාට ලබා දීම ප්‍රමාද කරන්න.
සෙල්ලම් බඩු තෝරාගැනීමේ දී එහි සටහන් කර ඇති නිර්දේශිත වයස පිළිබඳව පළමුව අවධානය යොමු කරන්න. එසේම අදාල සෙල්ලම් බඩුව භාවිත කිරීමට දරුවාට ඇති හැකියාව පිළිබඳ නිශ්චිත අදහසක් මව්පියන් වන ඔබට තිබිය යුතුයි. එමෙන්ම ප්‍රක්ෂේපනය වන එනම් ඉවතට විසිවන උපාංග සහිත සෙල්ලම් බඩු ආදිය අවුරුදු 4ට අඩු දරුවන් සඳහා නුසුදුසුය. සමහර විට අවුරුදු 6ට අඩු දරුවන්ට පවා ඒවා නුසුදුසු විය හැකියි. හොඳ නිෂ්පාදනයක් තෝරාගන්න.
ඔබේ නෑදෑ හිතවතුන්ගෙන් හෝ සහෝදරයින්ගෙන් ඔබට ලැබෙන කලින් පාවිච්චි කරන ලද සෙල්ලම් බඩු හෝ සේල් වශයෙන් මිළදී ගන්නා අබලන් වූ සෙල්ලම් බඩු සමහරවිට අනතුරුදායක විය හැකියි. අලුත් හෝ පරණ ඕනෑම සෙල්ලම් බඩුවක බොත්තම්, බැටරි, රිබන්, නූල්, ඇස්, පබලු ප්ලාස්ටික් කොටස් හොඳින් පරීක්ෂා කරන්න. රෙදිවලින් මසන ලද සෙල්ලම් සතුන්ගේ වලිග කොටස මෙන්ම සම්පූර්ණ සෙල්ලම් බඩුවම තදින් මසා ඇති දැයි බලන්න. එමෙන්ම තියුණු උල් සහිත හා තීන්ත පොතු ගැලවෙන සෙල්ලම් බඩු තෝරා ගැනීමෙන් වළකින්න.
- තෝරාගත් සෙල්ලම් බඩු භාවිතයට දරුවා ශාරීරිකව සුදුසු දැයි තහවුරු කර ගන්න.
උදාහරණයක් ලෙස වැඩිමහල් දරුවන් සිටින දෙමව්පියන් තම වැඩිමහල් දරුවා වෙනුවෙන් මිළදී ගත් බයිසිකලයම තම කුඩා දරුවාට ලබා දෙනවා. තරමක් විශාල වූ එවැනි බයිසිකලයක් නිසි අයුරින් පාලනය කරගත නොහැකි කුඩා දරුවෙකුට මින් දරුණු අනතුරක් පවා සිදුවිය හැකියි.
- බැලුම් බෝල අනතුරුදායක බව සිහිතබාගන්න
වර්ණවත් බැලුම් බෝල පොඩි දරුවන්ට මහත් සතුටක් ගෙනෙන දෙයක්. නමුත් සෙල්ලම් බඩු ආශ්‍රිතව සිදුවිය හැකි හුස්ම සිරවීමේ අවදානම් තත්ත්වයන් සඳහා බැලුම් බෝල ප්‍රධාන හේතුවක් වන්නට පුලුවන්. නොපිම්බූ බැලුම් බෝල සහ පුපුරා ගිය බැලුම් බෝල කොටස්වලට පහසුවෙන්ම දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කරන්න පුලුවන්.
- සෙල්ලම් බඩුවල බර පිළිබඳව සැලකිලිමත් වෙන්න.
සෙල්ලම් බඩුව දරුවා මත පෙරලීමෙන් දරුවාට හානියක් සිදුවේද යන්න සිතා බලන්න.
- සෙල්ලම් බඩුවේ ඇති නූල අඟල් 12ට වඩා දිග නම් එය නුසුදුසුයි
දරුවාගේ ගෙල වටා එති හුස්ම ගැනීම අවහිර කරන්න නූලකට හැකියාව තිබෙනවා. එමෙන්ම දරුවා දෑත් හා දණහිස් ගසා නැගී සිටින්නට උත්සාහ කරන කාලයේ දී ඔහුගේ තොටිල්ල වටා එල්ලා ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න. විශේෂයෙන් පරණ තාලයේ සෙල්ලම් බඩු පිළිබඳ අවධානය යොමු කරන්න.
- කුඩා කාන්දම් සහිත සෙල්ලම් බඩු එපා
කුඩා කාන්දම් නිතරම සෙල්ලම් බඩු සඳහා යොදාගන්නා අතර ඒවා සෙල්ලම් බඩුවලින් ගැලවී බිම වැටී, දරුවන්ගේ මුව තුළට ඇතුළු විය හැකියි. කාන්දම් 2ක් හෝ කුඩා යකඩ කැබලි දරුවා ගිලීමෙන් පසු ඒවා ආකර්ශණය වීමෙන් බඩවැල්වල සිදුරු, අවහිරතා මෙන්ම ආසාධන ද ඇතිවන්න්ට පුලුවන්. එමෙන්ම ඒවාට නිසි අයුරින් ප්‍රතිකාර නොකළහොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකියි. කාන්දම් සහිත සෙලල්ම් බඩු අවුරුදු 14ට අඩු දරුවන් සඳහා නුසුදුසුයි.
- විෂ සහිත සෙලල්ම් බඩු තෝරාගන්න එපා
ප්ලාස්ටිසයිසර් යන රසායණිකය ප්ලාස්ටික් නම්‍යශීලී කරගැනීම සඳහා සහ කල්පැවැත්ම සඳහා භාවිත කරන අතර මේවා බෙහෝ සෙල්ලම් බඩු වල අන්තර්ගත වෙනවා. මීට අමතරව ඊයම්, රසදිය, කැඩ්මියම් හා ආසනික් වැනි රසායනිකයන් ද අන්තර්ගත විය හැකියි. එවැනි කරුණු පිළිබඳවත් මව්පියන් සැලකිලිමත් විය යුතුය.