පුංචි අයගේ හිත් මල් වගෙයි කිව්වාට ඒ හිත්වලත් ඉරිසියාව, තරහව නැත්තේම නැහැ. මේ නිදිගත සිතුවිලි අවදි වෙන්නේ ඔවුන්ටවත් නොදැනෙන විදිහටයි. අද පවුලක දරුවන් වෙනුවෙන් පනවා ගෙන ඇති ස්වයංවාරන නිසාම දරුවන් ඇත්තේ බොාහම සීමා සහිතවයි. ඒ කියන්නේ දෙනේනෙක් එහෙම නැත්නම් එක්කෙනක් විදිහටයි. මේ නිසාම වැඩිමහල් දරුවාට පවුලේ තිබෙන්නේ විශාල පිලිගැනීමක්. දෙවැනි දරුවා වෙනුවෙන් මව්පියන් තබන බලාපොරොත්තු සමග දරුවාගේ මනසටත් සිතුවිලි ඇතුළු වෙනවා.
පුතාට සෙල්ලම් කරන්න මල්ලියෙක් එහෙම නැත්නම් නංගියෙක් අම්මා ගේනවා… යන බලාපොරොත්තුව වැඩිමහල් දරුවාට විශාල සතුටක්. ඔහු එතැන පටන් අලුත් අමුත්තා පිලිගන්න බලාපොරොත්තුව සිටිනවා.
අලුත් කිරි සුවඳ ගෙට ආවාම ගැටුම පටන් ගන්නවා. දැන් පරිසරය බොහොම වෙනස්. අම්මාගේ සම්පූර්ණ අවදානය අලුත් නංගිට එහෙම නැත්නම් මල්ලිට…තාත්තා වුනත් තමා ගැක සැලකිල්ලක් නැහැ. අත්තම්මලා පුංචි අම්මලා හෝ නැන්දලා එකට ජීවත් වෙනවා නම් ඒ හැම දෙනාමත් එක එල්ලේම අලුත් බබා ගන වෙහෙසෙනවා. ඊටත් වඩා නිවසට එන අමුත්තන් සියලු දෙනාගේම කතා බහ ඒ ගැනයි.
අම්මා වාගේමයි…තාත්තාගේ නළල…මේ වගේ අලුත් නංගි ගැන හෝ මල්ලි ගැන මිසක තමාට කිසිම තක්සේරුවක් නැතැයි යන ආත්මානුකම්පාවෙන් හිත පිරෙනවා. ඒ නිසා අලුත් දරුවා ගැන ඇති වෙන ඉරිසියාව එතරම් හොඳ පුරුද්දක් නොවෙයි. මේ මානසිකත්වය දරුවාගේ අහිංසක සිතුවිලි සමග ඇති වෙන්නක්. ඒත් පවුලක මේ පරිසරය දරුවාට ඇති නොවෙන විදිහට කටයුතු කිරීම ඉතාම වැදගත්.
එහෙම නැති වුවොත් මේ පීඩනය බාල දරුවා වෙතින් පිටවෙන්න පටන් ගන්නවා. ඔහුට හෝ ඇයට රිදවන්න පෙළඹෙනවා. සමහර විට මේ තත්වය ඉතාම අනතුරුදායක විදිහකින් ජීවිතයට පවා බලපානවා.
එක් දරුවෙක් තමාට නංගියෙක් ලැබුන පසු ඇයට දරුණු විදිහට කරදර කරන්න පටන් ගත්තා. එක් දිනක් මව බිලිඳු දරුවාගේ රෙදි සෝදමින් සිටින විට දුටුවේ වැඩිමහල් පිරිමි දරුවා විටින් විට ඇයගේ කාමරයට පැමිණෙමින් පිටවෙන අන්දමයි. මවට සැක සිති පැමිණ බැලූ විට දුටුවේ නිවසේ තිබූ කොට්ට ගෙන විත් අලුත් උපන් බිලිඳාගේ නාසය හිරවෙන සේ තබන අන්දමයි.
මේ නිසා අලුතින් දරුවෙක් පවුලට පැමිණි විට වැඩිමහල් දරුවා වෙනුවෙන් මෙතෙක් තිබුන පිලිගැනීමට අවහිරයක් නොවන සේ කටයුතු කිරීම ඉතා වැදගත් වේ. බාල දරුවා අනවශ්‍ය සේ ඉස්මතු කිරීම නිසා වැඩිමහල් දරුවාට ඇති වෙන මානසික කම්පනය එතරම් සුළුපටු නැත. ඒ නිසා පවුලේ උදවිය අතර මෙන්ම අලුත උපන් දරුවා බලන්නට ඔවුන්ගේ නිවසට යන එන උදවිය පවා වැඩිමහල් දරුවාට පෙර දවසේ දක්වන ලද ආදරය අවධානය දැක්වීම වැදගත් වේ. තෑගි බෝග ගෙන යන විටත් දෙදෙනාටම යමක් ලැබෙන සේ රැගෙන යන්න. පවුලේ වැඩිමලා යැයි අලුත් තැනක් ලැබුනත් ඔවුන් ද දරුවන්ය. ළමා සිත් බෙහෙවින් මුදු මොලෙකේ බැවින් මෙම වෙනස්කම් දරා ගැනීම අපහසුය.
මෙහිදී දරුවා වඩාත් අසීරුතාවයට පත් වන්නේ පෙරදා ඔහුට පැවැති නිදහස් වාතාවරනය අහිමි වීමයි.
