අප්‍රේල් 4, 2025
Parent Pulse Kavi Katha Category Article Featured Image
කවි කථා

අතපසු වූ ආදරය

“සමනලී මොකද බර කල්පනාවක?”
වෛද්‍ය අමායා හා සිනාසෙන්නට සමනලී දෙතොල් ඈත් කරන්නට වෙර දැරූවද ඇයගේ දෙතොල් මත සිනාවක් සනිටුහන් නොවීය. කාරුණික ප්‍රියමනාප පෙනුමින් යුතු මානසික උපදේශිකවක් වූ අමායා කුලතුංග පිළිබඳ සමනලීට පැහැදීමක් ඇති වුයේ ඇය දුටු මුල් දිනයේමය.
“ඉතිං සමනලියෝ අපි චුට්ටක් කතා කරමුද?”
“හා”
“සිය දිවි නසා ගැනීම ලොකු වරදක් නේද ?”

සිරි සිරි සිරි අහස නිදහසේ කඩා හැලෙන්නට විය. වැහි සීතලට ඇඟට සීතලක් දැනුනද සමනලීගේ හිත නම් තිබුණෙ ගිනියම් වෙලා.

“අර මගේ බඩේ හිටිය කෙනාට මොකද වුණේ, එයා නිසා තමයි මම මැරෙන්න හැදුවේ.”
“අනේ මොනවත්ම දන්නෙ නැති ඒ පැටියට නිසා ඔයාගේ වටින ජීවිතේ අතාරින්නද ඔයා කල්පනා කළේ”
“එයා මගේ ළඟට නොඑන්න මේ කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නැහැනේ”
“එයා ඔයා ළඟට ආවේ ඔයා නිසාමනේ”
“ඒ වුණාට එයා නිසයි මේ සේරම සිද්ධ වුණේ. හැමදේම අවුල් වුණේ. එයා මං ළඟට ආවේ නැත්නම් ඉවරයිනේ.”

අමායා මදක් නිහඬව සමනලී දෙස බලා සිටියාය. මානසිකව බිඳී සිටින මේ දැරිය පිළිබඳ ඇයට දැනුනෙ අනුකම්පාවකි.

“ඔයා කියන්නෙ මම වැරදියි කියලද?”
“ මම ඔයා වැරදියි කියලා කියන්නේ නැහැ සමනලී. ඒත් කොතනක හරි වැරදිලා තියෙනවා.”

අමායා කාරුණිකව සමනලීගේ දෙනෙත් මත දෙනෙත් නතර කළාය. සමනලීගේ ඇස්වල පිරුණු කඳුළු නිහඬව නොනවත්වාම ඇගේ කොපුල් මතින් ගලාගෙන ගියාය.
අමායා සමනලීගේ දෑතක් ඇගේ අත් දෙකින්ම අල්වා ගත්තාය. සමනලීට ආරක්‍ෂාකාරී හැඟීමක් දැනෙන්නට විය.

“මාත් ඩොක්ටර් වගේ වෙන්න ආසාවෙන් හිටියේ”
“ඉතිං දැනුත් පුළුවන්”
“දැන් බැහැ. මගේ ජීවිතේ අවුල් වෙලා ඉවරයි.”
“හොඳයි ජීවිතේ අවුල් වුණේ කොහොමද?”

සමනලී දාහත් හැවිදිරි සුන්දර යුවතියකි. දුටුවෙකුට වරක් නොව නොනවත්වාම බලා ඉන්න හිතෙන තරමටම ඇය සුන්දරය. ඇය රෝහල්ගත කොට දින තුනක් ගතවී තිබුණත් කිසිම වෛද්‍යවරයෙකු, හෙදියන්, නිවසේ අය සමඟ හෝ අහල පහල සිටින කිසිවෙකු සමඟ වදනක්වත් කතා කළේම නැත. අමායාගේ දවස් දෙකක උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස අද සමනලී ප්‍රථම වරට ඇය හා දොඩමළු විය.

“මට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මම බයෝ කළේ, ඩොක්ටර් කෙනෙක් වෙන්නයි ඕනේ වුණේ.”
“ඉතිං දැනුත් ඔයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්.”
“දැනුත්, විහිලු කරන්න එපා? ”එවර සමනලී රලු බවකින් පැවසුවේ අමායා ළඟින් මෑත්ව ඇයට පිටුපස හරවාගෙන ඇඳ මතින් වාඩි වෙමින්ය.
“හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. විශේෂයෙන් ඔයා වගේ දක්ෂ දරුවෙක්ට. මිනිස් ආත්මයක් ලබාගන්න එක කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. අපි ජීවිතේ අලුතින් පටන් ගමු.”

එවර සමනලී බලාපොරොත්තු සහිත දෑසින් අමායා වෙත බැල්මක් යොමු කළාය.

“ජීවිතේ කියන්නේ සල්ලි විතරක්ම නෙමේ නේද ? අපේ පන්තියේ හිටිය සමහර දුප්පත් ළමයි හුඟක් සතුටින් හිටියා. අපේ අම්මා ප්‍රයිවට් කම්පනි එකක එකවුන්ටන් කෙනෙක්. තාත්තා මැනේජර් කෙනෙක්. අයියා දැන් ඉන්නේ ලන්ඩන් වල එයාගේ උපාධියට ඉගෙන ගන්න. අක්කා බැඳලා ඩුබායි වල තමයි ඉන්නේ”
“ඉතිං”
“අපි තුන්දෙනාම ඉන්න දවස් වල නම් මට කිසිම පාළුවක් තිබුණේ නැහැ. අයියයි අක්කයි මට හරිම ආදරෙයි. අම්මටයි තාත්තටයි අපි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. එයාලටත් වඩා ගෙදර වැඩට හිටිය සඳලතාට මම ආදරයෙි. මට මතක ඇති කාලේ ඉඳලා අපිව බලාගත්තේ සඳලතා. කවන්න පොවන්න, ඉස්කෝලේ වැඩ හොයලා බලන්න, ලෙඩක් වුණාම බලන්න සේරම කළේ එයා. අම්මටයි තාත්තටයි හුඟක් වැඩ තිබුණා. අපි මාස දෙකකට තුනකට පාරක් ට්‍රිප් එකක් යනවා, විනෝද වෙනවා. ඒත් අම්මටයි තාත්තටයි අපි කිට්ටු නැහැ. අපේ අධ්‍යාපනය ගැන මිසක් වෙන දෙයක් ගැන කතා කරන්න ඉඩ තිබුණේ නැහැ. එයාලා හරියට පිටස්තරයෝ කියලයි මට දැනුනේ. ඒත් එයාලා අපට ආදරෙයි කියලත් මට හිතෙනවා. අපි ඉල්ලන ඉල්ලන හැමදේම අපට දුන්නා. අක්කයි අයියයි හිටපු නිසා අම්මගෙයි තාත්තගෙයි අඩුව මට දැනුනෙ නැහැ. ඒත් අක්කා බැඳලා ගෙදරින් ගිය දවසේ මම හුඟක් ඇඬුවා. මාව දාලා යන්න එපා කියලා මම අක්කව බදාගෙන ඇඬුවා. අක්කා ගියාට පස්සේ මුළු ගෙදරම පාළු වුණා. අයියා හැම තිස්සෙම මං ළඟින් හිටියා.“

සිත පුරාම වේදනාවක් රිදුම් දෙන නිසාවෙන් සමනලී කතාව නතර කොට දිග සුසුමක් හෙලීය. තවමත් ආකාසය කඩා හැලෙයි. පෙරටත් වඩා වේගයෙන් වැහි බින්දු පතිතවේ.

“අයියා ලන්ඩන් යන්න බැහැම කිව්වා. නංගිව දාලා යන්න බෑ කියලා කියද්දිත් තමයි අම්මයි තාත්තයි එයාව ලන්ඩන් යැව්වේ. අයියත් ගියාට පස්සේ මම තනිවෙලා වගේ හිතට දැනුනා. සමහර වෙලාවට මට මැරෙන්නත් හිතුනා. අක්කයි අයියයි මුල් දවස් වල මට නිතර කෝල් කලා. ස්කයිප් ගිහින් මම එයාලත් එක්ක කතා කලා. ඒත් අක්කට චුටි බබෙක් ලැබුන නිසාත්, අයියට විභාග වැඩ නිසාත් ටික ටික එයාලටත් වැඩ වැඩි වෙන කොට අපිට කතා කරන්න කාලය ඉතිරි වුනේ බොහොම ටිකයි. ඔ්ලෙවල්කරලා ගෙදර ඉන්නකොට නම් මට මහා පාළුවක් දැනුනේ. බැරිම තැන මම අම්මට කිව්වා කම්පියුටර් ක්ලාස් යන්න ඕනි කියලා. අපිට හැම ක්ලාස් එකක්ම ගෙදරටම ගෙනල්ලා තමයි ටියුෂන් දුන්නේ. මට ඕනි වුණේ මගේ යාළුවෝ වගේ ගෙදරින් එළියට යන්න. කොහොම හරි අක්කටයි අයියටයි කියලා මම අම්මලාගෙන් කැමැත්ත ගත්තා.“
“ඉතිං… ඉතිං…“
“හ්ම්.. ඒක හරි ජොලි… සමහර දවසට අපි ක්ලාස් කට් කරලා ෆිල්ම් බලන්න හරි ෂොපින් හරි යනවා. ගෙදරට වෙලා හිටපු මට ලොකු නිදහසක් දැනුනා. මොකද ගෙදර ගියාම මට කතා කරනන්වත් කවුරුත් හිටියේ නැහැනේ. මට රමිතව හම්බවුණේ කම්පියුටර් ක්ලාස් එකෙන්. එයා ඒ් ලෙවල් කරලා ඉවර වෙලා තමයි හිටියේ. එයා මට හැම තිස්සෙම කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා. රමිත මට ගොඩක් ආදරේ කලා. ගොඩක් ළමයි මගෙන් යාළුවෙන්න ඇහුව්වට මම කැමති වුණේ රමිතට. රමිත ගැන මම අක්කට කිව්වා. අක්කා කිව්වා දැන්ම ඕවා කරන්න එපා ඔයා ඉස්සරවෙලා ඉගෙන ගන්න කියලා. ඒත් මම අක්කටත් හොරෙන් රමිතත් එක්ක තිබුණ සම්බන්ධය කරගෙන ගියා. දවසක් රමිත කිව්වා අපි නිදහසේ කතා කරන්න හොටෙල් එකකට යමු කියලා. මටත් ඕනේ වුණේ රමිත ළඟටම වෙලා ඉන්න. ඒත් මම බැහැ කිව්වා. මගේ යාළුවත් මට කිව්වා යන්න එපා කියලා. ඒ ආරාධනය නිසා මට රමිතව එපා වුනත් තනිය මකා ගන්න ඒ සම්බන්ධය තියා ගත්තා.“
“ඉතිං අම්මලා තාත්තලා දැනගත්තේ නැද්ද?“
“අනේ නැහැ,කෝ එයාලට ඒ්වට වෙලාවක්. චුටි බබා කෑවද? පාඩම් කළාද? හරි මහන්සියි පැටියෝ අද. ගුඩ් නයිට් බේබි ඔන්න ඔච්චර තමයි අපේ අම්මගෙයි තාත්තගෙයි මගෙයි කතාව.ඔය අතර ඔ්ලෙවල් රිසාල්ට් ආවා. මම බයෝ කරන්න පටන් ගත්තා. මට ක්ලාස් කරන්න කියලා සර් කෙනෙකුයි ටීචර් ලා දෙන්නෙකුයි තාත්තා ගෙදරටම ගෙන්නුවා. කවීෂා මගේ හොඳම යාඵව එයා තෝරගත්තේ කලා කරන්න. ඉතින් යාඵවත් ඈත් වෙද්දි මට දැනුනේ පුදුම පාලුවක් තනිකමක්. බයෝ උගන්වන්න ආව තිසර සර් ගොඩක් හොඳයි. සර් ට මගේ හිත කියවන්න පූලුවන්. මම දුකෙන් නම් සර් මගෙ දුක නැති කරලා තමයි පන්තිය පටන් ගත්තෙ. ඉතින් මම හැම දුකක්ම සතුටක්ම සර් ට කියන්න පුරුදු වුණා. අයියයි අක්කයි මගේ ලෝකෙන් ඈතට ගියා. එයාලා කෝල් කරත් මට වදයක් වගේ දැනුනා. කම්පියුටර් ක්ලාස් නතර කරපු නිසා රමිත එක්ක තිබුණ සම්බන්ධයත් නැවතුණා. මම දන්නෙම නැතිව තිසර සර් ට හුඟක් ආදරේ කලා. ටික කාලයක් යනකොට අපිට අපිව නැතිව බැරිව ගියා. සතියට දවසක් තිබ්බ පන්තිය දවස් තුනක් දාගත්තෙ මට කෙමෙස්ට්‍රි තේරෙන්නෙ නෑ කියලා බොරුවට කියලා. මගේ මුළු ලෝකයම තිසර සර් වුණා. අවුරුදු 18 වුන ගමන්ම අපි බඳිමු කියලා තිසර සර් කිව්වා. අපේ පන්තිය මගේ කාමරයටම ස්ථාන මාරු වුනත් කාටත් ඒක ගැටලුවන් වුණේ නැහැ. මොකද සඳා දවල්ට පැය දෙකක් විතර නිදා ගන්නවා. මේ ගැන දැන ගත්ත කවීෂා මට නිතරම අවවාද කළා පරිස්සම් වෙන්න කියලා. වීදුරුවක් බිඳුනට පස්සෙ ඒක ආයේ තිබ්බ විදිහටම හදන්න බැහැ කියලා කවීෂා නිතරම කිව්වා. ඒත් කාගෙවත් අවවාද වලින් මට පලක් තිබුණෙ නැහැ.
අපේ ගෙදර මගේම කාමරේ අපි අපේම ලෝකෙක තනි වෙනවා තරම් දෙයක් තවත් මට තිබුණෙ නැහැ. ඒත් හිටිහැටියෙ මාව අසනීප වෙන්න පටන් ගත්තා. මට කරකැවිල්ල, වමනය එක දිගට හැදුනා. මොනවත්ම කන්න බෑ. සඳාගේ අත් බෙහෙත් වලින් හරි නොගිය නිසා අම්මා මාව ඩොක්ටර් ගාවට එක්ක ගියා. එතකොට තමයි මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තෙ.
අපිව මරාගෙන කාපිය අපි මෙච්චර මහන්සි වුණේ උඹගෙ අනාගතේ හදන්න නේද? කියලා තාත්තා ගහන්නත් හැදුවා. තිසර සර්ටම මාව බන්දලා දෙමු කියද්දි, මට දැනුනේ කියාගන්න බැරි සතුටක්. ඒත් අවසානයේ තිසර සර් කසාඳ බැඳලා පුතෙකුත් ඉන්නවා කියලා දැනගත්තම මගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුනා. එතකොට අපේ බබා හම්බ වෙන්න ඇවිත් මාස දෙකක් විතර ඇති. මට මහා තනියක් අසරණ බවක් දැනුනා. ඊට පස්සෙ තමයි මම තීරණය කළේ මීයන්ට දාන බෙහෙත් කන්න“
“සමනලී ජීවිතේ ප්‍රශ්න එනකොට අපිට පැනලා යන්න බැහැ. ජීවිතේ අපිට එක එක පරික්ෂණ පවත්වනවා. අපි ඒවට මුහුණ දෙන විදියට තමයි ජීවිතේ තවත් ඉදිරියට යනවද නැද්ද කියලා තීරණය කරන්නෙ. මුහුණ දෙන්න බැරි ප්‍රශ්න එන කොට බයේ පැනලා ගිහින් බැහැ , බුද්ධිමත්ව හිතන්න පුරුදු වුනොත් ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන එක ලේසියි.”
“අහන්න ඒත් මට හිතෙනවා අපේ අම්මවත් අඩුම තරමේ අක්කයි අයියයි ගියාට පස්සෙවත් මට ලං වුණා නම් මේ වගේ දෙයක් වෙන එක්ක නැහැ කියලා. දරුවෙක්ට දැනෙන්න ආදරේ ඕන. එහෙම නොවුනාම පිටස්තර අයගෙ බොරු ආදර ළගදි අපි රැවටෙනවා. අපි ආදරේ හොය හොයා යනවා අපි රැවටෙනවා.”
සමනලී හඩමින් පවසන්නට විය.
“මට තේරෙනවා සමනලී. ඒත ඔයා නවත්තපු තැන ඉඳලා ජීවිතේ ආයෙත් අලුතින් පටන් ගන්න ලෑස්ති වෙන්න. මම ඔයාට උදව් කරන්නම්. එතකොට ඔයත් දවසක ඔයාගේ හීනෙට යන්න පුලුවන් වෙයි.”
”ඔයාට පුලුවන්ද මගේ ළඟින් ඉන්න”
”ඇයි බැරි මට පුලුවන් මොකද කියන්නෙ අපි ජීවිතේ අලුතින් පටන් ගමුද? ”
”මගේ බඩේ හිටිය බබා, එයාට මොකද කරන්නෙ? ”
”ඔයා යන්න ගියා”

සමනලීගේ මානසික තත්ත්වයත් සමග ඇයව නැවත යථා තත්ත්වයට පත් කිරීම භාර දූර කටයුත්තක් බව අමායා සිතුවාය. දෙමාපියන් නොසිතන පැතිකඩ නිසා දරුවන්ගේ ජීවිත වැරදු අවස්ථා ඇය බොහෝ දැක ඇත. දෙමාපියන්ට ඇවසි තම දරුවන් ලෝකය දිනන දෙස බල සිටීමය. බොහෝ විට ඉහළ රැකිය වල නියුතු දෙමාපියන් දරුවන්ගේ භෞතික අවශ්‍යතා සියල්ල සපුරාලූවත් ඔවුන්ට දරුවන්ගේ මානසික අවශ්‍යතා මග හැරී යයි. දරුවන්ට ආදරය හා රැකවරණය අත්‍යවශ්‍යය. දරුවන්ට නොදැනෙන්නට ආදරය කර පලක් නැත. ආදරය ඔවුන්ට දැනෙන්නට, විඳින්න‌ට ඉඩහැරිය යුතුය. ආදරය යනු මිහිමත සිටින සෑම සත්ත්වයකුටම අත්‍යවශ්‍යම දෙයකි. විශේෂයෙන් මේ නව යොවුන් වියේ දරුවන්ගේ හෝමෝන වෙනස්කම් සමඟ සිදුවන ශාරීරික මානසික වෙනස්කම් ළඟදි දෙමාපියන් ළඟින්ම ඉන්න සිටිය යුතුය. මේ බව සමනලීගේ දෙමාපියන්ව දැනුවත් කර ඇයට අලුත් ජීවිතයක් අරඹන්නට අත්වැල සපයන්නට යැයි දැනුවත් කළ යුතු යැයි සිතමින් අමන්දා වාට්ටුවෙන් පිටත් විය.
ඇද වැටුන මහා වරුසාව නතරව ඇත. පරිසරයම නැවුම් බවක් ආරෝපණය කරගෙන හිඳියි. වලාකුලු ඈත් මෑත් කරමින් ඉර එළියද එබිකම් කරන්නට විය. සමනලී කවුලු ළඟට ගොස් නැවුම් සුළඟ විඳගත්තාය.

Leave feedback about this

  • Quality