ඔක්තෝබර් 24, 2025
Heel Bath Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

හීල්බතේ ගුණ කොයිතරම්ද කියා දන්නවාද?

අද වගේ ශීතකරණ නොතිබුන අතීතයේදී රාත්‍රියේ ඉතිරි වුන බත් උයන මුට්ටියේම තබා පසුව පහුවදා උදේ රත් නොකරම ආහාරයට ගත්තා. හීල් බත් යනුවෙන් හැදික් වූ මේ ගැන වැඩිහිටි පරම්පරාව දැන සිටියත් අද දවසේ තරුණ කණ්ඩායම්වලට නම් ඒ ගැන ලොකු අත්දැකීමක් නැහැ. රාත්‍රියට පිසින බත මේ අන්දමින් පසුවදාට ප්‍රයෝජනයට ගැනීම නිසා යම් ආකාරයක පිරිමැස්මක් ඇති වුණා. පාසල් යන දරුවන්ගේ උදේ ආහාරයත් හීල්බත්. ඒ නිසා අද වගේ දරුවන් නිරාහාරව පාසලට ගියෙත් නැහැ. රාත්‍රි ඉතුරු බත් නිසා අම්මාටත් පහසුයි. බත් අපතේ ගියෙත් නැහැ. ඒ වගේම බත පිසින්නට භාවිතා කරන ඉන්ධනත් පිරිමසා ගැනීමට හැකියාවක් ලැබුණා. අද දවසේදී රාත්‍රි පිසින බත් ඉතුරු වුනත් ඒවා නැවත රත් කිරීමෙන් ආහාරයට ගන්නා නිසා එය හීල් බත් යනුවෙන් හදුන්වන්න බැහැ. හීල්බත බොහොම ගුණදායක බැව් සමහර විට ඔබ නොදන්නවාත් ඇති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව හීල් බත වාත, පිත, කප කියන තුන්දොසම සමනය කරන ආහාරයක්.

රාත්‍රි පිසින බත ශීතකරණයක නොතැබීම නිසා පරිසරයේ සිටින යීස්ට් ඇතුලු හිතකර ක්ෂුද්‍ර ජීවින් බතේ උපස්ථරය මත ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රියාකාරිත්වය පමණට වඩා සිදු වුනොත් බත පිළුණු වුනා යැයි කියනවා. හිතකර අන්දමට ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලියට පත්ව බත පැසීමට ලක් වුනාම විටමින් B සහ විටමින් C සාන්ද්‍රණය ඉහළ යෑම නිසා ඔබට ඉතාම පහසුවෙන් පෝෂණීය ආහාරයක් ලබා ගැනීමට පුලුවනි. මේ පැසීමේ ක්‍රියාවලිය නිසාම ප්‍රෝටීන් සාන්ද්‍රණය ඉහළ යෑමත් සමග ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවීම සිදු කරනවා.

සත්ව ආහාර මත මේ විදිහට හිතකර ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය සිදු වෙන නිසාම විටමින් බී12 උපයා ගැනීම පහසුයි. දැන් ඔබට හිතෙන්නේ මොකක්ද? මස් මාංශ ආහාරයට නොගන්නා අයටත් හීල් බත් හොදයි කියන අදහස හිතට ආවා නම් ඔන්න ඔබත් නිවැරදියි. ඒ නිසා මස් මාංශ ආහාරයට නොගන්නා අයට හීල්බතින් මනා පෝෂණයක් ලබා ගැනීමට පුලුවනි.

හීල්බත් ආහරයට ගැනීමේදී සකස් කර ගන්නේ පොල් සම්බෝලයක්. ඊටත් අතිරේක ලෙසින් කරවල කෑල්ලක් එකතු කර ගන්නවා. මේ ආහාරවලින් සිරුරට අහිතකර විදිහට මේද ගබඩා වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අද බොහෝ දෙනෙක් රාත්‍රියේ ඉතිරි වෙන බත ශීතකරණයේ තබා රත් කර ගෙන එය නැවත තෙම්පරාදු කිරීම විතරක් නොවෙයි තවත් රසකාරකත් එකතු කරන නිසා හීල්බතකින් ලැබෙන පෝෂණය ඔවුන්ට අහිමි වී තිබෙනවා.