පුතා සද්ද කරන්න එපා…යන්න කාමරයෙන් එලියට නංගි/මල්ලි නිදි…ඔයා අත හෝදාගෙනද ආවේ…
මේ අන්දමින් නිතරම දරුවාගේ කටයුතු වෙනුවෙන් ඇති වෙන නිශේධනය නිසා ඔහුට බාල සහෝදරයා හෝ සහෝදරිය වෙනුවෙන් ඇති වෙන්නේ ද්වේශයකි. තමන්ගේ තැන උදුරාගෙන ඇතැයි වූ දැඩි කම්පනයෙන් පසුවෙනවා පමණක් නොව අභ්‍යන්තරව පවතින ඉරිසියාව නොදැනීම පිටතට ප්‍රදර්ශනය වීමට පටන් ගැනේ.
එමෙන්ම කිසිම දිනක වැඩිමහල් දරුවා ඉදිරියේ අලුත් පැමිණීම ගැන අනවශ්‍ය විදිහට වර්ණනා නොකරන්න.
මල්ලි හරි හොඳයි…මං ආදරේ මල්ලිට…ඔයා දැන් හරිම නරකයි…ඉන්නකෝ මල්ලි ලොකු වුනාම ඔයාට ගුටි කන්න වෙයි…
මේ විදිහට අනවශ්‍ය ලෙසින් බාල දරුවා ඉස්මතු කිරීමත් දරා ගැනීමට අපහසු තත්වයක් වෙනු ඇත.
පවුලට නවකයෙකුගේ පැමිණීම සමග මෙතෙක් පැවැති පහසුකම් සමග අවධානය අහිමි වෙන බව සැබෑය. ඒත් එම තත්වය තමන්ට සාධාරණීය කර ගෙන සිතන්නට තරම් මෝරන ලද බුද්ධියක් දරුවන්ට නැත. ඒ නිසා ඔවුන් පෙරටත් වඩා සුරතල් වීමට වගේම අවධානය දිනා ගැනීමට උත්සාහ දරනු ඇත. එවන් අවස්ථාවලදී ඔවුන් පලවා හැරීම නම් නොකල යුතුය. හැකි හැම විටම වැඩිමහල් දරුවාට ආදරය සහ අවධානය පෙරටත් වඩා ලබා දෙන්න. එවිට ඔහු අලුත් අමුත්තා සමග සහජීවනය ගොඩ නගා ගැනීමට පසුබට වන්නේ නැත.
වයසින් වැඩි වුනත් අපි සෑම කෙනෙකුගේම අවධානය සහ ආදරය වෙනුවෙන් ඇත්තේ පොදු සිතුවිලිය. ඒ නිසා දරුවන් වෙනුවෙනුත් ඒ තත්වය අසාධාරන නැත. එය වඩාත් සාධාරණ වන්නේ ඇත්තටම ඔවුන් තවමත් නොමේරූ සහ අහිංසක සිතුවිලිවලින් සුසැදි පිරිසක් නිසාය. එබැවින් තවත් දරුවෙක් යනු පවුලට ආලෝකයක් බව සැබෑය. එහෙත් ඒ හැම අවස්ථාවකදීම මෙතෙක් ඔබේ සුරතලා බවට පත්ව සිටි දරුවා අවතැන් නොකරන්න. ඒ තත්වය ඔහුට අවශ්‍යය. අම්මේ…තාත්තේ මට හිමිතැන දෙන්න යැයි ඔවුන් කව් ගී ගයන්නේ නැත. එය හිතේ දරාගෙන පැසවමින් සිටින අතර කාලය සමග මේ තත්වය නිසා නොදැනීම මානසිකව යම් පසුබෑමකට පත් වෙනු ඇත. එබැවින් නිරන්තරවම පවුලක අලුත් දරුවෙක් පැමිණෙන්නේ නම් වැඩිමහල් දරුවන් වෙනුවෙනුත් නිසි ආදරය , රැකවරනය සමග ගනුදෙනු කිරීම ඉතා වැදගත්ය.
බාල දරුවාගේ කටයුතු වෙනුවෙන්ද සහෝදරයන්ගේ සහය ලබා ගන්න. එවිට මේ තත්වය බොහෝ දුරට දුරස් වෙනු ඇත. ඇතැම් අවස්ථාවල අලුත් දරුවාගේ රෙදි පිලි පවා අල්ලන්නවත් අවසර නොදෙනු ඇත.
දරුවෙක් තම බාල සහෝදරියගේ සියලු ඇඳුම් අම්මාට හොරෙන් නැවත ගෙන ගොස් බිම දමා තිබුණි.
ඇයි මල්ලිගේ රෙදි බිම දැම්මේ…අම්මා සැරෙන් ඇසුවාය.
ඇයි ඒවාට විතරක් සුවඳ දාන්නේ..(සුවඳ යනුවෙන් දරුවා අපේක්ෂා කළේ විෂබිජනාශක දියරයි)
ඇත්ත වශයෙන්ම එතැන තිබුනේ බාලදරුවා වෙනුවෙන් දක්වන වැඩි සැලකිල්ල මුල් කර ගත් ආවේගයකි. එවැනි අවස්ථා මව්පිය වැඩිහිටියන් නිසි ලෙස අවබෝධ කරගනිමින් දරුවාට අවශ්‍ය අවදානය යොමු කිරීමෙන් මෙවැනි ගැටලු බොහෝ දුරට නිරාකරණය කරගත හැකි වනු ඇත.
Leave feedback about this