අප්‍රේල් 3, 2025
Parent Pulse Kavikatha Article Walakulu Featured Image
කවි කථා

ආකාසේ – දෙවන වළාකුල

ජීවිතය යනු අභියෝගයක්ය. විවාහයෙන් පසු ගෙවී ගිය කාලය ඉතා නීරස කාලයක් විය. නිවසේ අඩදබරයක් නොතිබුණු දින අතොලොස්සකි. සුහදව ඇරඹු කතාවක් වුවද අවසන් වූයේ ගැටුමකින්ය. තෙදස් පරිඝණක හා උපාංග ආනයනය කරන ආයතනයක ප්‍රධාන කළමණාකරුවකු ලෙස සේවය කළේය. රැකියාවේ කටයුතු නිසාවෙන් ඔහු බෙහෙවින් කාර්යය බහුල විය. පාරින්ද්‍යා සේවය කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. තෙදස් ඇය රැකියාවට යාම පිළිබඳ විරෝධය පෑවද පාරින්ද්‍යා තම තනි මතයට රැකියාවේ නිරත විය. ගැහැණියකට යම් ස්වාධිනත්වයක් තිබෙන්නේ තමන්ටම කියා ආදායම් මාර්ගයක් තිබුණ හොත් පමණක් බව ඇය දැඩිව විශ්වාස කළාය. නින්ද දෑස් අතැර දුරකට පලා ගොස් තිබු අතර සිත අතීතය සමඟ දොඩමලු වන්නට විය.

අතීතයට….

පාරින්ද්‍යාට තෙදස් හමු වූයේ පාසල් සමයේය. තෙදස් පාරින්ද්‍යාට වඩා වසරක් වැඩිමහලුය. පාරින්ද්‍යා ඉගෙනුම අතින් මෙන්ම විෂය පරිබාහිර කටයුතු වලටද දක්ෂ තැනැත්තියක් විය. දහම් පාසලේ ළමා සමිතියේ සභාපති ලෙස තෙදස් තේරී පත් වූ විට පාරින්ද්‍යා ලේකම්වරිය ලෙස ද, අවිශ්ක භාණ්ඩාගාරික ලෙස ද තේරී පත් වූවාය.
දහම් පාසල් අතර පැවැත් වූ කථික තරඟයක් සඳහා සහභාගී වීමට තේරී පත් වූවන් අතර තෙදස් හා පාරින්ද්‍යා ද සිටියෝය. ශ්‍රී සුමනාරාම දහම් පාසල තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. සතුට අතරින් සගයන් වෙන් වී යද්දි ඉතිරි වූයේ පාරින්ද්‍යාත් තෙදසුත් පමණි.

දිගු දෑස්, සිහින් රෝස දොතොල් සහ තළෙලු සමක් ඇති පාරින්ද්‍යා ගේ ඝණ දිගු කැරලි හිසකෙස් ඇගේ මුහුණේ සුන්දරත්වය තවත් ඔප නැංවූවාය. ඉන තෙක් දිගු කැරලි හිසකෙස් කරල් දෙක් වන්නට ගොතා ළමා සාරිය හැඳ බසයක් එනතුරු මඟ බලන පාරින්ද්‍යාගේ මුහුණට රාස්සිගේ අව්ව වැටී අමුතුම සුන්දරත්වයක් එකතු කළාය. මුහුණට වැටුණු කෙස් රොද ඇය දෙකන් පෙති අතර රැඳ වූවද අකීකරු සුළඟ නැවත නැවතත් කෙස් රොද ඇගේ මුහුණටම විසි කලාය. තෙදස්ට මේ රූ සපුව පිළිබඳ ආගන්තුක සිතුවිලි ගලා එන්නට වූයේ දැන් මාස ගණනකට .පෙර සිටය. තෙදස් තමන් දෙස එක දිගට බල සිටින බව දැනී පාරින්ද්‍යා ඔහු දෙස හැරුණාය.

“මොකද කන්න වගේ බලන්නෙ , කවදාවත් දැකලා නෑ වගේ” ඇය තදින් අසද්දි තෙදස් නිරුත්තරව ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තේය.