අද බොහෝ දෙනෙකුට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු බොහොමයි. භෞතික සැප සම්පත් කොතරම් තිබුනත් මාසික සුවතාවය නැත්නම් ඒ ජීවිතය සමබර නැහැ. ඉතින් ඔබ නොදන්න රහසක් හිල් බතෙන් ලැබෙනවා. හීල්බත්වල අන්තර්ගත විටිමින් බි නිසාම ඔබේ මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට යම් ආකාරයක පහසුවක් ලැබෙනවා. විටමින් බි ඌනතාවය නිසා ඔබට යම් උදාසීනතාවයක් ඇති වෙන්න පුලුවනි. බොහෝ විට මේ කම්මැලි ගතිය ඇති වෙන්නේ විටමින් බි ඌනතාවය නිසා බව ඔබටත් තේරුම් ගන්න අපහසුයි. නමුත් මේ හිස්තැන ඉතාම හොදින් දියබත් ආහාරයට ගැනීමෙන් සපුරා ගන්න පුලුවන් බවත් අමතක කරන්න එපා.
දියබත් අද කාලයේ ගැස්ට්‍රයිටිස් විදිහට හැඳින්වෙන රෝග තත්වය එදත් අඩු වැඩි වශයෙන් සමාජයේ තිබුණා.බොහෝ විට එය ඔවුන් හැදින්වුයේ බඩේ දැවිල්ල විදිහටයි. සිරුර ගිනියම් වෙලා යැයි සිතා දියබත් ආහාරයට ගැනීමෙන් මනා සුවයක් ලබා ගැනීමට මේ අය අතීතයේදී පුරුදුව සිටියා.

ඉතින් අද දවසේ ගැස්ට්‍රයිටිස් නැති කෙනෙක් ඉන්නවා නම් එය කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාට සමානයි. ඒ වගේ අවස්ථාවලදී දියබත් ආහාරයට ගැනීම හොඳම ප්‍රතිකාරය ලෙසින් සැලකුණා.

රාත්‍රියේ මුට්ටියේ ඉතිරි වෙන බත් දංකුඩයට වතුර ටිකක් දමා රැය පුරා තබනවා. බොහෝ විට මෙය මැටි මුට්ටියක්. පසුදිනට මේ බත් ටික සූරා ගෙන භාජනයකට දමා එයට පොල් කිරි එකතු කරනවා. රතුළූණු, අමුමිරිස් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දමා දියබත් ආහාරයට ගන්නවා. ඉතින් අදටත් දියබත් ගැස්ට්‍රයිටිස් ඇති අයට බොහොම සුවදායකයි. එය ආහාරයට ගෙන බැලීමෙන්ම ඔබට තේරුම් ගන්න පුලුවනි.

ඒ වගේම අද මද සරු බව ලොකු ගැටළුවක් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයේම හේතු බලපානවා. කාන්තාවන්ගේ උෂ්ණාධික බව නිසා ශුක්‍රාණුවල ජීව කාලය ඉක්මනින්ම නැති වෙනවා. ඒ වගේම පුරුෂ සිරුරේ අධික උණුහුම නිසාත් ශුක්‍රානු ප්‍රමාණය වගේම සක්‍රිය ප්‍රතිශතය පවත්වා ගැනීම පිලිබද ගැටලු ඇති වෙනවා. දියබත්වල ඇති සිරුර නිවන ගුණය නිසා කාන්තා සිරුරේදී ශුක්‍රානුවක ජීව කාලය වැඩියෙන් පවත්වා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම සිසිල් බව නිසා පුරුෂ ශුක්‍රාණු සම්බන්ධව ඇති ගැටළුවලටත් විසදුම් ලැබෙන නිසා දියබතෙන් ලැබෙන වාසි මග හරින්න එපා.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality