අප්‍රේල් 4, 2025
Parent Pulse Special Article Category Featured Image
විශේෂී ලිපි

දුක සතුට කියන්නේ මොනවද කියලා දන්නවද?

පොල් සම්බෝලෙ කියන්නෙ කවුරුත් ආස කරන කෑමක්. සම්බෝලේ රස වෙන්න නම් ලුණු අඹුල් හොඳ පදමට වැටිලා තියෙන්න ඔ්නීනේ. අපේ ජීවිතේ රස වෙන්නෙත් පදමට සතුට දුක කියන ලුණු ඇඹුල් සංකලනය වුණාමයි. ජීවිතේ ලියවෙන්නෙ අවස්ථා හා සිද්ධි වල එකතුවෙන්. මෙන්න මේ අවස්ථා සිද්ධි නිසා සිත තුල ඇති වන හැඟීම් චිත්තවේග කියලා අපි කියනවා. තවත් විදිහකට කිව්වොත් චිත්තවේග කියන්නෙ අපේ ශරීරයේ ඇතුලත වගේම බාහිර ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කරවන මානසික තත්ත්වයන්. චිත්තවේග ඉතාමත් වේගවත් ක්ෂණිකව සිතට නැගෙන සිතිවිලි ලෙසද හඳුන්වන්න පුලුවන්. සමහර චිත්තවේග ප්‍රසන්න ඒවා වන අතර සමහර චිත්තවේග අප්‍රසන්න ඒවා වෙනවා. සතුට, උද්දාමය, රසවින්දනය, කෘතවේදී බව, අනුකම්පාව ප්‍රසන්න චිත්තවේග වන අතර තරහ, භය, පිළිකුල, දුක, ඊර්ෂ්‍යාව යන චිත්තවේග අප්‍රසන්න චිත්තවේග කියලා හඳුන්වන්න පුලුවන්.

යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍යය සඳහා මේ ප්‍රසන්න හා අප්‍රසන්න චිත්තවේග සමතුලිතතාවය පවත්වා ගැනීම හරිම වැදගත්. අනවශ්‍ය විදිහට චිත්තවේග පාලනය කිරීම තුලින් මනස වගේ ශරීරයත් ලෙඩ වෙනවා. අන්න ඒ නිසා සතුටෙදි හිනා වෙන්න, සතුට බෙදා ගන්න වගේම දුකේදී අඬන්න, සුසුම්ලන්න, තැවෙන්න දෙවරක් සිතන්න එපා. හැබැයි ඔබ මේ චිත්තවේග පිට කළ යුත්තේ විචාරවත්වයි.

අපිට සතුටුදායක දෙයක් ඇති සිද්ධ වුණාම සිතට සතුටුදායක චිත්තවේග ඇති වෙනවා. සතුටක් ඇති වුණාම හිනා වෙලා සැහැල්ලුවෙන් ගීතයක් කියලා, හරිම උද්යෝගයෙන් ප්‍රබෝධයෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම යම් අවස්ථාවකදී දුක, කලකිරීම, සාංකාව වගේ දුක චිත්තවේග ඇති වුණාම සුසුම්ලෑම, හැඬීම,බලාගත් අතම බලාගෙන සිටීම, ක්‍රියාශීලීත්වය අඩු වීම වගේ ප්‍රතිචාර අපි තුල ඇතිවෙනවා. ඒ වගේම කේන්ති යාම වගේ චිත්තවේගයකදී අන් අයට පහර දීම හෝ බැණ වැදීම, අවට ඇති දෑ කඩා බිඳ දැමීම වැනි ඍණාත්මක ප්‍රතිචාර දක්වන්නත් පුලුවන්.

චිත්තවේග සමග ඇති වන හැසිරීම් රටාවන් අතුරින් සමහර හැසිරීම් රටා හිතකර ඒවා වගේම අහිතකර හැසිරීම් විය හැකිය. ඔ්නෑම චිත්තවේගයක් ඇති වූ විට අහිතකර හැසිරීම් රටා මඟහරවා ගෙන එම චිත්තවේගවලට මුහුණ දීමේ ශක්තිය ඇති කර ගැනීමට අප පුරුදු පුහුණු විය යුතුමය. එය ජීවන නිපුණතාවකි. චිත්තවේග හොඳින් කළමනාකරණය කර ගැනීමට අපහසු වූ විට පුද්ගල මානසික හා කායික සමබරතාවය ගිලිහි යනවා.

උදාහරණයක් ලෙස කාර්යාලයේ හෝ කවර ස්ථානයක හෝ යම් පුද්ගලයකු නිසා ඔබට කෝපය කියන චිත්තවේගය ඇති වූ විට ඔබ කෝපය මුදා හැරීමට කළහාකාරී ලෙස හැසිරී පහර දීමට පෙළඹුණා කියලා සිතන්න. විචාරවත්ව කෝපය කියන චිත්තවේගය හරි විදිහට කළමණාකරණය ‌කර නොගැනීම නිසා ඔබට තිබූ ගැටලුවට අමතර තවත් අලුත් ගැටලුවකට මුහුණ පාන්න සිදුවේවී. ඒ අවස්ථාවේ ඔබේ කෝපය පාලනය කරගෙන තත්ත්වය මුහුණ දුන්නා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.

ඇතැම් විට චිත්තවේග යටපත් කර ගැනීමත් ඇඟට වගේම සිතටත් ගුණදායක වන්නෙ නැහැ. චිත්තවේග යටපත් කර ගන්න උත්සහ කරන කොට කායික රෝගාබාධ ඉස්මතු වෙන්නට පුලුවන්. නමුත් මේ කායික රෝගයට හේතුවක් සොයා ගන්නට පුලුවන්කමක් නෑ. ඒ වගේම දිගු කාලයක් පීඩාවට පත් වීම නිසා බෝ නොවන රෝග වෙන දියවැඩියාව, කොලෝස්ටරෝල් වැඩි වීම, හෘද රෝග වගේම ස්නායු සම්බන්ධ රෝග වගේම හිටි හැටියේ ගොළු වීම, හුදකලාවී මුලු ගැන් වී ඉන්න උත්සහ සමාජයෙන් වසන් වෙන්නට උත්සහ දරනවා. මේ තත්ත්වය උග්‍ර ලෙස පැවතුණොත් අවසානයේ විශාදය වැනි රෝග අවස්ථාවක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. මේ වගේ තත්ත්වයකදී අහිතරකම ප්‍රතිඵලය වන්නේ අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමේ තත්ත්වය දක්වා මේ තත්ත්වය බරපතල වීමයි.

  • ඔබව කෝපයට දුනට පත් වන අවස්ථාවෙන් මිදෙන්න.
  • ඔබට විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ අදහස් හුවමාරු කරගන්න
  • කණ්නාඩිය ඉදිරිපිට සිට ඔබ ඔබටම කතා කරන්න.
  • සිතට එන සිතුවිලි පොතක ලියන්න
  • චිත්‍ර අඳින්න ( මණ්ඩල චිත්‍ර අඳින්න, වර්ණවත් කරන්න)
  • ඔබ කැමතිම ගීත ගායනය කරන්න නැත්නම් සවන් දෙන්න.
  • ඔබේ ප්‍රියතම විනෝදාංශක නියැලෙන්න
  • 1-20 ටත් 20 සිට 1 දක්වා පසුපසට ගණන් කිරීම

තමන්ගෙ චිත්තවේග නිසා එදිනෙදා ජීවන කටයුතුවලට බාධාවක් වෙනවා කියා ඔබට දැනෙනවා නම් නිවැරදිම හා සරලම ක්‍රියාමාර්ගය වෙන්නෙ සුදුසුකම් ඇති මනෝ උපදේශකවරයෙක් මුණ ගැහිලා තමන්ට තිබෙන ගැටලුව සාකාච්ජා කිරීමයි. ඔයාලා මුහුණ දීලා ඉන්න තත්ත්වය අනුව චිත්තවේග කළමනාකරණයට උපදෙස් වගේම තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර ඔ්නී වෙනවා නම් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්නත් අවශ්‍ය උපදෙස් ඔවුන් ලබා දේවී.

ලිපිය කියවලා ඔයාලගේ අදහස් දක්වලා යන්න. ඒ වගේම තවත් කෙනෙක් දැනුමින් පෝෂණය කරන්න මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.


මනෝ උපදේශන ඩිප්ලෝමාධාරිනී
මානසික සෞඛ්‍යය සරසවිය

Leave feedback about this

  • Quality