තෙදස් පාරින්ද්‍යා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන බව වැටහුණු දා සිට තෙදැස් හා කටයුතු කිරීමේ දී තද බවක් ඈ මවා පෑවාය. පාසල් වියේ සිත් වල හට ගන්නා ප්‍රේමය පිළිබඳ ඇයට තිබුණේ ඇල් මැරුණු හැඟීමකි. එහෙත් තෙදැස් පිළිබඳ විශේෂ හැඟීමක් ද ඇගේ සිත තුල නොතිබුණාම නොවේ. පාරින්ද්‍යාගේ තද ගති ගුණ හේතුවෙන් තෙදැස්ගේ හිතේ හට ගත් ප්‍රේමය අප්‍රකාශිතව සිත තුලට පමණක් සීමා වූවාය.

කාලය ගලා යන්නේ අසුරු සැනින්ය. උසස් පෙළ අවසන් කළ වහාම පාරින්ද්‍යා කොළඹ පුද්ගලික ආයතනයක ගිණුම් ලිපිකාරිණියක ලෙස සේවයට එක් වූයේ තාත්තාගේ හිතවතෙකු මාර්ගයෙන්ය.

අක්කා ද ඒ වන විට පෙර පාසල් පාඨමාලාවක් හදාරා පුහුණුව සඳහා පෙර පාසලක ඉගැන්වීම් කටයුතු සිදු කලාය. කාර්යාලය නිම වී දුම්රියෙන් ගමන් කිරීම කාලය සහ පසුම්බියටද සහනයකි. කොල්ලුපිටිය ස්ටේෂමෙන් දුම්රියට ගොඩ වදින ඇය පානදුර දුම්රිය නැවතුම් පලෙන් බැස ඉතිරි දුර පා ගමනින්ම යන්නේ බස් ගාස්තුව ඉතිරි කරගන්නා අටියෙන්ය. රැකියාවට යන අතර පරිඝණක පාඨමාලාවක් හැදෑරීමට අවශ්‍ය මුදල් තාත්තාට බරක් නොවී සොයා ගැනීම ඇගේ අභිප්‍රාය විය.
එදින වර්.ෂාව නිසා වෙනදාට වඩා පැය භාගයක් පමණ පමා වී පැමිණි දුම්රිය නිසා පාරින්ද්‍යා ට සුපුරුදු වේලාවට නිවසට යන්නට නොහැකි වන බව නිසා පාරින්ද්‍යාගේ සිතේ ඇති වූයේ නොසන්සුන්කමකි. අක්කා තමාගේ පමාව පිළිබඳ ශෝක වන හැටි සිහි වී පාරින්ද්‍යාට සිහින් සිනහවක් සමඟ අක්කා පිළිබඳ ආදරයක් ඇති විය. පානදුරින් බැස ගන්නා විටත් වැස්ස කඩා හැලෙමින් තිබුණි.

“වෙලාව හතයි දහයයි අද බස් එකේ යනවා” යැයි සිතමින්ම ඇය බෑගයෙන් කුඩය අතට ගත්තාය. කුඩය ඉහළා ගත් පාරින්ද්‍යා අඩි කිහිපයක් ඉදිරියට පා තැබුවා පමණි.
“මාවත් බස් හෝල්ට් එකෙන් දාගෙන යන්න”
කිසිඳු අවසරයකින් තොරව ඇගේ කුඩ සෙවනට ආ තැනැත්තා දෙස ඇය වික්ෂිප්තව බැලුවාය.
“අයියෝ, මම උස නිසා කුඩේ ඔලුවෙ වදිනවා දෙන්න මම කුඩේ ගන්නම්”
වික්ෂිප්තව සිටින ඇයට කිසිවක් සිතා ගන්නට ඉඩ නොතබාම ඇගෙන් කුඩයේ අයිතිය ද ඔහු ලබා ගත්තේය.
සිදු වූ අනපේක්ෂිත සිදු වීමෙන් ඇය ගොලුව සිටියාය. දෙදෙනාම නිහඬවම බස් නැවතුම් පොළට පිය නැගුවෝය.
“අම්මෝ ඇති යාන්තම් බස් එකක් තියෙනවා”
යැයි සිතූ පාරින්ද්‍යා කුඩයද අමතකව ගොස් වහා වහා ගොස් බසයට නැග ගත්තේ මේ බසය පිටත් වී අනෙක් බසය පිටත් වන්නේ තවත් විනාඩි විස්සකට පසු නිසාවෙන්ය. බසයට නැග ගත් ඇයට යම් කරදරයකින් මිදුන හැඟීමක් දැනේනට විය.
“කුඩේ එපාද?”
නැවත නාඳුනන පුද්ගලයා ඇය අසලය.
“මගෙන් අහලා කුඩේ ගත්තා වගේ අහන හැටි දෙන්න හිතෙනවා හොම්බට” තම සිතටම කියා ගත් පාරින්ද්‍යා ඔහු දෙස සෘජුවම බලා ඔහුව දවා අලු කළ හැකි ලෙස ඔරවා බලා කුඩය ඔහුගේ අතින් උදුරා ගත්තාය.
“අම්මෝ…වෙනසක් නෑනේ ඉස්සර වගේමයි”

ඔහු ඇගේ දෑස් දෙසම බලාගෙන පිළිතුරු දුන්නේය.බසය සෙනගින් පිරී යද්දි ආගන්තුකයා පාරින්ද්‍යාට කිසිවෙකුටත් ලංවන්නට නොහැකි ලෙස ඇයව ආවරණය වන පරිදි සිටගෙන සිටියේය. පාරින්ද්‍යාගේ සිතට තාත්තා ලඟින් සිට බසයේ යන සුරක්ෂිත හැඟීමක් ඇති විය. සිතෙහි යම් ආශ්වාදජනක හැඟීමක් ද මතුව එද්දි ඇය හොරෙන් ඔහු දෙස බැලුවාය. ඒ දෙනෙත් තමන් වෙතම යොමු කර ගෙන ඉන්නා බව දුටු විට ඇය වහා ඉවත බලා ගත්තාය. ඒ මුහුණෙහි හුරු පුරුදු බවක් තිබුණ ද මතකයන් සමඟ ඔහුව ගලපා ගන්නට ඇය අපොහොසත් විය. ඇය බසයෙන් බසින නැවතුම් පලට පෙර නැවතුම් පොළවල් දෙකකට පෙර බසයේ ඉදිරියට ගමන් කළේ දැඩි තදබදය නිසාවෙන්ය. ඇය පසු පසින් ම ආ ආගන්තුකයා ද ඇගේ ආරක්ෂාව පිණිස ළඟින් සිටියේය. නැවතුම් පලේ බසය නවතාලීය.

“පරිස්සමින් යන්න පාරින්ද්‍යා ”
යැයි සෙමින් පවසද්දි ඇය පුදුමයෙන් හැරී ඔහු දෙස හැරී බැලුවාය.
“හතරේ කනුව බහින්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න”
කොන්දොස්තරගේ කරච්චලය අතරින් ඇය බසයෙන් බැස කුඩය ඉහළා ගත්තාය. බසයෙන් බහින තුරාවට ඔහුගෙන් ලද ආරක්ෂාව, ඒ ඇස් වල හුරුපුරුදු ආදරණීය බව ඇගේ සිතෙහි තිගැස්මක් ඇති කළාය. සිත කුමක්දෝ හැඟීමකින් පිරී ඇත. අවුරුදු දහඅටක් පුරාවට කොල්ලෙක් පිළිබඳ මෙවැනි හැඟීමක් ඇයට දැනී නැත.ඇත්තටම කවුද ඒ?
“මොකද පරක්කු මම මේ හොඳටම බය වෙලා හිටියේ කිසි ගානක් නැතිව මේ වැස්සෙ තෙමීගෙන විරිත්ත විරිත්ත එන්නේ ඔලුව තෙමිලා වැඩි වෙලාද?”
“අද කෝච්චිය පරක්කුයි අනේ… ඒක නෙමේ අක්කා මාර සීන් එකක් වුණේ අද , ඉඳ ගන්නවකෝ”
“අනේ නංගී ඔය තෙත ඇඳුම් ගලවලා ඉන්නවා”
“ඕකනේ කතාවේ උණුසුම ගියාට පස්සෙ කියලා වැඩක් නෑ හලෝ”
“ආ හරි කියනවකෝ”
“අද කෝච්චියෙන් බහිද්දිම අහස අඬාගෙන වැටුනා. ඉතින් කුඩේ ඉහළගෙන අඩියක් තියන කොටම කොල්ලෙක් රිංගුවා කුඩේට. මගේ අතින් කුඩෙත් අරගෙන හරියට ඒකා කුඩේ අයිතිකාරයා වගේ බස් හෝල්ට් එකටම ගිහින් බස් එකෙත් මගෙත් එක්ක ඇවිත් මගේ නමත් කියලා පරිස්සමින් යන්නත් කිව්වා”
“අප්පා එතකොට මෙච්චර කල් කොල්ලන්ට සද්ද දාන ගෑනී කටපියාගෙන ජෝඩු දාලා ආවා”
“නෑ හලෝ එක පාරටම වෙච්ච දෙයක් නිසා මට හිතා ගන්න බැරිව ගියා මොකද්ද කරන්න ඕනී කියලා, ඇත්තම තමුසෙට කියන්න අක්කා ආ… හිතටත් නිකම් මොකද්ද මොකද්ද වගේ”
“ආ… ඇත්තද මොකද්ද වගේද ?ඉතිං ඉතිං කොල්ලා ලස්සනයිද?” අක්කාද නංගීගේ මුහුණට එබෙමින් ඇසුවාය.
“ඔව්… ඔව් මොක්දදෝ දැකලා පුරුදු ගතියකුත් තිබ්බා. ඒත් මට මතකයක් නෑ කවුද කියලා, කොහොම වුණත් කොල්ලා හැන්ඩිය”
“මේ… දැන් ගිහින් නාගෙන එනවා. මම තේ එකක් හදන්නම් තාත්තා නැති නිසා රෑට කන්න පාන් ගෙනාවා, දවල් පරිප්පුත් ඉතුරුයි බිත්තර දෙකකුත් හදලා තියෙන්නෙ මෙහෙම්ම කාලා බීලා ඉවර වෙමු, මට බඩත්ගිනියි.”
“හරි සුදු මැණික හැබැයි තේ වෙනුවට කෝපී කෝප්පයක්… කිරි කෝපී කෝප්පයක් නම් සුපිරියි ඈ, මම එන්නම් ඉක්මනට”

පාරින්ද්‍යාට පාසල් සමයේ පෙම් සබඳතා තිබුණේ නැත. අම්මා ඔවුන්ව හැර ගිය දා පටන් තාත්තා, අක්කා සහ ඇය වෙනුවෙන් කළ කැපකිරීම් හමුවේ තාත්තාගේ සිත මොහොතකටවත් රිද්දන්නට ඇය අකමැති විය. ඇය පිරිමි ළමුන්ට කිසිදා ඉඟි බිඟි පාන්නට ගොස් නොමැත. පාරින්ද්‍යා කටකාරියක් නිසා වරක් ඇය පසු පස තරුණයෙක් පැමිණිහොත් නැවත ඇය දෙස නොබලන්නටම වචන වලින දමා ගසා එළවන්නට ඇය සමත් වූවාය.

යෙහෙළියන් සිව් දෙනා සමඟ විනෝද වීම හැර ඇයට ප්‍රේමයක අවශ්‍යතාවයක් දැනුනේම නැත. එහෙත් එදින නම් ඇගේ සිතට කුමක් දෝ සිදුව ඇතැයි ඇයටම සිතුණාය. හිත අමානන්දයෙන් පිරී ඇත. කුරුලු පිහිටුවක සැහැල්ලුවක් සිතට දැනේ ඇයට නටන්නට, ගී ගයන්නට සිතේ.ඇය නාන කාමරයේ කණ්නාඩියට විරිත්තා බැලුවාය. මමත් කලු වුණාට ලස්සනයි නේ ඇය ඇයටම කියාගත්තාය.

“මොකෝ පාරී තනියම හිනාවෙන්නේ”
“අක්කා මට නිකං නිකං වගේ කවදාවත් නැතිව මාර ජොලියක් දැනෙනවා”
“ආව් ඒ මොකද? හැබැයි ඉතින් කොල්ලෙක් පස්සෙන් එන කොට නම් ජොලියක් දැනෙනවා තමා”
“ආ… ඒ කියන්නෙ තමුසෙ මටත් හොරෙන් කොල්ලෙක් එක්ක යාලු වුණාද?”
“පිස්සුද නංගී, කොල්ලො ඉතින් පස්සෙන් ඇවිත් තියෙනවනේ උන්ට ගණන් උස්සද්දි මරුනේ.. අන්තිමට අපේ ගණන් ඉස්සිල්ල අපිට ම තියා ගන්න කියලා උන් දමලා ගහලා යනවා.”
“ඒක නම් ඇත්ත”
“ඔව් ඉතින් ඔයා ඔරවලා බලපු ගමන් පෙම් හැඟුම් දවා අලු වෙලා යනවනේ”
“ඒක නෙමේ තාත්තා කෑවද දන්නෙ නෑ”
“කන්න ඇති”
“කෝල් එකක් දීලා බලමු.”
විමංසා ජංගම දුරකථනය ගෙන තාත්තට ඇමතුමක් ගත්තාය.
“තාත්තා කොහෙද ඉන්නෙ ?”
“දැන් ඉන්නෙ නම් බදුල්ලෙ දුව, මේ දැන් තමයි ගමන ඉවර වුණේ”
“තාත්තට කෑම”
“ඒක හරි, මාත් එක්ක ආපු කට්ටිය මටත් එක්ක කෑම ඕඩර් කරලා. පුතාලා දෙන්නා කෑවද?”
“කන්න කලින් තාත්තට ගත්තේ”
“පරිස්සමින් ඉන්න දොර හොඳට වහගන්න. හදිස්සියක් වුණොත් සිල්වා ආන්ටිට කතා කරන්න.”
“හරි තාත්තා බය වෙන්න එපා, හෙට එනවා නේද ?”
“ඔව්, එනකොට ටිකක් රෑ වෙයි”
“හරි තාත්තාත් පරිස්සමින් ඉන්න.”
“ඇත්තටම අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පින් කරලා ඇති. එයාගේ මුලු ජීවිතේම අපි දෙන්නා.”
යැයි පවසමින් විමංසා සුසුමක් හෙලමින්ම ජංගම දුරකථනය මේසය මත තැබුවාය.
“හ්ම් ඔව් ඒ වගේම ලොකු පවකුත් කරලා තියෙනවා අපිව දාලා යන්න අම්මෙකුත් හම්බ වෙන්න. ඇත්තටම අම්මා අපිට ආදරේ නැහැ, ඒකනේ අපිව දාලා ගියේ.”
පාරින්ද්‍යා පාන් කෑල්ලක් කටේ ඔබා ගනිමින්ම කීවාය.
“එහෙම කියන්න එපා නංගී, අම්මා අපිට ආදරෙයි”
“ආදරේ නිසාද අපි දෙන්නව තාත්තා ළඟ දාලා ගියේ. ඒ පොඩි වයසෙ හිටිය අපි දෙන්නා කොහොම ද රස්සාවක් කරන ගමන් තාත්තා බලා ගන්නෙ කියලා හිතුවද ? මහා ආත්මාර්ථකාමී ගෑණියෙක් එයා”
“එහෙම කියන්න එපා නංගි, මොනවා වුණත් ඒ අපේ අම්මා.”
“දරුවෙක් මේ ලෝකෙට උපැද්දුව පළියට අම්මෙක් වෙන්නෙ නෑ අක්කා. අම්මා කෙනෙක්ගෙ හිතේ දරු කැක්කුමත් තියෙන්න ඕන. අම්මා කියන්නෙ වටින වචනයක්. අම්මෙක්ට දරුවෝ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. කරන්න බැරි දෙයක් බව දැන දැනත් මුහුදට වැටුණ ලේන් පැටියා බේරගන්න ලේන් අම්මා නැට්ටෙන් මුහුද ඉහින්න උත්සහා කළේ දරු කැක්කුමට, අපේ අම්මා කියන මනුස්සයා අපිට කළේ අසාධාරණයක්. එයාලගේ උවමනාවට අපිව හදලා එයාලට එපා කියලා හිතුනම අපිව දාලා යනවා. ඒ වගේ ගෑනුන්ට අම්මා කියන්න මම කැමති නෑ. අපි කොච්චර දුක් වින්ද ද එයා දාලා ගියාම. මතකද ඔයාට ලොකු නැන්දා අපිට සැලකපු හැටි, වේල් කීයක් ඔයයි මමයි බඩගින්නෙ හිටියද ඒ පොඩි වයසේ. ලොකු නැන්දා බත් පිඟානක් දෙන්න අපි දෙන්නගෙන් කොච්චර වැඩ ගත්තද ? ලොකු නැන්දා එක්ක ඉන්න බැහැම කියලා අපි කුලියට ගෙයක් අරන් ගිහින් තාත්තා රෑ වෙන දවසට අපි දෙන්නා බයෙන් එකට ගුලි වෙලා අඬපු දවස් කොච්චරක් ද?”

පාරින්ද්‍යා එක දිගට හැඬුම්බරව නොනවත්වාම පවසද්දි විමංසා නිහඬ වූයේ නැගණිය අම්මාගේ විෂයය සම්බන්ධව දරන මතය අනුව ඈ හා තර්ක කරන්නට යාමෙන් පලක් නොවන නිසාවෙන්මය.

දරුවන් හැරයාම වරදකි. එහෙත් අම්මා පිළිබඳ තරහවක් තම සිතට නොඑන්නෙ තමා දැනුම් තේරුම් වයසක සිටි නිසා වන්නට ඇත. විමංසා අතීතයට පිය මැන්නනේ නිරායාසයෙන්ය.


Leave feedback about this

  • Quality